Main Logo

Thursday 16 December 2021

රජයේ පණතකින් ෆැට්වා දඬුවම හිස මත පැටවුණු සුෆී මුස්ලිමුන්

 

රජයේ පණතකින් ෆැට්වා දඬුවම හිස මත පැටවුණු සුෆී මුස්ලිමුන්

 

ඊයේ (දෙසැම්බර් 15) පළ කළ ලිපිය තරමක් වියුක්තයි. එබැවින් එය ඇතැමුන් කියවා නැහැ. මේ ලිපියේත් මුල් කොටස වියුක්තයි. ඒ ලිපියෙහි හරය වුණේ රාජ්‍ය නීතිවලට අමතර ව සමූහ නැත්නම් සමිති සමාගම්වල නීති තියෙන බවත් ඒ නීති අදාළ සමිතියේ සාමාජිකයන්ට පමණක් බවත්. එමෙන් ම සමූහ නීති සම්පාදනය කිරීමට සමිතිය විධායක සභාවක් පත් කර ගැනීම වැනි යම් යම් ක්‍රියා මාර්ග යොදා ගන්නා බවත් ඒ ක්‍රියා මාර්ග  සමිතියේ සාමාජිකත්වය විසින් අනුමත කෙරිය යුතු බවත්.

 

මේ ඇතැම් සමූහ, ආයතන වෙන්න පුළුවන්. සමහර ආයතන රජය විසින් ඇති කෙරෙන ආයතන වෙන්න පුළුවන්. එවැනි ආයතනවල නීති සම්පාදනය කෙරෙන්නේ රජය අනුමත කරන මණ්ඩලවලින්. ආයතනවල නීීති සම්පාදනය කිරීමට පාලක මණ්ඩලයක් තියෙන්න පුළුවන්. පාලක මණ්ඩලයේ රජයේ නියෝජිතයන් මෙන් ම ආයතනයේ නියෝජිතයන් ද ඉන්න පුළුවන්. පාලක මණ්ඩලයට හැකියාව තියෙනවා ආයතනයේ සියල්ලන් වෙනුවෙන් ම නීති සම්පාදනය කිරීමට. එසේ වුණත්  ආයතනයේ ඇතැමුනට පාලක මණ්ඩලයට සාමාජිකයන් පත් කරන්න බැහැ. මෙය අර සමුහ නීති කතාවෙන් තරමක වෙනත් දෙයක්. ආයතනයක සාමාජිකයන් කියන්නෙ සමූහයක සාමාජිකයන් වැනි පිරිසක් නො වෙයි. රජය විසින් ඇති කෙරෙන ආයතනවල වියදම් කෙරෙන්නෙ රජය විසින් සහ ඇතැම් විට ආයතනයත් විසින්. එවැනි ආයතනවල ඉන්න බොහෝ දෙනා සේවකයන් මිස සාමාජිකයන් නො වෙයී.

 

එයට අමතර ව පෞද්ගලික ආයතන තියෙනවා. එහි අයිතිය පෞද්ගලික සමාගමක් සතුයි. පෞද්ගලික සමිතියේ සාමාජිකයන් ඉන්නවා. ඔවුන් ආයතනයේ කොටස් හිමියන්. ඔවුන් නීති සම්පානය කිරීම සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩලයක් හරි වෙනත් එවැනි මණ්ඩලයක් හරි පත් කර ගන්නවා. ආයතනයේ සාමාජිකයන් ඒ කොටස් හිමියන්. ආයතනය ඇතැම් විට වැටුප් ගෙවා සේවකයන් බඳවා ගන්නවා. ඒත් ඒ සේවකයන් ආයතනයේ සාමාජිකයන් වන්නේ නැහැ. සාමාන්‍ය සමිතියකට වුණත් ඇතැම් කරුණු සඳහා ඒ ඒ අවස්ථාව අනුව සේවකයන් බඳවා ගන්න පුළුවන්. එහෙත් ඒ සේවකයන් සමිතියේ සාමාජිකයන් වන්නේ නැහැ. සමිතියකට තම සමාජිකයකු නොවන අයකු ගිණුම් කටයුතු සඳහා වැටුපක් ගෙවා හෝ නැතුව හෝ යොදා ගන්න පුළුවන්. සමිතියක හරි ආයතනයක හරි සාමාජිකයන්ට අමතර ව සේවකයන් ද ඉන්න පුළුවන්. 

