Main Logo

Tuesday 19 July 2022

හෙට ඡන්දය හා නොවැදගත් පක්‍ෂ

 හෙට ඡන්දය හා නොවැදගත් පක්‍ෂ

 

අද රන් අකුරින් නැතත් මෙරට ඉතිහාසයේ ලියැවෙන දිනයක්. පළමු වරට රාජ්‍ය නායකයකු පාර්ලිමේන්තුවෙන් තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු ලේකම් නාමයෝජනා පත්‍ර භාරගන්නා දිනය අදයි. ඉස්සර ලේකම්ට කිවුවෙ පාර්ලිමේන්තුවේ ලිපිකරු කියලයි. නම මොකක් වුණත් කෙරෙන්නෙ එක ම දේ. නම්වලත් තරාතිරමක් තියෙනවා. භාෂාවේ අධිකාරී බලයක් තියෙන බව සමහරු දන්නවා. අධිකාරී බලයක් ඇති සමාජයක භාෂාවේ අධිකාරී බලයක් තිබීම පූදුමයක් නො වෙයි. බටහිර රටවල සමහර විට කාර්යාල ප්‍රධානියාට නම කියා කතා කරනවා වෙන්න පුළුවන්. ඒත් එය මතුපිට කතාවක් පමණයි. මෙරට ඇතැම් ඊනියා විද්වතුන් නම් ඒ කරුණුවලින් නොමග යනවා. ඔවුන් ප්‍රබල තානාපතිවරුන් වරියන් නමින් අමතනවා. 

 

පාර්ලිමේන්තුව කියන්නෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය වක්‍ර ව ක්‍රියාත්මක වන තැනක්. එහි එක් මන්ත්‍රීවරයකු නියෝජනය කරන රටවැසි ඡන්ද සංඛ්‍යාව වෙනත් දිස්ත්‍රික්කයක මන්ත්‍රීවරයකු නියෝජනය කරන ඡන්ද සංඛ්‍යාවෙන් වෙනස් වෙනවා. ඒ අතර එක් දිස්ත්‍රික්කයක වුවත් මන්ත්‍රීවරුන් ලබා ගෙන ඇති මනාප සංඛ්‍යාව වෙනස් බැවින් ඒ ඒ මන්ත්‍රීවරයා නියෝජනය කරන ඡන්ද සංඛ්‍යාව වෙනස් වෙනවා. ඒ මදිවාට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුනුත් ඉන්නවා. ජනාධිපති මුළු රටේ ම පවත්වන ජනාධිපතිවරණයකින් පත් කර ගන්නවා නම් හොඳයි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයත් අවසානයේ දී වියදම මත තීරණය වෙනවා. අර ඊනියා තේරීම් මණ්ඩලවලිනුත්  (electoral colleges) ප්‍රශ්නය විසඳෙන්නෙත් නැහැ.

 

ඒ කතා පැත්තකින් තියමු. හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් මෙරට පක්‍ෂ ක්‍රමයට වැදගත් තැනක් හිමි නැති බව පැහැදිලි වෙනවා. අර ඊනියා නිර්පාක්‍ෂිකයොත් පක්‍ෂයක් පිහිටුව ගන්න හදනවා. පක්‍ෂයේ නම නිර්පාක්‍ෂික පක්‍ෂය කියා යොදන එකක් නැහැ. පරගලය විසින් පෙන්වා දුන්නේ පක්‍ෂ ක්‍රමයෙන් පිට දේශපාලනයක් නැති බව. එහෙත්  පක්‍ෂ ක්‍රමය යනු තවත් මායාවක්. මායාවලට රැවටෙන එක වත්මන් සිංහලයන්ගේ ලක්‍ෂණයක්.

 

පක්‍ෂ අභ්‍යන්තරයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එංගලන්තයෙත් එහෙමයි. පක්‍ෂයකට නායකයකු ඉන්නවා. නායකයා තෝරා ගැනීමට ඡන්ද තියෙනවා. ඒ ඡන්දවල දී විවිධ කරුණු සලකා බැලෙනවා. එහෙත් එංගලන්තයේ පක්‍ෂ නායකයකු වෙන්න බැහැ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආධිපත්‍යය පිළිගන්නෙ නැතුව. නායකයා තෝරා ගත් පසු ඔහු හරි ඇය හරි තරමක ආඥාදායකයකු වෙනවා. ආඥාදායකයා පක්‍ෂයට හානියක් කළොත් පමණක් වෙනත් ආඥාදායකයකු තෝරා ගැනීමේ අවස්ථාව පක්‍ෂයට උදා වෙනවා.

