Main Logo

Saturday 23 July 2022

කඩවුණු බලාපොරොත්තු

 

කඩවුණු බලාපොරොත්තු

 

 

පජාතික පරගලය පරාජය වෙලා. ඒ පරාජය කිරීම පිළිබඳ විවිධ අය විවිධ කතා කියනවා. පරගලය දිනනකම් බලන් හිටිය අයට විවිධ බලාපොරොත්තු තිබුණා. අද ඒ කඩවුණු බලාපොරොත්තු නිසා ඇතැමුන් මේ පිටුව ගැනත් සකර්බර්ග්ට පැමිණිළි කරලා. සිස්ටම් චේන්ජ් කාරයන් දැන ගෙන හිටියේ නැහැ මෙරට සිස්ටම් එකක් නැති බව. අපේ ක්‍රමය තමයි බෞද්ධ කටයුතුවල දී හැර ක්‍රමයක් නැතිකම. අපට ඉංගිරිසින්ගේ ක්‍රමය අවශෝෂණය කරගන්න බැරි වුණා. අප ඊනියා නීතිවලින් ක්‍රමයකට ගේන්න බැහැ. හැම නීතියක ම හිලක් සමහර විට හිල් රාශියක් තියෙනවා. ඉංගිරිසින් අප බෞද්ධකමෙන් ඈත් කළ දා සිට අපේ ක්‍රමයක් අපට නැහැ. ඉංගිරිසින් අප ඔක්කොම හොරු බවට පත්කර ඇති බව පිළිගන්න අප සූදානම් නැහැ. තෙල් පෝලිම් සම්බන්ධයෙන් කොතරම් හොරකම් සිද්ධ වුණා ද?

 

පරගලය  පරංගින්ගෙ  වැඩක් බව සෘජුව කියන්න  බැරි දැන් පරංගි නැති නිසා. ඒත් මෙරට ආක්‍රමණය කළ පළමු බටහිරයන් පරංගි නිසා අප මෙය පරංගි පරගලය කියා කියන්නේ මෙය පරංගි ආක්‍රමණයේ ම කොටසක් නිසා. සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධවයි මේ සටන කෙළේ. ඒ දිනවල මා පරගලය සිංහල බෞද්ධ ගොවිගම විරෝධී සටනක් ලෙසත් හැඳින්වූවා. බටහිරයන්ට ඇත්තේ, තිබුණේ සිංහල බෞද්ධ විරෝධයක් පමණයි. එහෙත් එය දේශීය වශයෙන් ක්‍රියාත්මක කළ ඇතැම් අයට අර කුල ප්‍රශ්නයත් තිබුණා.

 

මෙරට ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒත් එයට හේතුව රාජපක්‍ෂලා හොරකම් කිරීම නො වෙයි. අප වැඩ නොකර ඊනියා දියුණුවක් අත් කර ගන්න හැදුවා. එවිට අපේ බලාපොරොත්තු ඉටු කර ගන්න අපට ණය ගන්න සිදු වුණා. අප ණය අරගෙන බටහිර පන්නයටවත් කළ සංවර්ධනයක් නැහැ. ඒත් අප ණයට කැවා පමණක් නොව ණයට දිවුවා. ඒ සඳහා වාහන ගත්තා. තෙල් අවශ්‍ය වුණා. අප මුදල් හොයා ගත්තේ මූලික වශයෙන් සංචාරකයන්ගෙන් හා විදේශවල වැඩ කළ ශ්‍රමිකයන්ගෙන්. ඊනියා අපනයනවලින් එතරම් ශුද්ධ ආදායමක් ලැබුණේ නැහැ. වසංගතය සමග සංචාරකයන් නැති වුණා. ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව නිසා ඩොලරය සම්බන්ධයෙන් ස්ථිර ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න බැරි වුණා. උණ්ඩියල් ක්‍රමයට ප්‍රේෂණ ලැබුණා. සමහරුන් කිවුවේ රාජපක්‍ෂලා හොරකම් කරන නිසා බෑංකු මගින් යවන්නේ නැහැ කියා. උණ්ඩියල් කාරයන් ඩොලර් සියල්ල ඊනියා ජනතාවට ලැබෙන්න සලස්සන්න ඇති. අප වැඩියෙන් ම ණය ගත්තේ යහපාලන කාලයේ බව මෛත්‍රිපාල කොහොම වෙතත් රනිල් නොදැන සිටින්න විධියක් නැහැ.

