Main Logo

Friday 1 July 2022

බංකොළොත් උගතුන්ගේ බංකොළොත් රට

 

බංකොළොත් උගතුන්ගේ බංකොළොත් රට

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස දින දහයක් හත කර වාර්තාවක් ඉදිරිපත් කරලා. ඉතා පැහැදිලි ව ඔවුන් ලංකාවට ඒමට පෙර ම බොහෝ දේ හදාරලා. පුවත්පත් වාර්තාවලට අනුව ඔවුන් දූෂණ ගැන වැඩි අවධාරණයක් කරලා. එය මෙරට ඇතැමුන්ට අඬන්න හිටපු එකාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක්. දූෂණ කොමිස් ආදිය නූතන  වෙළෙඳ ආර්ථිකයක නැතුව ම බැරි සාධක. මෙරට කොමිස් අනුපාතය වැඩි වෙන්න ඇති. ඒත් කොමිස් යනු ගණුදෙනුවක තිබෙන මුදල් වෙන් කරන එක් අංගයක්.

 

එකී වාර්තාවේ අප ආදායමට වඩා වියදම් කර තිබෙනවා ද යන්න සඳහන් කර ඇත් ද කියා දන්නේ නැහැ. ඔය මොන කොමිස් තිබුණත් අද ආර්ථික අර්බුදයට ප්‍රධාන  හේතුව අපේ ආදායමට වඩා වියදම වැඩි වීමයි. අවුරුදු හැත්තැපහක ආර්ථිකයක් කියන්නේ එයයි. එයට ප්‍රධාන වරදකරුවා මධ්‍යම පංතියයි. මධ්‍යම පාංතික ආකල්පයි. තරගයයි. අනෙකා පරයා ඊනියා දියුණු වීමට ඇති කැමැත්තයි. අධ්‍යාපනය හුදු ගොඩ ඒමේ අවියක් ලෙස සැලකීමයි.

 

ජාමූල අවසන් වශයෙන් යෝජනා කරන්නේ තම කොන්දෙිසිවලට යටත්ව ණය ගැනීමයි. ඔවුන්ට අවශ්‍ය අප ඔවුන්ගේ ග්‍රහණයට පත්කර ගැනීමටයි. අප දැනටමත් කීප වතාවක් ජාමූලට ගිහින් තියෙනවා. අද අපේ ආර්ථික අර්බුදයට එක් හේතුවක් එසේ යෑමයි. මා එසේ කියන්නේ ඊනියා සමාජවාදී ස්ථාවරයක පිහිටා නො වෙයි. මේ ලෝකයේ ඇති සමාජවාදයක් නැහැ. රුසියාව සමාජවාදී රටක් නොවෙයි. මා පුටින්ට කැමති ඔහු ජාතිකවාදියකු නිසයි. ලෙනින් ද ජාතිකවදියකු වුණා. ට්‍රොට්ස්කි ඊනියා ජාත්‍යන්තරවාදියකු වුණා. ඔහු අසාර්ථකයි. ජාමුල කියන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය පවත්වාගෙන යෑම සඳහා තනා ඇති තවත් ආයතනයක් පමණයි.

 

මෙරට ඉන්න වමාලට ජාතිකවාදීන් වීමට බැහැ. ඔවුනුත් පුහු ජාත්‍යන්තරවාදීන්. ජාත්‍යන්තරවාදය කියන්නෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ජාතිකවාදයට. ඒ බව මෙරට උගතුන්ට තේරෙන්නෙ නැහැ.   තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. මා දන්නා තරමින් බටහිරයකු එසේ කියා නැහැ. බටහිරයන් කියන්නෙ නැති දෙයක් ගැන කතා කරන්නවත් ඔවුන්ට අවශ්‍ය නැහැ. ඔවුන් කවදාවත් හිතන්නෙ නැහැ තමන්ට බටහිර දැනුමට අලුත් යමක් එකතු කරන්න බැරි මොකද කියල. ඔවුන්ට බැරි වුණත් අඩු තරමෙ බටහිර රටවලට ගිහින් ඉන්න මෙරට පඬි නැට්ටන්ට බැරි ඇයි කියලා. දැනුම් නිර්මාණයෙහි ඇති සංස්කෘතික පසුබිම ගැන ඔවුන් හිතන්නෙ නැහැ.

 

අද හැමෝම වගේ ඩොලර් හරණය (de - dollarization) ගැන කියවනවා. ඒත් ඔවුන් එහි පසුබිම ගැන කියන්නෙ නැහැ. නික්සන් 1971 දී බ්‍රෙට්න්වුඩ්ස් ගිවිසුම බිඳ දමා ඩොලරය රත්රන්වලට තිබූ ගැට ගැසීම ඉවත් කළා. ඩොලරය එතැන් සිට කිසිම ද්‍රව්‍යයකට නොබැඳී අධිපති අගයක් ගත්තා. එය බිඳ දැමීම අවශ්‍යයි. එහෙත් එය කළ හැක්කේ කාට ද? පුටින්ට එය පුළුවන්. එහෙත් අප වැනි රටවල් රුසියාව සමග රූබල්වලින් ගණුදෙනු කරාවි ද?

