Main Logo

Sunday 26 December 2021

මනමේ කුමරුට සීමාවාසික පත්වීමක්

 

මනමේ කුමරුට සීමාවාසික පත්වීමක්

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම වැඩ වර්ජනය තාවකාලික ව නවත්තලා. මා හිතනවා එය වැරදීමක් කියල. ඔවුන්ගේ සාමාන්‍යය  වැඩ වර්ජනය කිරීම. වැඩ කරන විට කියන්න තියෙන්නෙ තාවකාලික ව වැඩ කරනවා කියලයි. ඔවුන් මේ ගමන තාවකාලික ව වැඩ කරන්නෙ සෞඛ්‍ය ඇමති ඔවුන්ගෙ ඉල්ලීමට කන් නොදුන්න නිසා. ඔවුන්ගෙ ඉල්ලීම්වලට කන් නොදී සිටියොත් වෛද්‍ය නිලධාරීන් දිගට ම වැඩ කරන්න ඉඩ තියෙනවා.

 

ඒ කොහොම වුණත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමය කියන්නෙ වෘත්තීය සමිතියක්. ඔවුන් කම්කරුවන් ද නැත් ද කියන එක නිර්වචනයෙ ප්‍රශ්නයක්. වැටුප් සේවකයන් කම්කරුවන් කියා නිර්වචනය කළොත් බටහිර වෙද මහත්වරු ද කම්කරුවන්. ඒකෙන් කියන්නෙ නැහැ ඔවුන් ඊනියා කම්කරු පංතියකට අයිති කියලා. කම්කරු පංතියක් කියල එකක් ලෝකෙ නැහැ. ඊනියා කම්කරු පංති විඥානයක් නිසගයෙන්  නැති බව මාක්ස්වාදයේ ම කියැවෙනවා. ඊනියා කම්කරු පංති විඥානය පිටින් ගෙනි යන්න ඕන. ඔය කතාවට මොන අර්ථකථන දෙන්න උත්සාහ කළත්  ඊනියා කම්කරු පංතිය විඥානයක් නැතිව ඉපදෙන පංතියක්. ඒ්ක සිත නැති බඹ ලොව වගේ ද දන්නෙ නැහැ.

 

මේ රටේ වෘත්තීය සමිති තියෙන්නෙ කම්කරුවන්ගෙ පමණක් නො වෙයි. බස් හිමියන්ගෙත් වෘත්තීය සමිති තියෙනවා. අර ගැමුණු විජේරත්න කම්කරු නායකයෙක් ද? බස් හිමියන් කම්කරුවන් ද? කර්මයක් කරන්නා කම්කරුවකු නම් බස් හිමියන් ද කම්කරුවන්. බස් හිමියන් කම්කරුවන් වීම නම් අපේ කරුමෙට වෙන දෙයක්. දැන් බස් රියැදුරන්ගෙ කොන්දොස්තරවරුන්ගෙ වෘත්තීය සමිති තියෙනවා ද? මා හිතන්නෙ නැහැ. දොස්තරවරුන් කම්කරුවන් වුණත් කොන්දොස්තරවරුන් කම්කරුවන් වන්නෙ නැහැ. බස් හිමියන් තමයි කම්කරුවන්.

 

බස් හිමියන් වැඩ වර්ජනය කරනවා. ඔවුන් වර්ජනය කරන්නෙ මොකක් ද කියල අහන්න පුළුවන්. බස් හිමිකාරත්වය නොවෙයි.  ඔවුන් බස් දුවවන්නෙ නැහැ. එදාට බස් රියැදුරන් කොන්දොස්තරවරුන් නිකම් ම වර්ජනයේ. ඒ අයට එදාට නියමිත වැටුපක් ලැබෙනවා ද දන්නෙ නැහැ. ඔවුන් වර්ජනය කරන්නෙ කාට විරුද්ධ ව ද? මේවා විසඳන්න ටිකක් අමාරු ප්‍රශ්න. බස් රියැදුරන් කොන්දාස්තරවරුන් වැටුප් වැඩි කරන්න කියල වැඩ වර්ජනය කරන්නෙ නැද්ද? කොහොමත් ඔවුන් මාටියා ගහනවා ද?

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ වෘත්තීය සමිති තියෙනවා. ඒත් පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරුන්ගෙ වෘත්තීය සමිති නැද්ද? පෞද්ගලික රෝහල්වලත් වෛද්‍ය නිලධාරීන් ඉන්නවා ද? වෛද්‍ය නිලධාරියෙක් කියන්නෙ කවුද? රජයේ රෝහලක සේවය කරන ඕනෑම බටහිර වෙදමහතකු වෛද්‍ය නිලධාරියෙක් ද? අර සීමාවාසික වෙදමහත්තුරුත් වෛද්‍ය නිලධාරීන් ද? එම්ඕඑච් වැනි නිලධාරි තනතුරු දරණ අය සහ සෙසු අය අතර වෙනසක් නැද්ද? මට නොතේරෙන නිසයි ප්‍රශ්න අහන්නෙ.