 

ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් කෙළේ බැසිල් විරෝධය ආණ්ඩු විරෝධයක් බවට පත් කළ විමල්ලා. බටහිරයන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ලංකා වසන්තය සඳහා පරංගි පරගලය දියත් කළා. ඒ සඳහා සෑම රටක ම වගේ ලංකාවෙත් ඔවුන්ට නියෝජිතයන් සිටියා. අර ඊනියා උගත් ගැමි තරුණයන් පරගලයට සූදානමින් සිටියා. ඔවුන්ට මූලික වශයෙන් ඇත්තේ ඊර්ෂ්‍යාව හා වෛරය. මෙරට ඊනියා නිර්ප්‍රභූන් කියා කොටසක් නිදහස් අධ්‍යාපනයෙන් පසු නැහැ. ඇත්තේ ප්‍රභූන් බවට පත්වීමට උත්සාහ කරන පිරිසක් පමණයි. එහෙත් ඔවුන් සියල්ලන්ගේ බලාපොරොත්තු ඉටු වන්නේ නැහැ. තමන්ට අත් කර ගත නොහැකි දේ දරුවන්ට ලබා දීම නරක දෙයක් කියා මා කියන්නේ නැහැ. එහෙත් ඒ කරන්නේ තියෙන ක්‍රමයටමයි. එය කර ගන්න බැරි වුණා ම දරුවන් ක්‍රමය වෙනස් කරන්න කතා කරනවා. එහෙත් අදත් හැමෝම උත්සාහ කරන්නේ හැකි තරම් තෙල් ලබා ගැනීමට මිස තෙල් අඩුවෙන් පාවිච්චි කිරීමට නො වෙයි. 

 

අපේ රටේ දේශපාලනය රාජකීය විදුහල වටා කැරකෙන බව මා කලින් කියා ඇති. අද මෙරට ජනාධිපති හා අගමැති රාජකීය විදුහලේ එක පංතියේ උගත් අය. විපක්‍ෂ නායක ඊට අවුරුදු ගණනාවකට පසු රාජකීය විදුහලේ උගත් අයෙක්. මා දන්නේ නැහැ රාජකීය විදුහලේ උගත් මැති ඇමතිවරුන් කී දෙනකු පාර්ලිමේන්තුවේ ඉන්නවා ද කියා. එහෙත් එය විශාල සංඛ්‍යාවක් වෙන්න ඕන. පිලිප් ගුණවර්ධන මෙරට මාක්ස්වාදයේ පියා ලෙස හැඳින්වෙනවා. ඔහු පසුව පුස් කෑ මාක්ස්වාදී පොතපත ගැන කිවුවා.  එස්මන්ඩ් වික්‍රමසිංහ ලේක්හවුසියේ ප්‍රධානියෙක්. නාලිනී වික්‍රමසිංහ එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සේවය කළා. එස්මන්ඩ් වික්‍රමසිංහ එ ජා ප පුරෝහිත කිවුවත් වැරදි නැහැ. එකල බණ්ඩාරනායක ශ්‍රී ල නි ප අරඹා තිබුණා. ඒ තිදෙනා ම තම පුතුන් රාජකීය විදුහලට යැවුවා. අද අපේ අධ්‍යාපනයේ අවශ්‍යතාව (දෙමවුපියන්ගේ) හැකි නම් තම පුතා රජකීය විදුහලට නැත්නම් එය අනුකරණය කරන වෙනත් ප්‍රභූ පාසලකට යවන්න.