 

අද ඉතා පැහැදිලිව මෙරට බටහිර ගැති කුලකය අප රුසියාවෙන් හා චීනයෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා. ඔවුන් අද බලවත් බවත් අප අමතක කළ යුතු නැහැ. රනිල් අගමැති ධුරය භාරගත්තේ රාජපක්‍ෂලා රැකීමට යැයි පඬි නැට්ටන් තම පඬි බව පෙන්වමින් කිවුවත් රනිල් ඇවිත් තියෙන්නෙ ආර්ථික අර්බුදය විසඳීමටවත් නොව අප තව තවත් බටහිර ග්‍රහණයට තල්ලු කිරීමටයි. ඔහුගේ බලය වර්ධනය කිරීමටයි. අවසානයේ දී හැකි නම් ගෝඨාභය ගෙදර යැවීමටයි. ඔහු ජාමූල වාර්තාව ඒ සියල්ල සඳහා යොදා ගනීවි. මෙරට ඩොලර් හරණය යනු පඬි නැට්ටන්ට තවත් මාතෘකාවක් පමණයි.

 

අජිත් නිවාඩ් කබ්රාල් දේශප්‍රේමී මහා බැංකු අධිපතියකු යැයි මා කියන්නේ නැහැ. එහෙත් ඔහු රට බංකොළොත් තත්වයකට පත් කෙළේ නැහැ. රුපියල පා නොකිරීම ඔහුගේ වරදක් වෙන්න පුළුවන්. ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාවෙන් අපට ඊනියා වාස්තවික විසඳුම් බලාපොරොත්තු වෙන්න බැහැ. එකල අප ණය ගෙවුවා. ඒ නිසා ණය ගැනීමට බාධාවක් තිබුණේ නැහැ. එහෙත් පඬියන් කිහිප දෙනකු කියා සිටියේ ණය ගෙවීම පමා කිරීම පොලිය අඩු කිරීම ආදිය කර ගත යුතු ය කියා. අප එය කළා. හර්ෂ ද සිල්වා වැනි ජාත්‍යන්තර කීර්තියට පත් ආර්ථික විද්‍යාඥයන් ඩබ් ඒ ජයවර්ධන වැනි මහා බැංකු විද්වතුන් (ඔහු කලකට ඉහත ජ වි පෙරමුණට සම්බන්ධ වී සිටි බවට කතාවක් තියෙනවා) නිෂාන් ද මැල් වැනි හදිසියේ මතු වූ ආර්ථික විශේෂඥයන් ණය ගෙවීම පමා කිරීමට උපදෙස් දුන්නා.

 

මහා බැංකුව හා රනිල් එහි දී එකඟ වුණා. අප ණය ගෙවීමට නොහැකි රටක් ලෙස ප්‍රකාශ වුණා. ඊනියා ජාත්‍යන්තරය අප බංකොළොත් රටක් බව පිළිගන්නවා. අපට දැන් ණය දෙන්නෙක් නැහැ. අපේ බැංකුවල ණයවර ලිපිවලට පිළිගැනීමක් නැහැ. අර විද්වතුන් ගැන ආරංචියකුත් නැහැ. නරක ද ඔවුන් සමග ඊනියා විද්වත් සාකචඡාවක් පැවැත්තුවා නම්. අපි නොදන්න ලයිව් කිවුවලු.

 

මෙරට මිනිසුන් බලන්නේ කොහෙන් හරි කොහොම හරි තෙල් ලබා ගන්න.  ඔවුන් තම ආකල්ප  වෙනස් කිරීමට කතා කරන්නේ නැහැ. අපේ ජීවන රටාව වෙනස් කරන්න හිතන්නෙ නැහැ. මෙරට මධ්‍යම පංතියේ චින්තනය අනුකාරකත්වය පමණයි. මා හිතන්නේ නැහැ මෙවැනි අනුකාරකයන් අහිනක් ලෝකයේ වෙනත් කිසිම රටක ඉන්නවා කියා. අපට පාසල්වල ඉගැන්නුවේ ඉංගිරිසින් මෙන් ඉංගිරිසි උච්චාරණය කරන්න  ඉංගිරිසින්ගෙ ප්‍රාථමික දේ  අනුකරණය කරන්න පමණයි. අඩු තරමෙන් ඉංගිරිසින් මෙන් සැලසුම් කරන්න ඉගැන්නුවේ නැහැ. අප කෙතරම් අනුකාරකයන් ද කියනවා නම් අද ජාතික යැයි කියා ගන්නා රූපවාහිනිය සිංහල උච්චාරණය කරන්නෙත් ඉංගිරිසි ක්‍රමයට. අප එකල මෙරට දෙමළ කතා කරන ජනයාගේ ඉංගිරිසි උච්චාරණයට පමණක් නොව ඉන්දියානුවන්ගේ ඉංගිරිසි උච්චාරණයටත් හිනා වුණා. අද අපට ඉන්දියානුවන්ගෙන් ණය ගන්න සිදුවෙලා. ඒත් අප දැන් බංකොළෙත් රටක්. අපේ දැනුමට හිනා වෙන බංකොළොත් අනුකාරක උගතුන් ඉන්න රටකට මෙහෙම වෙන එකත් පුදුමයක් නො වෙයි.