Main Logo

Sunday 19 December 2021

යන එන මං නැති වමාලාගෙ මුරුත්තේට්ටුවෙ හිමි වර්ජනය ගැන ආවර්ජනයක්

යන එන මං නැති වමාලාගෙ මුරුත්තේට්ටුවෙ හිමි වර්ජනය ගැන ආවර්ජනයක්

 

අද වමාලාට යන එන මං නැතිව පිදුරු ගහක වුණත් එල්ලෙනවා. මුළු ලෝකය ම ආර්ථික අර්බුදයක. ඒ්ත් ධනවාදය පෙරළ ගන්න බැහැ. විප්ලවය පේන තෙක් මානෙක නැහැ. මාක්ස්ගෙ අනාවැකි බොරු වෙලා බොහොම කල්. බටහිර භෞතික විද්‍යාවත් පට්ටපල් බොරු තමයි. ඒ සියල්ල, සියලු දැනුම් බොරු කියන අරුතින්. බටහිර විද්‍යා පට්ටපල් බොරු වන්නෙ ඒ කතන්දර වියුක්ත නිසා. ඒත් බටහිර භෞතික විද්‍යාව ඇතුළු ඊනියා ස්වාභාවික විද්‍යාවන්හි සමහර හිතළු හරි යනවා, වැඩ කරනවා. හරි යනවා කියන්නෙ හරි බව නො වෙයි. හරි යන හිතළු කතන්දර වෙනවා. ඒ කතන්දර අපත් සමහරවිට යොදා ගන්නවා. මේ සරල කාරණය පඬි නැට්ටන් බොහෝ දෙනකුට තේරෙන්නෙ නැහැ.

 

බටහිර විිද්‍යාවන්හි සමහර කතන්දර හරියන බව පේන්න තියෙනවා. ඒත් ඒවා එහි මූලික කතන්දරවලට පටහැණි වෙනවා. එසේ පටහැණි වන බව දැන ගන්නට නොහැකි වුණා ම හරියන බව පේන්න තියෙන කතන්දර විශ්වාස කරනවා. කළු කුහර පිළිබඳ කතාව එවැන්නක්. අයින්ස්ටයින්ගෙ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙ විසඳුමක් තියෙනවා ෂ්වාර්ස්චයිල්ඩ් අභ්‍යන්තර විසඳුම කියලා. ඒ විසඳුමට අනුව වස්තුවක් දිගට ම කඩා වැටෙන්නෙ නැහැ. එක්තරා අවස්ථාවක දි ඒ කඩා වැටීම නැත්නම් කේන්ද්‍රය දෙසට ඇදී යැම නවතිනවා. එසේ වන්නේ අවකාශ කාලය විසින් ඇති කෙරෙන තෙරපුමකින් ආකර්ෂණය වෙනුවට විකර්ෂණයක් ඇති කෙරෙන නිසා.

 

ආකාශයත් පංච මහා භූතයන්ට අයත්. බටහිර ආකාස භූතය නැහැ. විශ්වය වුණත් සංකෝචනය වෙලා නැවත ප්‍රසාරණය වෙන්නෙ මේ ආකාස භූතය නිසා. ඒත් බටහිරයන් ඒ කතාව විශ්වාස කරන්නෙ නැහැ. ඒ ආකාස භූතය ඔවුන්ගෙ සංස්කෘතියෙ දැනට නැති නිසා. බටහිර භෞතික විිද්‍යාවෙ අඳුරු ද්‍රව්‍යය (dark matter) අඳුරු ශක්තිය (dark energy) කියන්නෙත් මේ ආකාස භූතයට බවයි මා හිතන්නෙ. වසන්ත කටුගම්පළ, ශෂිනිකා විමලධර්ම, කුමුදුමලී ජයකොඩි ඒ සම්බන්ධ පත්‍රිකාත් ලියල තියෙනවා.    

 

බටහිර සමාජයීය විද්‍යාවන්හි ඒ කතා එහෙමවත් හරියන්නෙ නැහැ. එයට ප්‍රධාන හේතුව එහි විෂය වන කරුණු වියුක්තකරණයකට ලක්කිරීමට නොහැකි වීම. සියළු ගෙඩි පොළොවට වැටෙනව වගේ මනස් එක විධියට වැඩ කරන්නෙ නැහැ. අපේ විරසක බොහොමයකට හේතුව අපේ මනස් එක විධියකට වැඩ නොකිරීම. ඕනෑම පළල් සමාජයක නොව ගෙදරක වුණත් ඒ ප්‍රශ්නය තියෙනවා. ඔය බොහෝ දෙනා කියන්නෙ තමා තේරුම් ගැනීමට උත්සාහ කරන්න කියලා. ඒක කරන්න පුළුවන් නම් ප්‍රශ්න රාශියක් විසඳිලා.

