Main Logo

Saturday 18 December 2021

ෂාෆි අධ්‍යාපනය ජඩමාධ්‍ය හා විස්සේ විස

 

ෂාෆි අධ්‍යාපනය ජඩමාධ්‍ය හා විස්සේ විස

 

මෙරට ප්‍රශ්නවලට වග කියන්න ඕන මූලික වශයෙන් සිංහලයන්. ඔවුන් දන්නෙ නැහැ ඔවුන් මේ රට මේ තත්වයෙන් තියා ගන්න අවුරුදු දෙදහසකට වැඩි කාලයක් කරල තියෙන දේ. අද විග්නේස්වරන් කියනවා මේ රටේ මුල් පදිංචිකාරයන් දෙමළ කියලා. විග්නේස්වරන්ගෙ පරම්පරාවත් මෙරටට ඇවිල්ල අවුරුදු තුන්සිය පනහක් නැහැ. මේ සම්බන්ධ තෝම්බු රාජ්‍ය ලේඛනාගාරයෙ තියෙන්න ඕන. අද එක් නිලධාරිනියක් ඒ තෝම්බු විනාශ කිරීමේ හා නෙදර්ලන්තයට (ඕලන්දයට) ලබා දීමේ කාර්යයෙහි යෙදී ඉන්නේ මේ ඉතිහාසය වසන් කිරීමටත්. පරීක්‍ෂණයකින් වැරදිකාර්ය වී ඇති ඇය ආරක්‍ෂා කරන්නේ ප්‍රධාන වශයෙන් ම හිටපු සිවිල් සේවකයකු බව දැන ගන්න ලැබිල තියෙනවා. ඒ වගේ ම ඇතැම් ජඩමාධ්‍යවේදීන් ඇය ආරක්‍ෂා කරනවා.

 

මෙරට මුල් පදිංචි කරුවන් වෙන කිසිවකු නොවෙයි යක්‍ෂ නාග දේව රාක්‍ෂස වැදි ජනතාව. ඒ අය අතරට අවුරුදු දෙදහස් හයසියකට පමණ පෙර කාලිංගයෙන් හා වංගයෙන් පැමිණි අය අර ජනතාවගෙන් වැදි ජනතාව හැර අනෙක් අය සමග මිශ්‍ර වී සිංහල ජාතිය ගොඩනගා ගෙන තියෙනවා. ඒ මිශ්‍ර වීමට සියවස් ගණනාවක් ගිහින් තියෙනවා. වැදි ජනතාව එදා එසේ මිශ්‍ර වීම නැත්නම් එකතු වීම ප්‍රතික්‍ෂෙප කර ඇති බව පැහැදිලියි. අවුරුදු දෙදහස් හයසියයකට පමණ පසුව අද වැදි ජනතාවත් සිංහල වෙමින් ඉන්නවා. අප විජය හා පිරිසගෙන් පමණක් පැවත එන බව කියන්නන් දෙමළ ජාතිවාදයට උඩගෙඩි දෙන අය.

 

සිංහලයන් ඉංගිරිසි අධ්‍යාපනය නිසා වල්මත් වෙලා. අධ්‍යාපනය පුළුල්වත් ම බිහිවෙලා ඉන්නෙ මුග්ධයන් පිරිසක්. අද මෙරට ඉන්න උගතුන් කියන්නන් කිසිම විචාරයක් නැති පිරිසක්.  ඉංගිරිසි අධ්‍යාපනය කියන්නෙ ඉංගිරිසින්ගෙ අධ්‍යාපනය. එය සිංහල මාධ්‍යයෙනුත් දෙන්න පුළුවන්. අද ලෝකයේ ඊනියා ජාත්‍යන්තරවාදයක් කියන්නෙ ලොවට ම පටවපු ඉංගිරිසි ජාතිකවාදය. මෙරට උගතුන් ඉංගිරිසි ජාතිකවාදය බාගෙට වැළඳ ගෙන තියෙන්නෙ එය ඊනියා ජාත්‍යන්තරවාදයක් ලෙස සලකමින්. ඉංගිරිසි අධ්‍යාපනයෙන් කියා දෙන්නෙ ඉංගිරිසි ජාතිකවාදය ඊනියා ජාත්‍යන්තරවාදයක් ලෙස සැලකීමට. ඒත් මේ මුග්ධ උගතුන්ට ඉංගිරිසි ජාතිකවාදය මුළුමනින් වැළඳ ගන්නත් බැහැ. ඔවුන්ට ඉංගිරිසින් මෙන් හිතන්න බැහැ.