 

දුම්රිය ස්ථානාධිපතිවරුත් වැඩ වර්ජනය කරලා. මගීන් ප්‍රවේශ පත්‍ර නැතිව දුම්රියේ ගමන් කරනවා. අපේ දුම්රියේ යන්න අපි ප්‍රවේශ පත්‍ර ගන්නෙ අහවල් දේකට ද කියල කවුරුන්වත් ඇහුවෙ නැද්ද? දුම්රිය ස්ථානාධිපතිවරුත් කම්කරුවො තමයි. පාසල් ගුරුවරු විශ්වවිිද්‍යාලයීය ගුරුවරුත් කම්කරුවො. වැටුපට නෙ සේවය කරන්නෙ. ඉස්සර දිසාපාමොක්ල වැඩ වර්ජනය කරන්න නැතුව ඇති. පඬි නැට්ටකු කියයි වැඩ වර්ජන නූතනත්වයෙ ලක්‍ෂණයක් කියල. දිසාපාමොක්ල වැඩවසම් සමාජයෙ නොවැ. ඔවුන් වැටුපට ඉගැන්නුවෙ නැහැ. ඔවුන් කාල ඇඳලා හිටියෙ කොහොමද කියල අහන්න එපා.

 

දිසාපාමොක්ල තමන්ගෙ දියණියත් ගෝලයකුට සරණ පාවා දුන්න. පඬි නැට්ටකු අහන්න බැරි නැහැ දුවගෙ කැමැත්ත විමසලා ද දුන්නෙ කියලා. දිසාපාමොක්ල මුස්ලිම් නම් ඒ ප්‍රශ්නය අහල වෙන ප්‍රශ්න ඇති කර ගන්න පුළුවන්. අද නම් තක්‍ෂිලාව තියෙන්නෙ පකිස්ථානෙ. ඒත් එහි දිසාපාමොක්ල නැහැ. බරණැස ඉඳන් තක්‍ෂිලාවට සෑහෙන්න දුරයි. ඒ කාලෙ පශ්චාත් උපාධි තිබුණ ද දන්නෙ නැහැ. කොළඹ ඉඳලා ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් තරමක් දුරයි.

 

මොනව වුණත් මනමේ නාට්‍යයෙ වැදි රජු හොඳ කතාවක් කියනවා. මුළු දඹදිවට ම මනමේ රජ වුණත් වනය තමන්ගෙ විජිතය බව කියනවා. ඒ දවස්වල ස්වයංනිර්ණ අයිතිය පළාත් සභා එහෙම තිබුණ ද දන්නෙ නැහැ. මනමෙ කුමාරයාට  තිබුණෙ මනාලිය කැන්දන් එන්න බරණැසෙන් හමුදාවක් ගෙන්න ගන්න. එහෙම නැත්නම් රජකම පිළිබඳ සීමාවාසික පුහුණුවක් වැදි විජිතයෙ ලබා ගන්න.

 

ඒ කොහොම වුණත් රජයේ වෛද්‍ය නිලධාරීන්ටත් තියෙන්නෙ උපාධියෙන් පසු ප්‍රශ්නයක්. උපාධියෙන් පස්සෙ ලංකාවෙ සියලු වෛද්‍ය පීඨවල උපාධිධාරීන්ගෙ ලකුණු අනුව ලැයිස්තුවක් හදල එයට අනුරූප ව සීමාවාසික පත්වීම් ලබා දෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමය කියන්නෙ මේ පත්වීම් ගැන ඔවුන්ට මැදිහත් වෙන්න ඕන කියලා. දැන් වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙ තවත් වෛද්‍ය වෘත්තීය සමිති තියෙනවා. ඒ අයටත් ඔය පත්වීම් සම්බන්ධයෙන් මැදිහත් වෙන්න පුළුවන් ද? ජෝසෆ් ස්ටැලින්ටයි මහින්ද ජයසිංහටයි ගුරු පත්වීම් දීමේ දී මැදිහත් වෙන්න එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයට පරිවාස කථිකාචාර්යවරුන් බඳවා ගැනීමේ දී මැදිහත් වෙන්න ඉඩ දෙනවා ද? පත්වීම් දීමේ පටිපාටියක් තියෙන විට පත්වීම් දීම ඒ ඒ ආයතනවල කාර්යයක් මිසක් වෘත්තීය සමිතිවල වැඩක් නො වෙයි. මෙතැන දි සිදුවන්නෙ පත්වීම් දීමට මැදිහත් වෙලා ඒ නවක වෛද්‍යවරුන් තම වෘත්තීය සමිතියෙ අණසක යටතෙ තබාගැනීමක්.

 

කොහොමටත් අද වැඩ වර්ජන සියල්ල ම වගේ සිදුවන්නෙ රාජ්‍ය අංශයෙ. පෞද්ගලික අංශයෙ වැඩ වර්ජනය කරන්න තරම් ප්‍රශ්න නැතිව වෙන්න පුළුවන්. රාජ්‍ය අංශයෙ වැඩ වර්ජනය කරන බටහිර වෙද මහත්තුරු පෞද්ගලික රෝහල්වල බෙහෙත් සීට්ටු ලියනවා. රාජ්‍ය අංශයෙ වර්ජන එක රටාවකට සිදුවෙනවා. වර්ජකයන් කුමක් කීවත් ඔවුන්ට අවශ්‍ය ජනතාව තමන්ගෙ අවශ්‍යතා ඉටු කර ගන්න අමාරුවේ දමා ජනතාව ආණ්ඩුව කෙරෙහි කළකිරවීමට.

 

අද රාජ්‍ය අංශය අණක් ගුණක් නැතිව වැඩ කරන බවක් පේනවා. මෙතන නැණ ගුණ නැහැ. ගොවීන්ගෙ පොහොර ප්‍රශ්නයෙදිත් ගෑස් ප්‍රශ්නයෙදිත් කොළඹ විශ්වවිිිද්‍යාලෙ උපාධි කෝළමෙත්  ඒක දැක ගන්න පුළුවන් වුණා. ආණ්ඩුව පළමුව සංස්ථා ද ඇතුළු රාජ්‍ය අංශයෙ අණ ගුණ ඇති කරන්න ඕන.