 

මට පසුගිය දා හමුවුණා කාත්තන්කුඩියේ මුස්ලිම් ආගමිකයන් කිහිප දෙනකු. ඔවුන් සුෆී බැතිමතුන්. ඔවුන් වහාබ්වාදීන් නො වෙයි. ඔවුන් සිංහල සංස්කෘතියෙන් ද යම් යම් දේ අවශෝෂණය කර ගෙන. ඔවුන් කිරිඅම්මාවරුන්ගේ දානත් දෙන උදවිය. මුස්ලිම් වහාබ්වාදී මූලධර්මවාදීන් කියන්නේ මේ සුෆීවරුන් නියම මුස්ලිමුන් නොවේ ය කියා. ආගම්වල මෙය ප්‍රශ්නයක්. නියම ආගමිකයා කවුද යන්න දැන ගන්නෙ කොහොම ද? නබිතුමා කිරිඅම්මාවරුන්ගේ දාන දීමට කියා තියෙනවා ද? ඔවුන් මට කී කරුණක් නිසා මා කම්පනයකට පත් වුණා. ඔවුන් ජීවත්වන්නේ ඊනියා නියම මුස්ලිමුන්ගේ නැත්නම් වහාබ්වාදීන්ගේ ෆැට්වා මරණ දඬුවම හිස මත තබා ගෙන. ෂර්යා නීතිය මෙරට ක්‍රියාත්මක වෙනවා. ෆැට්වා දඬුවම නියම කිරීම චන්ද්‍රිකාගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවෙන් අනුමත කළ 2000 අංක 51 දරණ පනතින් එක් සමිතියකට ලබා දී තිබෙනවා.

 

ඒ ගැන කතා කිරීමට පෙර මේ නියම ආගමිකයා ගැන යමක් කියන්න ඕන. අද ලෝකයේ ප්‍රධාන ම ආගම බටහිර විද්‍යාව. එහි ක්‍රිස්තියානි සංරචකයක් තියෙනවා. එමෙන් ම ග්‍රීක හා යුදෙවු සංරචකත් තියෙනවා. නියම විද්‍යාඥයා නියම වෛද්‍යවරයා කවුද? මා නම් කිසිම ආකාරයක උගතෙක් නො වෙයි. ඕනෑම ජඩමාධ්‍යවේදියකු එයට සාක්‍ෂි දරාවි. මා අසාමාන්‍ය වකුගඩු රෝගය ගැන බටහිර වෛද්‍ය විද්‍යාවේ මතයට පටහැණි ව ක්‍රියා කළ අයෙක්. මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබාගන්න පුළුවන් බව කියන මැන්ටලයක්. ඒ නිසා ම මෙයට අවුරුදු දහයකට දොළහකට පමණ පෙර එක්තරා රූපවාහිනි නාළිකාවක් මා බොරු කාරයකු වංචා කාරයකු බව පෙන්වීමට ද්විමාන අවකාශයේ අංශක තුන්සිය හැට ම  කරකැවුණා. වාසනාවකට ඔවුන් ත්‍රිමානයේ අංශක ගණන දන්නේ නැහැ. ඔවුන් උත්සාහ ගත්තේ මා ජාතික චින්තනයක් ගැන කතා කරන බොරුකාරයකු බවත් මගේ දරුවන් පිටරට ඉගෙන ගත් බවත් පෙන්වීමට. ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වූ බව කීම අවශ්‍ය නැහැ.  මට රැකියාවකුත් නැතුව මා පුතුන් පිටරට ඇරියේ සිංහල ගුරුවරුන් වූ ඔවුන්ගේ සීයලා ආච්චිලගේ මුදලින් වෙන්න ඇති. ජී එල් පීරිස්ට නම් පිටරට අධ්‍යාපනය ලැබීමට මාත් මගේ පියාත් සුළු ආධාරයක් කර තියෙනවා. ඔහු ඒ් පිළිබඳ කළ ගුණ සැලකුවේ මා රැකියාවෙන් පහ කිරීමෙන්.    