 

අද ඇති ලෝක ආර්ථික අර්බුදයට ආර්ථික විද්‍යාඥයන්ට විසඳුම් නැහැ. ලංකාවෙත් කාණුවක් කාණුවක් ගානෙ ඊනියා ආර්ථික විද්‍යාඥයන් හිටියත් ඔවුන්ට කරන්න පුළුවන් රූපවාහිනියේ පඬි කතා කියන එක පමණයි. දේශපාලනයෙදි නැත්නම් සමාජ විකාශයෙදි මාක්ස්ට අනුව මෙළහට කිහිප සැරයක් ම විප්ලවය වෙලා තියෙන්න ඕන. ඒත් අවුරුදු දෙසියකට පමණ ඊනියා කම්කරු පංති විප්ලවය ඇවිල්ල නැහැ. අනෙක් කරුණ තමයි ඒ ඊනියා විප්ලවය මුලින් ම ඇතිවෙන්න ඕන දියුණුය කියන රටවල. ඒත් එහෙම විප්ලවයක් එන බවක් බටහිර රටකදි දැක ගන්න බැහැ.

 

මාක්ස්වාදීන්ට ඒකට උත්තරයක් තියෙනවා. විප්ලවයට ඊනියා විෂයමුල අවශ්‍යතා සම්පූර්ණ වුණත් මනෝමුල අවශ්‍යතාව සම්පූර්ණ වෙලා නැහැ කියනවා. ඒ කියන්නෙ ඊනියා කම්කරු පංති නායකත්වය බිහිවෙලා නැහැලු. හරි වැඩේ. අවුරුදු දෙසීයකටවත් ඒක ඇති වෙලා නැහැ. මට පොඩි යෝජනාවක් තියෙනවා. රනිල්දාස යටත්විජිත හේරත් ක්වොන්ටම් ජාගොඩ වගේ අය අයර්ලන්තයට එංගලන්තයට වේල්සයට ගිහින් බිරිතානියෙ කම්කරු පංති නායකත්වය බිහි කරනවා ද? ඉස්සෙල්ලා බිරිතානියෙ විප්ලවය කරල ඉන්න ඕන. මාක්ස්ට අනුව දෙයියනේ කියල ලංකාවෙ විප්ලවය සාක්‍ෂාත් කර ගන්න පුළුවන් ඊට පස්සෙ.

 

ඉතින් එතකන් මොක ද කරන්නෙ. කොළඹ විශ්වවිද්‍යාලෙ උපාධිලාභීන් මුරුත්තේට්ටුවෙ හාමුදුරුවන්ගෙන් උපාධි සහතිකය ලබා ගැනීම ප්‍රතික්‍ෂෙප කිරීම ගැන ඒ අයට විප්ලවීය ආචාරය පුදනවා ද? සකර්බර්ග් අනාථ කඳවුරෙ  පඬි නැට්ටකුගෙ දුවත් උපාධි සහතිකය ලබා ගත්ත කියල ආරංචියි. මේ උපාධි සහතික හාමුදුරුවන්ගෙන් ලබා ගැනීම ප්‍රතික්‍ෂෙප කළාය කියන එක පට්ටපල් බොරුවක්. හාමුදුරුවොත් උපාධි ප්‍රදානොත්සවයෙ එක සැසිවාරයක දි සහතික හා පදක්කම් පිරිනමලා තියෙනවා. ඒ නැතත් හාමුදුරුවො තමයි සහතිකය වෙන අයකු ලවා ලබා දෙන්නෙ.

 

පේරාදෙණිය කොළඹ කැලණිය විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයකු ලෙසවත් ආචාර්යවරයකු ලෙසවත් පීඨාධිපතිවරයකු ලෙසවත් මා ඔය යුරෝපීය වැඩවසම් උත්සවයට සහභාගි වෙලා නැහැ. කැලණියෙ දි මා විද්‍යා පීඨාධිපති ලෙස කටයුතු කරද්දි  මට තිබුණා විද්‍යා පීඨ උපාධිලාභීන්ගෙ නම් ලැයිස්තුව කියවන්න. මා එය ප්‍රතික්‍ෂෙප කළා. සුපුරුදු පරිදි ගාලගෝට්ටියක් ඇති වුණා. මා උපාධිලාභීන්ගේ අයිතිවාසිකම් පැහැර හරින බවට චෝදනාවක් ඉදිරිපත් වුණා. මා කිවුවා අවශ්‍ය නම් වෙනත් පීඨාධිපතිවරයකු පත්කර ගන්න කියා නැත්නම් කාට හරි කියල ලැයිස්තුව කියව ගන්න කියා. පීඨාධිපතිවරයකු අස්කිරීමේ ක්‍රමවේදයක් 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතෙ සඳහන් වෙන්නෙ නැහැ. පස්සෙ ඔවුන් වෙනත් පිඨයක පීඨාධිපතිවරයකු ලවා නම් ලැයිස්තුව කියන ගත්තා.

