Main Logo

Tuesday 21 December 2021

උගත් පඬි නැට්ටන් හා නූගත් මා

 

උගත් පඬි නැට්ටන් හා නූගත් මා

 

මේ ලිපි තවදුරටත් ලියන්න අවශ්‍ය ද යන ප්‍රශ්නය එක්වර ම මගේ හිතට ආවේ රනිල්දාස රට තමන්ට භාර දෙන ලෙසත් තමන්ට රට කරන්න පුළුවන් බවත් කියනු ඇසීමෙන්. ඔහුගේ කතාව ටික දුරක් අසන විට ඔහු උගතකු බවත් ඔහුට පරස්පරවලින් ගැලවෙන්න බැරි බවත් වැටහුණා. ඔහු බෝධිසත්ව වටුවාගේ කතාව මතක් කරමින් මේ අර්බුදයෙන් ගොඩ එන්න සියලු දෙනා එකතු විය යුතු බව කිවුවා. එහෙත් අවසන් වන විට බෝධිසත්ව වටුවා අමතක වුණා. රට තමන්ට භාර දෙන්න කිවුවා. රනිල්දාස බෝසතකු ද කියා මා දන්නේ නැහැ. ඔහු තනියම දැල උස්සන් යන්නයි හදන්නෙ. මා දිගට ම  ලිපි ලියනවා.

 

රනිල්දාසල යටත්විජිතලා කතා කරන්නෙ ඔවුන් කිසිදා ආණ්ඩු පක්‍ෂයක නොසිටියා වගේ. ඒත් ඔවුන් චන්ද්‍රිකාගෙ ආණ්ඩුවක හිටියා, වැවු දාහක් හදන්න කතා කළා. ඉන් කීයක් හැදුවා ද? යමපාලනය රකින්න උදවු කළා. පාර්ලිමේන්තුවේ මීටර් සීය දිවීමේ වාර්තාව ඇත්තෙ යටත්විජිතට. ඒ ඔහු යමපාලනය රකින්න දිවුව දිවිල්ල නිසා. අනෙක් අතට 71, 87-90 කාලයෙ මිනී මැරුම් අපට අමතක වන්නෙ නැහැ. 88 -89 කාලෙ මටත් ඔවුන්ගෙ තර්ජන තිබුණා. ඒ කාලෙ ආණ්ඩුවත් මා ඝාතනය කිරීමට සාකච්ඡා කළා. ඒ බව මට දැන්නුවෙ හමුදාවෙන්. රන්ජන් විජේරත්න තඩි ප්‍රියන්ත ආදීන් එය කතා කරල තියෙනවා. මා ඝාතනය වීමට කලින් රටෙන් පැන ගත්තා. දෙපැත්තෙන් ම තර්ජන තියෙන විට ඝාතනය පහසු වෙනවා. ඝාතකයා හොයා ගන්න එකත් ප්‍රශ්නයක් වෙනවා.

 

රනිල්දාසලත් නිතර කියන්නෙ තමන් උගතුන් බව. මේ උගත්කම බොහෝ දෙනකුගෙ හිත්වලට ගිහින් තියෙන බව මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවන්ට දක්වන විරෝධයෙන් පැහැදිලි වෙනවා. ඒ අය හිතන්නෙ මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවන් කුලපති ධුරයක් දැරීමට නුසුදුසු බවයි. මට තේරෙන්නෙ නැහැ ඔස්වල්ඩ් ගෝමිස් පූජකවරයාට හාමුදුරුවන්ට වඩා ඒ ධුරය සඳහා ඇති සුදුසුකම මොකක් ද කියලා. හාමුදුරුවන්ට දැනුම් තේරුම් ඇති බව හෙදි සංගමය පවත්වා ගෙන යන ආකාරයෙන් වුණත් පැහැදිලි වෙනවා. සුනිල් රත්නප්‍රියලාට තමන්ට අවශ්‍ය ආකාරයට වර්ජන කරල ජනතාව අපහසුතාවට පත්කරන්න බැරි ප්‍රධාන ම හේතුව  උන්වහන්සෙ. දවල් දනියෙල් රෑ මිගෙල් පාදෙණියලාට වුණත් උන්වහන්සෙ අභියෝගයක්. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ ඊනියා උගතුන්ට උන්වහන්සෙ සමග හැරෙන්නවත් බැහැ.

 

මුහුණු පොතේ පඬි නැට්ටන්ට අනුව මා මෝඩයෙක්. පිස්සෙක්. ඔවුන් කිවුවත් නැතත් මට තියෙන ප්‍රධාන ම ශක්තිය මා උගතකු බුද්ධිමතකු වියතකු නො වීම. මා පේරාදෙණියෙ කොළඹ හා කැලණියෙ වැඩ කරලා තියෙනවා. එ හැම තැන ම උගතුන්ට මා හිසරදයක් වුණා. එක් පඬිනැට්ටකු කියා තිබුණා විශ්වවිද්‍යාල පනතෙ 32 වැනි වගන්තියෙන් කියැවෙන්නෙ කුලපති තනතුරට ඊනියා උගතකු නම්කරන්න කියලාලු. නිතර මූලාශ්‍ර ගැන කියන පඬි නැට්ටන් ඒ වගන්තිය උපුටා දක්වා තිබුණෙ නැහැ. මා නැවතත් ඒ වගන්තියත් 53 වැනි වගන්තියත් උපුටා දක්වනවා.    

 

32. The President shall nominate the Chancellor of each University. The Chancellor shall be the Head of the University, hold office for a period of five years reckoned from the date of his nomination, and shall, preside at any Convocation of the University.

 

53. A University shall hold once in every year on such date or dates as may be approved by the Chancellor, a Convocation for the purpose of conferring degrees:

Provided that, a University may hold a Special Convocation at such other time as the Chancellor may determine:

 

Provided further that, first degrees may be conferred without the holding of a Convocation.

 

The Procedure of a Convocation shall be prescribed by By-law.

 

The President shall, when present, preside at a Convocation. In his absence, the Chancellor shall preside at such Convocation, and in the absence of both the President and the Chancellor, the Vice-Chancellor shall so preside.

 

32 වැනි වගන්තියෙන් කියැවෙන්නෙ නැහැ කුලපති තනතුරට සහතික උගතකු පත් කරන්න කියලා. ජනාධිපතිතුමා තීරණය කරල තියෙනවා මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවන්ට ඒ තනතුර දැරීමට දැනුම් තේරුම් තියෙනවා කියලා. උන්වහන්සේ අර උපාධි කෝළමේ දි හැසිරුණු ආකාරයෙන් ම පේනවා උන්වහන්සේට ඒ දැනුම් තේරුම් තියෙන බව. එහෙත් උප කුලපතිනිය එහි දී හැසුරුණු ආකාරය අනුව ඇයට දැනුම් තේරුම් තියෙන බවක් පේන්නෙ නැහැ. එක් පඬි නැට්ටකු කියා තිබුණා දැනුම් තේරුම් ඇති බව කීම හිස් වචන ටිකක් කියල. ඔහු ඊනියා උගතෙක්. උගතුන් කියන්නෙ දත්ත ගබඩා පමණයි. ඔවුන්ට දැනුමක් තේරුමක් නැහැ. තේරුම කියන්නෙ අරුත. අර්ථය. එය විවිධාකාරයෙන් යොදා ගන්න පුළුවන්. හාමුදුරුවරු රජුට හා ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. අර්ථය කියන එකත් එක්ක ආර්ථික යන වචනය එක්කත් බැඳිලා.

 

අද තියෙන ආර්ථික අර්බුදයට ඊනියා උගතුන් දේශපාලනඥයන්ට වඩා වග කියන්න ඕන. මේ ආර්ථික දේශපාලනික අර්බුදය ඇති වුණෙ ම ඊනියා උගතුන්ගෙ මධ්‍යම පංතිය ප්‍රසාරණය වීමත් සමග. ඔවුන්ට කිසිදා තමන්ගෙ විසඳූම් තිබුණෙ නැහැ. ජාමුල (IMF) නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියන එක හැරෙන්න  මහා බැංකුවෙ ජාමුල ජයවර්ධනලාට විසඳුමක් නැහැ. මධ්‍යම පංතිය ණයට කැව මිසක් කරපු දෙයක් නැහැ. උගතුන් දන්නෙ බටහිර රටකට ගිහින් ඊනියා විසඳුම් හොයන්න. අවුරුදු හැත්තෑවක් තිස්සෙ ගෙනාපු විසඳුම් නිසා අද මොකක් ද වෙලා තියෙන්නෙ. 

