Main Logo

Monday 13 December 2021

ඩොලර් නැති වුණෙ කොහොමද?

 

ඩොලර් නැති වුණෙ කොහොමද?

 

මා හිතන් හිටියේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් නැහැ කියා. ඒත් දැන් බලන කොට විසඳුමක් තිබිල තියෙනවා. විපක්‍ෂයේ ආර්ථික විද්‍යාඥ ආචාර්ය හර්ෂ ද සිල්වා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාම ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් කියලා. සජිත් හා රනිල් කියන්නෙත් ඒකමයි. සජිත් කියනවා ආණ්ඩුව ඒ අයට භාර දෙන්න කියා. ඔවුන් විසඳුම දෙන්නන් කියල. හර්ෂ ද සිල්වා වැඩිදුරටත් කියනවා ඔවුන්ට ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා කියලත්. අපි නොදන්නවැයි.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවා ගත්තෙ මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සෙ නො වෙයි. අපි සිරීපාදෙ යනවා වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූල - IMF) වන්දනාවෙ යන්න පටන් ගත්තෙ 1977 ඉඳලා. ජේ ආර් ජයවර්ධන තමයි පළමුවෙන් ම ජාමූල පාද නමස්කාරයට ගියෙ. එකල මුදල් ඇමති රොනී ද මෙල්. ඔහු තාමත් ජීවතුන් අතර ඉන්නවා. ඒ කාලෙ ඔහු අයවැය හැදුවෙ ඔහුගෙ මාමණ්ඩියා ලියෝ ප්‍රනාන්දුගෙන් දෑවැද්දට ලැබුණු ගීකියන කන්දෙ වත්තට ගිහින් කියල ජනමාධ්‍යවේදීන්ට කියා තිබුණෙ. ජනමාධ්‍යවේදියො ගීකියන කන්දට ගියා රොනීගෙ ගී කොහොම වෙතත් බයිලා අහන්න. රොනීට ඕන කළෙ පහුවෙනිදාට පත්තරේ පින්තූරෙ දාගන්න. 

 

ජේ ආර් රොනී සමග එකතු වෙලා ජාමූලෙ උපදෙස් පරිදි මෙරට නිෂ්පාදනය කඩා බිඳ දැමීමට කටයුතු කළා. එකල බැංකු ඉතිරි කිරීමේවලට හා ණයට විශාල පොලියක් පැනෙවුවා. මට මතකයක් තියෙනවා ස්ථාවර තැන්පතු සඳහා 20%  පමණ පොලියක් ගෙවූ බවට. මගේ මතකය නිවැරදි නොවන්න පුළුවන්. මා කිසිසේත් ම ආර්ථික විද්‍යාඥයෙක් නො වෙයි. ඒත් මා දන්න තරමට ජාමුලෙ තියෙනවා ව්‍යුහාත්මක සැකසීම් වැඩ පිළිවෙළක් (Structural Adjustment Program ) . අප එයට අනුගත වෙනවා නම් ජාමූල අපට ණය දෙනවා. හැත්තෑහතේ දී ඔවුන් ඒ වැඩ පිළිවෙළ යටතේ විවෘත ආර්ථිකයක් ඇති කෙරෙවුවා. ඒ අනුව එකල මධ්‍යම පාංතිකයන්ට හා එයට ඉහළ අයටත් අවශ්‍ය පරිදි භාණ්ඩ ආනයනය කිරීමට අදාළ පුද්ගලයන්ට හැකි වුණා.  ආනයන කිරීමට බාධා පැමිණ වූයේ නැහැ. අපට දුන් ණයෙන් අප ඔවුන්ගේ රටවලින් භාණ්ඩ ආනයනය කළ යුතුව තිබුණා. එවිට අපට දුන් ණය ඔවුන්ගේ රටවලට ම ආපසු ගියා. අපට ණය පමණක් ඉතිරි වුණා.

 

ජාමූලය ණය ගෙවීමට සහන කාලයකුත් දුන්නා. ඒ අතර රාජ්‍ය අංශයට වෙළෙඳ කටයුතු තහනම් කළා. ඒ අනුව   වෙළෙඳ දෙපාර්තමේන්තුව (Marketing Department )  වගේ ආයතන වසා දැම්මා. බැංකු ණය සඳහා ගෙවිය යුතු පොලිය 20%ට වැඩි වූ නිසා පෞද්ගලික අංශයටත් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න බැරි වුණා. අප ණයට කකා ඒ කාලෙ කිවුව විධියට සොමියෙ හිටියා. අද කියන විධියට නම් ආතල් ගත්තා.