 

අද කතා බහට ලක්වෙන ප්‍රශ්න තුනක් ගනිමු. එකක් ෂාෆිගේ ප්‍රශ්නය, දෙවැන්න කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවය, තුන්වැන්න උප්පැන්න සහතිකයේ ප්‍රශ්නය. සිංහලයන් අතර ඉන්න කසිකබල් උගතුන් මේ ප්‍රශ්න තුනේ දී ම ඊනියා ප්‍රබුද්ධ මතයක් දරනවා. මෙහි දී අපි ෂාෆිගේ ප්‍රශ්නය ගනිමු. ෂාෆිට හිඟ වැටුප් ගෙවන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුරුණැගල රෝහල් අධිකාරියට දන්වලා. ප්‍රබුද්ධයන් උද්දාමයට පත් වෙලා. ඔවුන් කියන්නෙ ෂාෆි නිර්දෝෂි බව ද? ඔවුන් දන්නෙ නැහැ තමන් නිශ්චිත ව කියන්නෙ මොකක් ද කියලවත්. ඔවුන්ට නිශ්චිත දැනුමක් කිසිම අරුතකින් නැහැ. එහෙන් මෙහෙන් කෑලි අහුල ගන්න එක විතරයි ඔවුන් ඉංගිරිසි අධ්‍යාපනයෙන් ලබා ගෙන තියෙන්නෙ. ඔවුන් දන්නෙ මොකක් හරි අහුල ගෙන සිංහල ජාතිකත්වයට පහර දීමට. එ ඔවුන්ට ඊනියා ජාත්‍යන්තරවාදයක් බවට උගන්වා ඇති ඉංගිරිසි ජාතිකවාදය වෙනුවෙන්. සිංහල ජාතිකවාදය සමග ඇති කෝන්තරයක් පිරිමසා ගැනීමට ඔවුන් ඉංගිරිසි ජාතිකවාදය සමග එකතු වෙනවා.

 

ෂාෆිට හිඟ වැටුප් ගෙවන්න බැරි බව කුරුණෑගල  ශික්‍ෂණ රෝහල් අධිකාරිය 2021 දෙසැම්බර් 10 දින දරණ ලිපියකින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට දන්නල තියෙනවා. ඒ ලිපියේ පැහැදිලි ව කියනව කුරුණෑගල  මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත රෝහල් අධිකාරිය කරන ලද මූලික විමර්ශනයකින් පසුව ෂාෆි වැරදිකරුවකු බව ඔප්පු වී ඇති බව. මා ෂාෆි කළාය කියන වඳ සැත්කම් ගැන දන්නෙ නැහැ. ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශය අධිකරණ නියෝග පිළිපැදිය යුතු බව දන්නවා.

 

ජඩමාධ්‍ය සෞඛ්‍ය ලේකම් ෂාෆිට හිඟ වැටුප් ගෙවන ලෙසට කළ නියෝගයට විශාල ප්‍රචාරයක් ලබා දුන්නේ ෂාෆි නිවැරදිකරු බව ඇඟවෙන විධියට. ජඩමාධ්‍යවේදීන් ද මූලික වශයෙන් සිංහල විරෝධීන්. ඔවුන් ද ඊනියා ප්‍රබුද්ධයන්. ඔවුන්ට අවශ්‍ය ඊනියා නැගලා යන හිට් කතාවලට ප්‍රසිද්ධිය ලබා දී තම පෞද්ගලික ජනප්‍රියතාව වැඩි කර ගැනීමට හා තම මාධ්‍ය ආයතනයට අසන්නන් නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට.  සිංහල විරෝධී පඬි නැට්ටන් ප්‍රබෝධයට පත් වුණෙ ඒ වාර්තා නිසා. එහෙත් ජඩමාධ්‍ය කුරුණෑගල රෝහල් අධිකාරිය සෞඛ්‍ය ලේකම්ට එවූ ලිපිය ගැන එතරම් ප්‍රචාරයක් දෙන්නෙ නැහැ. එය එතරම් හිට් නැති නිසා ද? කෙසේ වෙතත් මට ප්‍රශ්නය සෞඛ්‍ය ලේකම් එවැනි නියෝගයක් කෙළේ ඇයි ද යන්නයි. සියලු රාජ්‍ය පරිපාලන නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් ඔහු එසේ කෙළේ ඇයි?

 

මා හිතන්නේ මෙහි දේශපාලන බලපෑමක් තියෙන බව. මේ ආණ්ඩුවේ ප්‍රශ්න පටන් ගත්තේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සමග. විස්සට ජාතිකවාදීන් විරුද්ධ වුණා. විස්ස සම්මත කර ගත්තේ ජාතිකවාදීන්ගේ විරෝධය මැද. විස්සත් සමග බැසිල් රාජපක්‍ෂ නැවතත් බලවත් වුණා. මා කියන දේට ආණ්ඩු පක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්, විශේෂයෙන් ම බැසිල් රාජපක්‍ෂ මගින් නාම යෝජනා ලැබූ අය විරුද්ධ වේවි. බැසිල් හදපු පක්‍ෂයක් නැහැ. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සත්තකින් ම පොදුජන පෙරමුණක්. එය පොදු ජනයාගේ නිර්මාණයක්. බැසිල් කෙළේ පක්‍ෂයට නමක් ලේකම් කෙනෙකු හා සභාපති කෙනෙකු දීපු එක පමණයි.

 

ගෝඨාභය රාජපක්‍ෂ සිංහල ජනතාවගේ ඡන්දයෙන් පත් වුණේ පොදුජන පෙරමුණක් නිසා නොවෙයි. ඔහු ඒ පක්‍ෂයේ සාමාජිකයකු ව සිටියා ද කියාවත් මා දන්නේ නැහැ. එහෙත් සිංහලයන් ඡන්දය දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂට මිස පොදුජන පෙරමුණකට නො වෙයි. කොටින් ම ගෝඨාභය රාජපක්‍ෂ පත්වූයේ බැසිල් නිසා නොව ජාතිකත්වය නිසා. එහෙත් පත් වූ පසු ඔහුට ප්‍රශ්න ඇති වුණා. ජනතාව ඔහු සමග සිටියත් ඒ සංවිධිත ව නො වෙයි. ඔහුට ජනතාව ඡනදය දුන්නත් ඔහුට වඩා මාධ්‍ය ආකර්ෂණයක් මහින්ද රාජපක්‍ෂට තිබුණා. ගෝඨාභය මාධ්‍ය සංදර්ශකයකු නොවෙයි. මහින්ද ඉහළ ම ගණයේ මාධ්‍ය සංදර්ශකයෙක්. ඔහු මාධ්‍ය යෙදා ගැනීම පිළිබඳ විශාරදයෙක්. ඔහුට මාධ්‍ය සම්බන්ධයෙන් අවුරුදු පනහකට වැඩි අත්දැකීම් තියෙනවා. ගෝඨාභය මාධ්‍ය සුරතලෙක් නො වෙයි.

 

එපමණක් නොවෙයි. පාර්ලිමේන්තුවේ බලය තිබුණේ බැසිල්ට. ඒ මන්ත්‍රිවරුන් හරහා. අදත් පසුපෙළ මන්ත්‍රීවරුන් ඉන්නේ බැසිල් සමග. ඔවුන්ට ලබන මැතිවරණයේදීත් නාම යෝජනා අවශ්‍යයයි. හැන්ද තියෙන්නේ බැසිල් අතේ. මට තේරෙන විධියට අමාත්‍යාංශ ලේකම්ලාට පමණක් නොව ජනාධිපති ලේකම්ටත් බලපෑම් කළ හැකි මට්ටමක බැසිල් ඉන්නවා. අද රටේ තියෙන ප්‍රශ්නවලට එක් අයකු පමණක් වැරදිකරුවකු කරන්න මට අවශ්‍ය නැහැ. එහෙම කරන එකත් වැරදියි.

 

අද ප්‍රශ්නවලට මූලික හේතුව අප ජාතියක් හැටියට ණයට කෑම. අපට කිසිම කළමනාකරණයක් බැහැ. විශේෂයෙන් ම මූල්‍ය කළමනාකරණය අපට බැහැ. එය මෙරට ඊනියා උගතුන්ගේ ප්‍රශ්නයක්. ඉංගිරිසි අධ්‍යාපනයෙන් ඔවුන් මොට කරලා. ඔවුන්ට හිතන්න බැහැ. හතළිස් අටේ ඉඳන් බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ හැර අප රටේ නිෂ්පාදනය වැඩි කර ගන්න හිතුවේ නැහැ. අප රටක් හැටියට දුක් විඳින්න පරිත්‍යාග කරන්න (කට්ට කන්න) සූදානම් නැහැ. දෙමවුපියන් තම දරුවන් වෙනුවෙන් අප මෙන් කැප කරන වෙනත් ජාතියක් ලොවේ නැහැ. එහෙත් රට වෙනුවෙන් අප මෙන් කැප නොකරන ජාතියකුත් ලොවේ නැහැ. අපේ ප්‍රශ්න ජාතියේ ප්‍රශ්න. බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රතිපත්ති සිංහලයන් ප්‍රතික්‍ෂෙප කෙළේ ජාතියක් ලෙස කැප කිරීමට එදත් සුදානම් නොවූ නිසා.   

 

එහෙත් මා කියන්නේ ජාතියේ ප්‍රශ්න ගෑන නොවෙයි. ආණ්ඩුවේ ප්‍රශ්න ගැන. පොහොර ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, යුදගනවි ප්‍රශ්නය. මේ ප්‍රශ්නවලට වග කියන්න ඕන කවු ද? පුංචි බණ්ඩා ජයසුන්දර ද? ජයසුන්දර ගෙදර යන්නෙ නැත්තෙ ඇයි? ඔහුට හිරි ඔතප් නැති නිසා ද? නැත්නම් ඔහු ආරක්‍ෂා කරන අයකු ඉන්න නිසා ද? එවැන්නකු නැති වුණොත් ඔහු ගෙදර යාවි. ලංකාවෙ උගතුන් කියන අයට හිරි ඔතප් නැහැ. ඉංගිරිසි අධ්‍යාපනයෙන් ඔවුන්ගෙ හිරි ඔතප් නැති කරලා. ඔවුන් දන්නෙ නිවේදන කියවන්න පමණයි. එහෙත් ඔවුන් යන්නෙ නැත්තෙ ඒ හින්ද නොවෙයි. ඔවුන් ආරක්‍ෂා කරන දේශපාලනඥයන් ඉන්න නිසා.

 

ෂාෆිගේ ප්‍රශ්නය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් ෂාෆි වැරදි කළත් නැතත් ඔහු වැදගත්. ඒ ඔහු මුස්ලිම් නිසා. ඔහු ආරක්‍ෂා කිරීමෙන් පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීන්ගේ ඡන්ද ගන්න පුළුවන් නිසා. මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් නැහැ. එහෙත් ව්‍යවස්ථාව  වෙනස් කර ජනාධිපති ධුරයට පත්කරන ක්‍රමය වෙනස් කරන්න තුනෙන් දෙකක් අවශ්‍යයි. ඒ ලබා ගත හැක්කේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ලබා ගත්තොත් පමණයි. ෂාෆි වැදගත් වන්නේ ඒ නිසයි. සිංහල ජාතිකත්වය පිළිගන්නා මුස්ලිමුන් ඉන්නවා. ඒත් ආණ්ඩුව ඔවුන් පිලිගන්නේ නැහැ.

 

මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙරත් මා කියා සිටියේ මේ පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් නොකළ යුතු බවයි. මා අදත් ඉන්නේ ඒ මතයේ. මේ පාර්ලිමේන්තුවේ බහුතරයකට ජාතිකත්වයක් නැහැ. අද ව්‍යවස්ථාවක් සම්මත කළොත් එය සිදු වන්නේ විස්ස  සම්මත කළ ආකාරයට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්දවලින්. සමහර විට පළාත් සභා තවත් ශක්තිමත් වෙන්නත් පුළුවන්. ඉන්දියාවට 13+ අවශ්‍ය වෙිවි. විස්ස සම්මත කර ගත්තාට වැඩි විනාශයක් නව ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් වෙන බව මට හුන කියන්න වගේ කියන්න පුළුවන්. ජඩමාධ්‍යවේදීන් ඇතුළු ඊනියා ප්‍රබුද්ධයන් හුන විශ්වාස නොකරන බව මා දන්නවා. ඔවුන්ට අනුව මා මිථ්‍යා මත විශ්වාස කරන මැන්ටලයක් පමණයි. මා ඔවුන් මෙන් කළු කුහර හා මහා පිපිරුම විශ්වාස කරන්නේ නැහැ. ඒ මිථ්‍යා මත කියාත් මා කියන්නෙ නැහැ. ජඩමාධ්‍යවේදීන් විද්‍යාත්මක ක්‍රමය හරියට ම දන්නවා. ඔවුන් හැම දෙයක් ම කරන්නෙ විද්‍යානුකූල ව.