 

මේ උගතුන්ට අවශ්‍ය වුණා චීනය තරහ කරවන්න. අර ඊනියා අශූචි නැවේ කතාව ඒ සඳහා ගොතන ලද්දක්. ක්‍ෂුද්‍ර ජීවින් පොහොරවල ඉන්නවද කියල බලන්න අදාළ පරීක්‍ෂණය දින පහක් කළ යුතු බවයි චීනය කිවුවෙ. අපේ අය එය දවස් තුනෙන් කළා. එය හරි ශූර වැඩක් වෙන්න ඕන. බටහිර ගැති උගතුන්ට අවශ්‍ය වුණෙ චීනය තරහ කරලා අප ජාමුලයට බටහිරට හා ඉන්දියාවට යවන්න. එය යම් ප්‍රමාණයකට සාර්ථක වුණා. උගත්කමක් ගෑවිලා තියෙනව කියලා හිතපු පඬි නැට්ටන් විද්‍යාව දැන ගත්තත් නැතත් අශූචි නැවක් ගැන කියවන්න පටන ගත්ත.

 

ඉන්දියාව අපට ණය දුන්නෙ ඔවුන්ගෙන් තෙල් ගන්නව නම් පමණයි. ඉන්දියාවට අවශ්‍ය අවසානයේ මෙරට තෙල් අධිකාරිය ඇමරිකාවත් සමග එකතු වෙලා පවත්ව ගෙන යන්න. යුදගනවි මෙහි එක් පැත්තක් පමණයි. ආරංචි හැටියට චීනය මේ සියල්ල මැද්දෙ ඩොලර් බිලියන 1.5ක් දෙන්න ලැහැස්තියි. අප චීන ගැත්තන් විය යුතු නැහැ. ඒත් ඒ මුදල දෙනව නම් ගන්න ඕන.  ඊනියා උගතුන්ට ණයට කන්න දෙන්න නො වෙයි. එමගින් යම සංවර්ධන ක්‍රියාවලියක සිද්ධ වෙන්න ඕන. චීනය තරහ කරගෙන යුදගනවි බේරා ගන්න හිතන්න එපා.

 

ඔය සමාජයීය විද්‍යාඥයන් ඉදිරිපත් කරල තියෙන  එක සංකල්පයක් කතන්දරයක් කියන්න. වර්ණපාල ක්‍රමය කියා එකක් නම් තියෙනවා. ඒත් ඒක දේශපාලන විිද්‍යාවෙ නොවෙයි ප්‍රේම විද්‍යාවෙ. බටහිර විද්‍යාඥයන් වෙද මහතුන් කියල වෙනසක් නැහැ. වසංගතය ගැන බටහිර වෙද මහතුන් කියන්නෙ මොනවා ද? බටහිරින් එන නිවේදන රවි කුමුදේශ්ටත් කියවන්න පුළුවන්. උගතකු නොවන මටත් කියවන්න පුළුවන්.

 