 

ඉහත සඳහන් විස්තර එකල ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ ගාවින් කරුණාරත්නගෙ පොතපතින් ගත් ඒවා. අවශ්‍ය අයකුට ඒ කියවා තවත් විස්තර දැන ගන්න පුළුවන්. අපේ තිබුණු අත්යන්ත්‍ර පෙහෙකම් ආයතන අස්වාභාවික මරණයකට ගොදුරු වුණා. අප  ජාමුල තොණ්ඩුවේ දිගින් දිගට ම හිර වුණා. ඒ ජේ ආර්ලගෙ තිබූ ඊනියා ජාත්‍යන්තර සම්බන්ධතා නිසා. මෙරට කාණුවක් කාණුවක් ගානෙ ඉන්න ආර්ථික විද්‍යාඥයන්ගෙන් මොන උපදෙසක් ගන්න ද? අදත් ගන්න පුළුවන් උපදෙස කුමක් ද? බැසිල් රාජපක්‍ෂ වටා ඉන්න ආර්ථික විද්‍යාඥයන් මහාචාර්යවරුන් ඔහුට උපදෙස් දෙනවා ද? නැත්නම් බැසිල් රාජපක්‍ෂගෙන් උපදෙස් ගන්නවා ද?

 

අද වන විට සංචාරක ව්‍යාපාරය කඩා වැටීම, පිටරට ශ්‍රමිකයන් එවන සම්ප්‍රේෂණ අඩු වීම, අපනයන අඩු වීම ආදිය නිසා ණය තොණ්ඩුවෙ හිරවෙලා. ජාමූල වන්දනාව දිගට ම කරගෙන යන්න අපට පුළුවන්. අප කාගෙන් ණය ගත්තත් කොන්දෙසි තියෙනවා. ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනත් අපට කොන්දේසි පනවනවා. බදු සමාගම්වලින් ණය අරන් තම යාන වාහනත් මුදලුත් නැති කර ගත් අය කොපමණ රටේ ඉන්නවා ද? ඒ අය නැති වන තරමට ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන තර වෙනවා. අපි ළඟදි ඉන්දියාවෙන් ණය ගන්න ගිවිසුම් අත්සන් කළා. ඒ ණයෙන් අපි ඉන්දියාවෙන් භාණ්ඩ මිල දී ගන්න ඕන. අන්තිමේ දි තර වෙන්නෙ ඉන්දියාව හා ඉන්දියාවෙ සමාගම්. ඔවුන් තර වෙනවා. අප ණය තොණ්ඩුවේ නතර වෙනවා.

 

මෙරට තරම් උගතුන් වෙනත් රටක නැති වෙන්න පුළුවන්. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් පැයට එක ගණනෙ ප්‍රශ්න විසඳනවා. ඒත් අපට එන්න එන්න ප්‍රශ්න වැඩි වෙනවා. පඬි නැට්ටන්ට පැය කාලකට එක ගණනෙ ප්‍රශ්න විසඳන්න බෑරි ද? දේශපාලනඥයන්ට විසඳුම් නැහැ. ජනතාවටත් නැහැ. ඒ ඒ අයට ඒ ඒ අයගෙ අපේක්‍ෂා තියෙනවා. අර කුමාර් පොන්නම්බලම් කිවුවෙ දෙමළ ජනයාගෙ අභිලාෂ ගැන. දැන් හකීම්ටත් අපේක්‍ෂා තියෙනවා. විග්නේස්වරන්ටත් අපේක්‍ෂා තියෙනවා. ඉන්දියාවටත් හැමදාමත් දෙමළ කතා කරන ජනයා මගින් ඉටු කර ගන්න ඕන අපේක්‍ෂා තියෙනවා. විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට හිමි වෙලා. ඒක කාගෙ අපේක්‍ෂාව ද?

 

සිංහල මධ්‍යම පංතියටත් අපේක්‍ෂා  තියෙනවා. ඒ අනෙකාට වඩා ඉහළ යන්න. ඒ සඳහා ඩොලර් ඕන. අද රටේ සාමූහිකත්වය හුඟක් අඩුවෙලා. නැතිවෙලා කිවුවත් වැරදි නැහැ. ගොවීන් සමුපකාර ක්‍රමයකට යොමු කරන්න පුළුවන් නම් හොඳයි.  අතරමැදියා තරමැදියා වෙනවා. එළවළු මිල වැඩිවෙන්නෙ ඊනියා ඉල්ලුම සැපයුමට අනුව ද? අර වෙළෙඳ දෙපාර්තමේන්තුව වැනි ආයතන නැවත ඇති කරන්න පුළුවන් ද? අපේ අධ්‍යාපනය විසින් ඒ ඉඩ කඩ නැති කෙරිලා ද? අපට අද රාජ්‍ය අංශයත් නැහැ. සමුපකාරත් නැහැ. ශක්තිමත් පෞද්ගලික අංශයකුත් නැහැ. සාක්‍ෂරතාව නම් තියෙනවා. පඬිනැට්ටොත් සකර්බර්ග් අනාථ කඳවුරේ නැටි කතා කියනවා. පෞදගලිකත්වයත් හොඳට ම තියෙනවා. මේ සියල්ලට මුල අධ්‍යාපනය හා එමගින් ජමූලයට යෑම. ණයට කෑම. කමක් නැහැ. සජබ හා එජාප කියනව නම් අපි ජමූලයට යමු. මා දැක්ක දයාසිරිත් කියල තිබුණ ගියාට කමක් නැහැ කියලා.  අඩු ගණනෙ අවුරුද්දවත් (ජනේරුව නො වෙයි) ණයට කමු. ඔය පාර්ලිමේන්තු වාරාවසානය අවුරුද්දකට විතර දික්කරන්න බැරි ද?