 

ලංකාවේ ජාතික පක්‍ෂවල සිංහල බෞද්ධ සංස්කෘතියේ ආධිපත්‍යය නොව විශේෂත්වය නොපිළිගෙන පක්‍ෂ නායකයන් වෙන්න පුළුවන්. එ ජා පක්‍ෂය තමයි එයට හොඳ ම උදාහරණය. ස ජ බ, ජ වි පෙ, 43 කියා වෙනසක් නැහැ. ඒක ඒතරම් ප්‍රශ්නයක් නොවෙයි. අද ඇතැම් හාමුදුරුවරුත් සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය පිළිගන්නේ නැහැ. ඇතැම් ප්‍රබුද්ධ හාමුදුරුවරු ඉනුත් එහාට ගොස් අනුශාසනා කරනවා ආගම්වල ශාස්තෘන් වහන්සේලා කියා ඇත්තේ එකම දෙයක් කියා.

 

පළමු කොට ම ඒ හාමුදුරුවරු දන්නේ නැහැ බුදුදහම ආගමක් නොවන බව. එය දර්ශනයක් ද නො වෙයි. එය සසර ගමන නැති කරන්න කියා දෙන දහමක් පමණයි. දෙවනුව ආගම්වල (බුදුදහමත් ආගමක් ලෙස ගැනීමෙන්)  කියන්නෙ එකම දෙයක් නම් බුදුහාමුදුරුවන් කර ඇත්තේ වරදක්. උන්වහන්සේට තිබුණෙ බ්‍රාහ්මණ ආගම් අතර සමගියක් ඇති කරන්න. අවශ්‍ය නම් ජෛන ආගමත් එකතු කර ගන්න තිබුණා. උන්වහන්සේ ඒ වෙනුවට බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කළා. බ්‍රාහ්මණයන්ට අනුච ශූන්‍ය වූ නිවනක් ගැන දේශනා කළා. බුදුහාමුදුරුවන් ඇතැම් හාමුදුරුවරුන් තරම් ප්‍රබුද්ධ නැති වෙන්න ඇති.

 

ඔය සියලු  කතා මැදත් ලංකාවේ යම් පක්‍ෂ ක්‍රමයක් තිබුණා. එය නැති වීම ආරම්භ වුණෙ පොහොටටුවත් සමග. ජී එල් පීිරිස් පහුගිය දා අහල තිබුණ ජනාධිපතිවරණයෙ දි පොහොට්ටුව රනිල්ට ඡන්දය දෙන්න තීරණය කළෙ මොන ඒකාධිකාරියකින් ද කවද ද කොහෙදි ද වගේ අර පාසලේ අහන සංදර්භ ප්‍රශ්න කිහිපයක්. ජී එල් තවම පාසලෙන් හා විශ්වවිිද්‍යාලයෙන් පිටවෙලා නැහැ.  එකට කමක් නැහැ. ඔහු පොහොට්ටුවෙ සභාපති වීම ගැනත් ඒ සංදර්භ ප්‍රශ්න අහන්න පුළුවන්.

 

පොහොට්ටුව පක්‍ෂයක් නොවූ පක්‍ෂයක්. ඒ කතා ඇරිස්ට එකඟ නැහැ. එංගලන්තයේ තරමට නොවූවත් පක්‍ෂවලට යම් වැදගත්කමක් ලංකාවේ තිබුණ නම් පොහොට්ටුව ඒක නැති කිරීම ආරම්භ කළා. ඉන් පසු නිර්පාක්‍ෂික අරගලකරුවන් ආවා. ඒ සමහරුන්ට සල්ලි කෝටි ගණන් හම්බ වුණා කියනවා. ඒක සමගත් නිර්පාක්‍ෂික කියන්නෙ කිසිම වැදගත්කමක් නැති පක්‍ෂයක් කියල නිර්පක්‍ෂිකයනුත් තේරුම් ගත්තා. ඔවුන් ඒ නොවැදගත්කම තේරුම් ගැනීමෙන් පසු පක්‍ෂයක් හැටියට ලියා පදිංචි වෙන්න කටයුතු කරලා.

 

දැන් හෙට ඡන්දෙදි පක්‍ෂ කියන ඒව බෙදෙනවා. ඒ බෙදෙන එකේ පෙර ගමනක් අපි දැක්කෙ විමල්ල සුවාදීන වීමත් සමග. දැන් සුවාදීනයන් අතරත් සුවාදිනයන් ඉන්නවා. අන්තො සුවා බහි සුවා කිවුවලු. රහස් ඡන්දයක් හින්ද කවුරු කාට ඡන්දෙ දුන්න ද කියල දැන ගන්න බැහැ. හෙට සුවාදීන දවසක්. සමහර ස ජ බ පොහොට්ටු ඡන්ද රනිල්ට ලැබේවි. ඒ සමහරු ම තමයි ඩලස්ට හා සජිත්ට ඡන්දෙ දෙන්නෙත්. අනුර රනිල්දාසටත් කීයක් හරි වැටේවි ද? දෙවැනි තුන්වැනි මනාපත් තියෙනවා. එක් පක්‍ෂයක ඉන්න අයකුට වෙනත් මනාප තියෙන්න පුළුවන් ද? පොතේ හැටියට බැහැ. ඒත් පතේ හැටියට පුළුවන්. දරුවන්ට පොත්පත් බලා ගන්න කියන්නෙ ඒකටයි.