බටහිර බීජ වැපිරීම හා පොහොර බෙදීම
කාබනික පොහොර මෙරට ම නිෂ්පාදනය කිරීමට මලයාසියාවෙන් ආයෝජකයන් පිරිසක් ඉදිරිපත් වෙලා කියල ප්‍රවෘත්තියක් දැක්කා. ඔවුන් එන්නේ තාක්‍ෂණික දැනුමත් සමග ද නැද්ද කියන එක පැහැදිලි නැහැ. එහෙත් මෙහි දී ප්‍රශ්න කිහිපයක් පැන නගිනවා. මේ සඳහා මෙරටින් ආයෝජකයන් සොයා ගැනීමට නොහැකි ද යන්න එක් ප්‍රශ්නයක්. මලයාසියාවෙන් ආයෝජකයන් එන එක ප්‍රශ්නයක් නො වෙයි. මෙරට ආයෝජකයන් ඒ සඳහා උනන්දුවක් නැද්ද? එහෙමත් නැත්නම් එවැන්නක් සඳහා ආයෝජනය කිරීමට තරම් වත්කමක් නැද්ද? බෑංකුවලින් ණය ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා ද? එහෙමත් නැත්නම් ඩොලර් ලබා ගැනීම සඳහා මලයාසියාවෙන් ආයෝජකයන් බලාපොරොත්තු වෙනවා ද?
ඒ කොහොම වුණත් කාබනික ආහාර නිෂ්පාදනය රටට
වැදගත්. දළ වශයෙන් කිවහොත් ගොවිතැන් ක්‍රම තුනක් තියෙනවා. එකක් දැන් ගොවීන් පුරුදු
වී ඇති රසායනික ගොවිතැන. ඒ සඳහා අප රසායනික පොහාර හා පලිබෝධ නාශක ආදිය පිටරටින්
ආනයනය කරන්න ඕන. දෙවැන්න කාබනික ගොවිතැන. ඒ සඳහාත් දැනට කාබනික පෙහොර ආනයන කරන්න
ඕන. මලයාසියාවෙන් ආයෝජකයන් පැමිණෙන්නේ මෙරට ම කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට. අද
බටහිර රටවල කාබනික ආහාර සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. කාබනික ආහාර විශාල ප්‍රමාණයකින්
අපනයනය කරන්න පුළුවන් නම් ඩොලර් උපයාගන්න පුළුවන්. අනෙක් ගොවිතැන හෙළ ගොවිතැන.
මෙරට පරිභෝජනය සඳහා හෙළ ගොවිතැන යොදා ගන්න පුළුවන් නම් හොඳයි.
අද තිබෙන ප්‍රධාන ම ප්‍රශ්නය අප බටහිර දැනුමේ
වහලුන් වීම. එය මුළු රටට ම බලපානවා. කලකට පෙර වහලුන් වුණේ නාගරික උගතුන් පමණයි.
ඔවුන් එතරම් පිරිසක් හිටියේ නැහැ. එහෙත් නිදහස් අධ්‍යාපනය නිසා මුළු රටේ ම වගේ
වහල් උගතුන් බිහිවෙලා. නිදහස් අධ්‍යාපනයත් සමග රටට ගැලපෙන අධ්‍යාපනයක් හඳුන්වා
දුන්නේ නැහැ.
එමෙන් ම හැත්තෑවේ දශකයේ පැමිණි රූපවාහිනියත්
සමග අද රට ම එයට ගොදුරු වෙලා. රූපවාහිනී නාළිකා බලන්නේත් ප්‍රේක්‍ෂක සංඛ්‍යාව වැඩි
කිරීමට පමණයි. නාළිකාවලින් ප්‍රචාරය කරන්නේ ජනතාවට අවශ්‍ය දේ කියනවා. එමෙන් ම
ජනතාව තමන්ට අවශ්‍ය දේ ඉගෙන ගන්නේත් නාළිකාවලින්. ඊනියා රියැලිටි නම් තාත්විකත්ව
වැඩ සටහන් සලකන්න. ඒ වැඩ සටහන් දැන් තාත්වික කෙරිලා. එහෙත් ආරම්භයේ දී ඒවා
සංස්කෘතියෙන් පරිබාහිර වූ අතාත්වික වැඩ සටහන්. නාළිකා ඒ වැඩ සටහන් ජනතාවට දුන්නේ
ජනතාව ඒ ඉල්ලු නිසා නො වෙයි. අද ජනතාව ඒවට පුරුදු වෙලා . දැන් ඒ වැඩ සටහන්
ඉල්ලනවා. අප ඉන්නේ විෂම චක්‍රයක.