 

මට මතක් වෙනවා පේරාදෙණියේ නවක වධයේ මා විඳි අත්දැකීමක්. බුලත් විට කෑ සිංහල ගුරුවරුන් වූ මගේ දෙමවුපියන් මා ද රාජකීය විදුහලට යැවුවා. පේරාදෙණියේ නවක වධයේ දී එක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් මගේ පාසල හා දෙමවුපියන් ගැන ඇසීමෙන් පසු කී දෙයක් මගේ මතකයට එනවා. එකල ඉංගිරිසියෙනුත් නවක වධය තිබුණා. ඔහු කිවුවා so your petit bourgeois parents sent you to Royal  කියා. ඔබේ සුළු ධනේශ්වර දෙමාපියන් ඔබ රාජකීය විදුහලට යැවුවා. මෙය තමයි කතාව. රාජකීය විදුහලට එහි ප්‍රභූ ආදි ශිෂ්‍යයන්ට ගෞරව (සමහරු ද්වේෂ)  කරමින් තම පුතුන් ඒ විදුහලට යැවීම. ඇතැමුන් මේ ක්‍රමයක් නැති සමාජ ක්‍රමයකට වෛර කරමින් ඒ සමාජයේ ඉහළ නැගීමට උත්සාහ කිරීම. බැරි වුණා ම සමාජ ක්‍රමය වෙනස් කිරීමට කතා කරමින් වෙනස් කිරීමට කිසිවක් නොකිරීම. තෙල් පෝලිමට ගොස් හැකි තාක් තෙල් ලබා ගැනීම.

 

රාජකීය විදුහලේ දී මා බොහෝ දේ ඉගෙන ගත්තා. චක්‍රීය චින්තනය, කතන්දර ගෙතීම (ප්‍රවාද ගොඩ නැගීම), සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබා ගැනීමට අරගල කිරීම ඉන් වැදගත් කරුණු තුනක්. රාජකීය විදුහලේ සිංහලට නිසි තැන නොලැබෙන බව සඳහන් කරමින් මා පෙත්සමක් අත්සන් කරවා තව දෙදෙනකු (ඔවුන්ගෙන් එක් අයකු තවමත් ජීවත් වෙනවා) සමග ගොස් විදුහල්පතිතුමාට භාර දුන්නා. ඒ පෙත්සමට මගේ පංතියේ සිටි නීලන් තිරුචෙල්වම් අත්සන් තැබූ බවත් ජෛවීය විද්‍යා හැදෑරූ ඉන්දික ගුණවර්ධන (දිනේෂ්ගේ වැඩිමහළු සොහොයුරා) නොයෙකුත් අන්දමින් ආධාර කළ බවත් කෘතඥතා පූර්වක ව සඳහන් කරන්න ඕන. ඒ පෙත්සම භාර දීම නිසා මා විදුහලෙන් අස් කෙරුණේ නැති බවත් කිව යුත්තේ එය ගුරු මණ්ඩල රැස්වීමක කතා කෙරී ගත් තීරණයක් අනුව සිදු වූ බැවින්. ඒ විදුහල්පතිතුමා අවුරුදු ඉන් අවුරුදු හයකට පමණ පසු හමු වී විට මා කේම්බ්‍රිජ් නොගොස් සසෙක්ස් විශ්වවිද්‍යාලය තෝරා ගැනීම ගැන කණස්සල්ලට පත් වුණා.  එහෙත් කොළඹ විශ්වවිද්‍යාලය ඒ කරුණ ද මුල් කරගෙන බොරු චෝදනා ගොනු කර මා අස් කළා!

 

පරංගි පරගලය උපයේගී කර ගනිමින් විවිධ අය විවිධ බලාපොරොත්තු ඉටු කර ගැනීමට කටයුතු කළා. පඬි නැට්ටන් හා වමාලා විප්ලවය කරන්න ගියා. ඇතැමෙකු සෝවියට් සභා පිහිටුවන්න කතා කළා. කම්කරු පංතියක් ලෝකයේ කොහේවත් නැතුව මොන කම්කරු පංති විප්ලව ද? මාක්ස්ගේ විප්ලවය අනිවාර්ය නැහැ කියා වෙනත් රටවල ඇතැම් පශ්චාත් මාක්ස්වාදීන් කියනවා. සුපුරුදු පරිදි මෙරට මෝඩ පුත්‍රයන් ඒ පුනරුච්චාරණය කරනවා. විප්ලවය විය හැකි දෙයක් පමණලු. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය අනුව ඇපල් වැටෙන්න පුළුවන්ලු. මොන තරම් දෙයක් ද? 