 

විලච්චියේ වකුගඩු රෝගීන් සඳහා මා පාරම්පරික වෙදමහතකු සමග වෙදගෙදරක් සංවිධානය කළා. අවුරුදු දෙකක් පමණ සති දෙකකට වරක් මා වෙදමහතා සමග එහි ගොස් රෝගීන්ට වෙදකම් කිරීමට සැලැස්සුවේ කැලණිය විශ්වවිද්‍යාලය මට ගෙවූ මුදලින්. මා එකල එහි සේවකයකු මෙන් ම පාලක මණ්ඩලයේ සාමාජිකයකු ද වුණා. ඒ කියන්නෙ පාලක මණ්ඩලය ඒ මුදල වියදම් කිරීම අනුමත කළ බව නො වෙයි. එකල ඒ නාළිකාව ඒ රෝගය පිළිබඳ කළ ඉටිගෙඩියක් නැහැ. ඔවුන් මා බොරුකාරයකු බව කීමට නම් උත්සාහ ගත්තා. එහෙත් මා අහගෙන හිටියා ඔවුන් තම මනුෂ්‍යත්වය ගැන කියමින් ඒ රෝගය ගැන සෙවීමට එකල ක්‍රියා කිරීමක් ගැන. 

 

මා ඒ කතාව කිවුවේ මට ගෞරවයක් ලබා ගැනීමටවත් පිළිගැනීමක් ලබා ගැනීමටවත් නො වෙයි. මෙරට ජඩමාධ්‍යවේදීන් ඇතුළු උගතුන්ට අනුව මා මිථ්‍යා මතධාරියෙක්. මා එය මතක් කෙළේ බටහිර විද්‍යාව තම ආගමේ නැති අයට ෆැට්වා මරණ දඬුවම නියම නොකළත් එවැන්නන් නොමරා මැරීම ගැන කියන්න. බටහිර දැනුම් ආධිපත්‍යය පිළිගන්නා අයට පුළුවන් එවැන්නන්ට ජීවත්වීම අසීරු කරන්න. මා කිසිම ආකාරයක වෛද්‍යවරයකු නොවෙයි. එහෙත් මෙරට නියම වෛද්‍යවරුන් කවු ද යන්න අද වැදගත්.  පාරම්පරික වෙදමහතුන් ගොඩ වෙදුන් ද වට්ටෝරු වෙදුන් ද? නියම වෙද මහතා අද කිහිප තැනකින් බිහි වුණත් 1966 පමණ වන තෙක් බිහි වුණේ කින්සි පාරෙන් ද? මේ නියම වෙද මහතුන් වත්මන් වසංගතය ගැන සංඛ්‍යා ලේඛන කියවනවා හැරෙන්න දන්නේ මොනවා ද? ඔවුන්ට අර අසාමාන්‍ය වකුගඩු රෝගය දශක ගණනාවකට පසුවත් හේතුව නොදත් වකුගඩු රෝගය!

 

නියම බෞද්ධයා කවුද? නියම භික්‍ෂූන් වහන්සේ කවුද? බලපිටියේ සිට කොළඹට බයිසිකලයෙන් (පා පැදියෙන්) පැමිණි (වැඩම කළ) මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවන් නියම භික්‍ෂූන් වහන්සේ නමක් ද? මා ලියූ මගේ ලෝකය බෞද්ධ පඬිවරයකු යැයි කියන මහාචාර්යවරයකු කිසිම කරුණාවක් නැතුව ප්‍රතික්‍ෂෙප කෙළේ ඇයි? බුදුහාමුදුරුවන් දෙසූ බුදුදහම ඒ ආකාරයෙන් ම දන්නේ කවුද?  සිංහලයන් සමග සංහිඳියාවෙන් ජීවත්වන සිංහල සංස්කෘතියෙන් යම් යම් දේ උකහාගත් එහෙම නැත්නම් අවශෝෂණය කළ  කාත්තන්කුඩියේ සුෆීවරුන් නියම මුස්ලිමුන් නො වේද? නබිතුමාත් පැත්තකට දමා කෙලින් ම අල්ලා දෙවියන් කරා යෑමට කියන අය පමණක් මුස්ලිමුන් ද? සිංහලයන් හා මෙරට ආණ්ඩු මේ සුෆීවරුන් ගැන සැලකිල්ලක් නොදක්වන්නේ ඇයි? ඔවුන්ගේ හිස මත ඇති ෆැට්වා ක්‍රියාත්මක කිරීමට අප ඊනියා නියම මුස්ලිමුන්ට ඉඩ දෙනවා ද?