හැටේ දශකයේ මෙරට තිබුණේ හෙළ ගොවිතැන. එදා
රසායනික පොහොර නොමිළයේ ලබා දුන්නේ ගොවීන්ගෙ විරුද්ධතා මැද. අද ඒ ගොවීන්ගෙ
මුණුබුරන් රසායනික පොහොර ඉල්ලනවා. ඉල්ලා උද්ඝෝෂණය කරනවා. එහෙම තමයි බටහිරයන්
ඔවුන්ගෙ තාක්‍ෂණය ද විනෝද වීමේ ක්‍රම ද අපට පුරුදු කරලා අප ඔවුන්ගේ වහලුන් කර
ගන්නෙ. ඒ වුණත් අදත් ලංකාවෙ ඉන්නවා ටික දෙනකු හරි හෙළ ගොවිතැන ගැන දන්න අය. ඒ අයගෙ
දැනුම ලබා ගන්න කිසිවකු කටයුතු කරන බවක් පේන්න නැහැ. ආණ්ඩුවට උපදෙස් දෙන්නෙ ඊනියා
කෘෂිවිද්‍යාඥයො. ඔවුන් දන්නෙ බටහිර කෘෂිවිද්‍යාඥයන් තමන්ට ඉගැන් වූ දේ පමණයි.
ආණ්ඩුව උපදෙස් නොගත යුත්තේ පොදුවේ මේ
අයගෙන්. ඔය කෘෂිවිද්‍යා පීඨවල ඉගෙන ගත් කිහිප දෙනකුට පමණයි හිතන්න පුළුවන්.
හෙළ ගොවිතැන ගැන දන්න අයගේ දැනුම බෙදා හරින්න
නාළිකාවලට පුළුවන්. පුවත්පත්වලට පුළුවන්. එහෙත් ඔවුන් එය කරන්නේ නැහැ. අද පුවත්පත්
කරන්නේ අපේ දැනුමට හිනහවීම පමණයි. ඇතැම් සංස්කාරකවරුන් මහා විද්‍යාඥයන් ලෙස කටයුතු
කරනවා. ඔවුන්ගේ හිතුම් පැතුම් මුළුමනින් ම වහල්. ඔවුන්ට අනුව මා මිථ්‍යා මත
පතුරවන්නෙක්. නාළිකාවල ඉන්නෙත් මහා විද්‍යාඥයන්. ඔවුන්ට විද්‍යාත්මක නොවී වැඩ
සටහනක් ඉදිරිපත් කරන්න බැහැ. එක අතකට එය ප්‍රශ්නයක් නො වෙයි. අපේ හාමුදුරවරුනුත්
විද්‍යාත්මක බුදුදහමක් ගැන කතා කරන්නෙ.
මා නම් බුදුදහම පිළිගන්නෙ එය විද්‍යාත්මක නොවන
නිසා. මා දන්නා බුදුදහමට අනුව සියල දැනුම්
බොරු මායා. මේ බොරුවෙ ගිලිලා අපි සසරෙත් ගිලිලා. අපට ජීවත් වෙන්න පමණක් නොව නිවන
සම්මාබෝධයටත් දැනුමක් ඕන. එය පාරුවක් මෙන් බවත් ඒ බව පැරණි සිංහලයන් දැන සිටි බවත්
අවශ්‍ය පරිදි දැනුම යොදාගත් බවත් ඔවුන් කර
ඇති දෙයින් පැහැදිලි වෙනවා. අද සිංහල බෞද්ධයන් අභිධර්මය දන්නවා. ඒත් මම කියන
සංකල්පයත් බොරුවක් බව දන්නෙ නැහැ.
පොහොර ප්‍රශ්නයෙ දි ආණ්ඩුව බටහිර බීජ වලට වෙනත්
පොහොර දැම්මා. අප තේරුම් ගත යුතු කරුණ නම් පිලිපීනයේ ජාත්‍යන්තර සහල් පර්යේෂණ
ආයතනය (IRRI
- ඊරි) පිහිටෙව්වෙ අප නැති කරන්න බව.