 

පරගලවලින් රට වෙනස් කරන්න බැහැ. පරගලවල මුල ඉන්න අයටත් රට වෙනස් කරන්න ඕන නැහැ. සමාජය කෙරෙහි විවිධ හේතු නිසා වෛරයෙන් පෙළෙන්නන් හිතනවා ගොඩනැගිලි කිහිපයක් අත් කර ගෙන රට අල්ලන්න පුළුවන් කියා. ඒක හරියට පනිට්ටුව ලිඳට අයත් ලිඳ ආණ්ඩුවේ ආණ්ඩුව අපේ ඒ නිසා පනිට්ටුව අපේ අපි ඒක ගෙදර ගෙනියනවා කියනවා වගේ වැඩක්.

 

පරගලය කිසිසේත්ම සාමකාමී වුණේ නැහැ. මැල්කම් ප්‍රනාන්දු කාදිනල්තුමා සාලිය පීරිස් සරත් ෆොන්සෙකා පරගලය සාමකාමී කියන්නේ මොන පදනමෙන් ද? පරංගි පරගලකරුවන්ට ආයුධ තිබුණෙ නැති නිසා ද? ප්‍රචණ්ඩත්වයට ආයුධ තිබීම අනිවාර්ය නැහැ.  චණ්ඩි ප්‍රචණ්ඩ වෙන්නෙ සමහර විට වචනයේ බලයෙන්. සාමාන්‍ය ව්‍යවහාරයේ කියන තග දැමීමට ආයුධ අවශ්‍ය නැහැ. සජිත්ට පහර දුන්නෙ ආයුධවලින් නො වෙයි. සජිත් කියාවි එය සුඛනම්‍ය ප්‍රහාරයක් කියා. ඒ කුමක් වුවත් පරංගි පරගලකරුවන් හමුදාවට පොලීසියට සතර බ්‍රහ්ම විහරණය ප්‍රදර්ශනය කෙළේ නැහැ. මා හඳුන්නෙත්ති නියමය අනුව ප්‍රතිප්‍රහාරයක් දිය යුතු ය කියන්නෙ නැහැ. එහෙත් රජයේ දේපොළවලට අරක්ගෙන ඉන්න එක නීතිගරුක ද කියල සාලිය පීරිස් පවසනවා ද?

 

කාදිනල්තුමා ප්‍රමුඛ පිරිස සාම කතා කියන්නෙ ඇයි ද කියල නොතේරෙනවා නො වෙයි. ඔවුන් ඉස්සරත් සාම කතා කිවුව. ඒ කතාවලට වුණු දේත් අපි දන්නවා. තව දින දෙක තුනක් පහු කළා නම් රනිල්ට වෙන්නෙත් ගෝඨාභයට වුණු දේ. පරංගි පරගලකාරයො ගෝනි නැතුව පිටට නගිනවා. බලය පිටට ගෙනියනවා.

 

බටහිරයන් හා ඉන්දියාව ගැන විමසිල්ලෙන් ඉන්න ඕන. මේ ආණ්ඩුව ඔවුන් බලපොරොත්තු වූ ආණ්ඩුව ම නො වෙයි. රනිල් ජනාධිපති කිරීම ඔවුන්ගෙ අපේක්‍ෂාව වුණු එක සැබෑව. ඒත් ඔවුන් මෙවැනි ආණ්ඩුවක් බලාපොරොත්තු වුණෙ නැහැ. මේ අතර තව පිරිසක් බලාපොරොත්තු වුණෙ හමුදා ආණ්ඩුවක් පිහිටුවන්න. එහි හැටදෙකේ හමුදා කුමන්ත්‍රණයෙ දෝංකාර තිබුණා. කාදිනල්තුමා ඒ ගැන දන්නවා. මා කීවෙ හැටදෙකේ කුමන්ත්‍රණය ගැන. කොහොමටත් හමුදා ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වුණෙ මෙරට හමුදාව එවැනි දෙයට සූදානම් නැති නිසා. සරත් ෆොන්සේකා ඒ බව දන්නවා.