මා ලංකා විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගත් දෙයක් නැහැ. පාසලේදි ගුරුවරු පොතේ නැති දේ අපට ඉගැන්නුවා. මා නූගතකු වූ ආකාරය වෙන ම ලියන්න ඕන. වෑකඩ ඉස්කෝලෙත් දෙවැනි පංතියේ සිට පස්වැනි පංතිය දක්වා තර්ස්ටන් විදුහලෙත් ඉන්පසු රාජකීය විදුහලෙත් මා නොයෙක් දේ ඉගෙන ගත්තා. ඒත් ලංකා විශ්වවිද්‍යාලෙන් ඉගෙන ගත්ත දෙයක් නැහැ. කථිකාචාර්යවරුන් කියා දුන් හැම දෙයක් ම පොත්වල තිබුණ. මා තුන්වැනි වසරෙදි හතරවැනි වසරෙ උගන්වන දේත් පොතපතින් දැන හිටියා. මට පුළුවන් කම තිබුණ හතරවැනි අවුරුද්දෙ සිසුන්ටත් කියා දෙන්න. සාක්‍ෂි අපට අවුරුදක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු වූ ජී ටී බණ්ඩාරගෙන් අහන්න. ඔහු තමයි රෝයල් ඉන්ස්ටිට්‍යුට් පටන් ගත්තෙ.

 

මා මේ කරුණ කියන්නෙ කයිවාරුවක් සඳහා නො වෙයි. මා විශ්වවිද්‍යාලයෙන් කිසිවක් ඉගෙන නොගත් බව පෙන්වීමට. මට අවශ්‍ය වුණා තුන්වැනි අවුරුද්ද අවසානයෙ උපාධි පරීක්‍ෂණයට පෙනී හිටින්න. අංශ ප්‍රධාන ඩග්ලස් අමරසේකර එයට එකඟ වුණත් අනෙක් ආචාර්යවරු එකඟ වුණෙ නැහැ. එහෙම ඉඩ දුන්නොත් උපාධිය බාල්දු වෙයි කියල හිතන්න ඇති. ලංකා විශ්වවිද්‍යාලයෙ නිර්මාණාත්මක අදහසක් මට අහන්න ලැබුණෙ නැහැ. එහෙත් සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ අලුත් අදහස් නිතර සාකච්ඡා කෙරුණා. පඬි නැට්ටකු අහල තිබුණ සුපුරුදු ප්‍රශ්නය. බටහිරට බැණ බැණ බටහිරින් ඉගෙන ගන්නෙ ඇයි කියල. මේක අර බරකරත්තෙන් අනුරාධපුරයට ආපහු යන එකේ අනෙක් පැත්ත.

 

මට ආරංචියක් ලැබුණ උපාධි කෝළමේ දී කලින් අනභිමුඛයෙන් උපාධි ලබාගත් කිහිප දෙනකුත් නැවතත් අභිමුඛයෙ උපාධි ගන්න ඇවිත් කියල. එය ඇත්තක් නම් මා දැන ගන්න කැමතියි පාලක මණ්ඩලය ඒ ක්‍රියාව අනුමත කරා ද කියලා. එසේ තීරණයක් අර ගත්තා නම් එය කෙරුණෙ කිනම් අතුරු නියෝගයක් (By-Law)  යටතෙ ද? 53 වැනි වගන්තිය අනුව උපාධි ප්‍රදානොත්සවය පවත්වන්න ඕන අතුරු නියෝගවලට අනුව.  උප කුලපතිනිය ඒ අතුරු නියෝග අඩු තරමෙන් කුලපති හාමුදුරුවන්ට ලබා දෙනවා ද? අනභිමුඛයේ උපාධි ගත් අන් අයටත් අභිමුඛයේ ගන්න අවස්ථාව සලසනවා ද? උපාධිය දෙවරක් ගන්න පුළුවන් ද?

 

උප කුලපතිනිය බෞද්ධ ද කියා මා දන්නෙ නැහැ. ඇය උගත් බව නම් මා දන්නවා. ඇය අදාළ ප්‍රශ්න පාලක මණ්ඩලයට යොමු කළා ද කියාත් මා දන්නෙ නැහැ. ඒත් ඇය උපාසිකාවකට සුදුසු ආකාරයෙන් නොහෑසිරුණු බව නම් මා දන්නවා. ඇය අර බම්බුව හාමුදුරුවන්ගෙන් ලබා ගත්තෙ උපාසිකාවකට සුදුසු අයුරෙන් නො වෙයිි. ඇය අබෞද්ධ නම් සමහර විට උපාසිකාවන් හැසිරෙන ආකාරය නෙදන්නවා ඇති. ඇයට මෛත්‍රී කරමු.