ඔවුන් කියාවි ජනගහනයට අවශ්‍ය හාල් නිෂ්පාදනය කිරීම ඔවුන්ගේ වෑයම වුණා කියා. ඔවුන්
අපට ඔවුන්ගේ බීජ හා ඒ බීජවලට සරිලන පොහොර හා අනෙක් රසායනික ද්‍රව්‍ය යොදා ගන්න
ඉගැන්නුවා. ඒ බිජවලට ඔවුන්ගෙ පොහොර ඕන. ඒ පොහොරවලට අදාළ බීජ ඕන.
බීජ හා පොහොර පමණක් නොව ඊනියා කෘෂිවිද්‍යාඥයන්
ද එක ම පද්ධතියක්. කෘෂිවිද්‍යාඥයන් දන්නේ බීජවලට පොහොර නියම කිරීමටත් පොහොරවලට බීජ
බෙදා දීමටත්. ඔවුන් මෙරට නිෂ්පාදනය කරන්නේත් අර රටාවේ ම බීජ. රයිස් කියන්නෙ හාල් ද බත් ද? ඔවුන්ට අපට මෙන් වෙනස්කම්වත් තේරෙන්නෙ
නැහැ. ඔවුන්ට ඒ සඳහා වචන නැහැ. අවුරුදු දහස් ගණනක් වී ගොවිතැන් කරපු අපට හාල් කන්න
වෙලා.
බටහිර වෙදකමත් ඒ වගේ. බටහිර වෙද මහත්තුරු කිහිප
දෙනකු හැරෙන්න අනෙක් අය දන්නේ බටහිර
රෝගවලට බටහිර බෙහෙත් ලියන්න පමණයි. මා බටහිර රෝග ලෙස හඳුන්වන්නේ බටහිර ක්‍රමයට
හඳුනාගන්නා රෝග. ඔය වසංගතය අලි හෙම්බිරිස්සාවක් කියල හඳුනගන්නත් පුළුවන්. බටහිර
ලොකු වෙද මහතුන්ටත් තාම රෝගය හඳුනාගන්න බැරිවෙලා. අදාළ වෛරසය කියන එකේ ප්‍රභේදවලට
ග්‍රීක හෝඩියේ අකුරු නියම කරන එක හා පරෙස්සම් වෙන්න කියන එක පමණයි ඔවුන් දන්නෙ.
රවි කුමුදේශ් කියන එකට වැඩි දෙයක් පද්මා ගුණරත්න කියන්නෙ නැහැ. එන්නත ගැන බටහිර
ලොක්කන්ටත් විශ්වාසයක් නැහැ. ෆයිසර් සමාගමේ අක්‍රමිකතා ගැන අද කතා කරනවා.
අපේ ආහාර රටාවත් අප ආරක්‍ෂා කරනවා. තුනපහ එහි
දී කරන කාර්යභාරය ගැන පාරම්පරික වෙදමහතුන්ගෙන් අහන්න ඕන. එහෙත් ඒ අය දන්න ඉටිගෙඩියක් තියෙනවා ද කියා
බටහිර විද්‍යාත්මක වෙදකමේ කියන්න පුළුවන්. හෙළ වෙදකම හා හෙළ ගොවිතැන ඊනියා විද්‍යාත්මක
නො වේ කියා එය ඉවත් කිරීමට අපේ නොවන අධ්‍යාපනය හා අපේ නොවන ජනමාධ්‍ය ක්‍රියා
කරනවා. සඟ වෙද ගුරු ගොවි විද්‍යාත්මක වෙලා. අප ටිකක් අවිද්‍යාත්මක වුණොත් අපට
ඩොලර් යම් ප්‍රමාණයක් ඉතුරු කර ගන්න පුළුවන්. විිද්‍යාත්මක බණට වඩා අවිද්‍යාත්මක
වෙදකම හා ගොවිතැන මෙලොව පරලොව දෙකට ම හොඳයි.
අවිද්‍යාත්මක ගොවිතැනට බහින තෙක් මට කියන්න
ඇත්තේ බටහිර බීජවලට වෙනත් පොහොර හරියන්නෙ නැහැ කියන එකයි. බටහිර බීජ ඇත්තේ
ගොවිතැනේ පමණක් නො වෙයි. පාසල්වල හා විශ්වවිද්‍යාලවල තියෙන්නත් බටහිර බීජ.