 

මා ලංකා විශ්වවිද්‍යාලයෙන් මෙන් ම සසෙක්ස් විශ්වවිද්‍යාලයෙනුත් උපාධි සහතික ලබා ගත්තෙ අනභිමුඛයෙ. ලංකා විශ්වවිද්‍යාලෙ මුල් කුලපතිවරු ආණ්ඩුකාරයන්, අග්‍රාණ්ඩුකාරයන්, ජනාධිපතිවරුන්. අපේ කාලෙ කුලපති විලියම් ගොපල්ලව. ඊට ඉස්සර කාලවල විප්ලවවාදීන් තම උපාධි සහතික ඉංගිරිසි ආණ්ඩුකාරයගෙන් හරි අග්‍රාණ්ඩුකාරයාගෙන් හරි ලබා ගෙන තියෙනවා. මාත් සුදු කමිසය කලිසම කබාය පාසල් ටයිපටය ඇඳ පැලඳ අග්‍රාණ්ඩුකාරයාගෙන් තෑගි ලබා ගෙන තියෙනවා. ඒ පාසලේ දී. පාසලේ තෑගි බෙදා දුන්නෙ ආණ්ඩුකාරයා අග්‍රාණ්ඩුකාරයා ජනාධිපති පමණයි.

 

උපාධිය අවසාන වශයෙන් සම්මත කෙරෙන්නෙ සනාතන සභාවෙන්. පාලක මණ්ඩලය එය අනුමත කළ පසු උපාධි සහතිකය ලබා දෙන්නෙ කුලපති. කාගෙ අතින් සහතිකය ලැබුණත් ඒ ලැබෙන්නෙ කුලපති වෙනුවෙන්. කුලපතිට පුළුවන් සහතික පත් බෙදා දීමේ කාර්යය වෙනත් අයකුට පවරන්න. ඒත් ඒ තැනැත්තා උපාධි සහතිකය දෙන්නෙ කුලපති වෙනුවෙන්. කිසිවකුට බැහැ අභිමුඛයෙ උපාධිය ලබා ගන්නවා නම් කුලපතිගෙන් ලබා ගැනීම ප්‍රතික්‍ෂෙප කිරීමට. පීඨාධිපතිවරයකුගෙන් සහතිකය ලබා ගත්තත් ඒ කුලපති වෙනුවෙන් දෙන සහතිකයක්.

 

මා අනභිමුඛයෙන් උපාධිය ලබා ගත්තෙ විලියම් ගොපල්ලව ප්‍රතික්‍ෂෙප කිරීමට නො වෙයි. මා ලෝගු ඇඳීම හා බටහිර නූතනත්වයටත් ලැබී ඇති බටහිර වැඩවසම් සංස්කෘතික උත්සවය ප්‍රතික්‍ෂෙප කරන නිසා. මා කිසි දිනෙක උපාධි ලෝගුවක් ඇඳ නැහැ. ලෝගු බටහිර වැඩවසම් විශ්වවිද්‍යාලවලට ආවෙ කතෝලික පල්ලියෙන්. උපාධිය අනුව විවිධ වර්ණ ලෝගු තියෙන්නෙ කතෝලික පල්ලියෙ පූජකවරුන්ගෙ තරාතිරම අනුව ලෝගුව වෙනස් වෙන ආකාරයට. ලංකාවෙ නම් කාදිනල්තුමන්ලා බීස්කුවරුන් පාදිලිවරුන් අඳින ලෝගු සහ විවිධ උපාධිධාරීන් අඳින ලෝගු සන්සන්දනය කරන්න.

 

කිසිම විශ්වවිිද්‍යාලයක් මට ඩී ලිට්, ඩී එස් සී වැනි ගෞරව උපාධියක් පිරිනමන එකක් නැහැ. බැරි වෙලාවත් පිරිනැමීමට තීරණය කළොත් කුලපතිට ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවේවි.