Main Logo

Monday 25 July 2022

ගෝඨාභය සිංප්පුරුවේ දී අත්අඩංගුවට ගැනීමට ඉල්ලීම

 

ගෝඨාභය සිංප්පුරුවේ දී අත්අඩංගුවට ගැනීමට ඉල්ලීම

 

ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට ආසන්න වශයෙන් පත් කෙළේ විමල් වාසු උදය ත්‍රීත්වය. ඩලස් හා පිරිසක් පසුව එයට එකතු වුණා.   එහෙත් එය  බටහිර රටවල් හා ඉන්දියාව මහින්ද හා ගෝඨාභය ඉවත්කර ඔවුන්ගෙන් පළිගැනීමට කරන ලද සැලැස්මකට ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් පමණක් වුණා. විමල්ලා දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ බටහිරයන්ට හා ඉන්දියාවට රාජපක්‍ෂලා ඉවත් කිරීමට ආධාර කළා. ඔවුන් බැසිල්ට තිබූ විරෝධය ආණ්ඩු විරෝධයක් බවට පත් කිරීමෙන් බටහිර හා ඉන්දියාවේ ඉත්තන් වුණා.

 

අද වන විට දකුණු අප්‍රිකාවේ කියන මානව හිමිකම් සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිගෙන් ඉල්ලා තියෙනවා ගෝඨාභය අත්අඩංගුවට ගන්නා ලෙස. ඒ ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නො වෙයි. ගෝඨාභය හොරකම් කරා කියාවත් නො වෙයි. හුදෙක් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙහි දී සිදු වූයේ යැයි කියන  යුද අපරාධ සම්බන්ධයෙන්. දැන් ඒ සම්බන්ධයෙන් මා ව්‍යාජ ජාතිකවාදීන්ගෙන් අහන්නේ නැහැ දැන් සැප ද කියා. බටහිරයන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහයෙන් සිදු කෙරුණු පරගලයට සම්බන්ධ වූ සිංහල බෞද්ධයන්ගෙන් අහන්නෙත් නැහැ දැන් නින්ද යනවා ද කියා.

 

දකුණු අප්‍රිකාවේ කීවත් මේ සංවිධාන එංගලන්තය හා සම්බන්ධයි. මුල සිට  ම රාජපක්‍ෂලාට විරුද්ධ ව, රණ විරුවන්ට විරුද්ධ ව විවිධ චෝදනා ඉදිරිපත් කරනු ලැබුයේ එංගලන්තයේ ජනමාධ්‍ය හා වෙනත් ආයතන විසින්. චැනල් 4 මතක ද? පහුගියදා එංගලන්තයේ ගාඩියන් පුවත්පත පඬි කතාවක් කියා තිබුණා. එය වමේ කියා තමයි කියන්නේ. ඔවුන් කියා තිබුණේ ගෝඨාභය අස්වීමෙන් වැරදි පූර්වාදර්ශයක් සපයා ඇති බවයි. ඔවුන් කියන්නේ දැන් ඕනෑම රටකට වෙනත් රටක තමන් අකමැති පාලකයකු ඉවත් කිරීමට එරට යම් කතාවක් අටවා ජන නැගීටීමක් ඇති කර පාලකයාට අස්වීමට සැලැස්විය හැකි බවයි. ගාඩියන් පුවත්පත වමේ තියා මොකේ වුණත් සුදුළුණු පොඩි කරනවා. ඔවුන් වහන්න යන්නේ ගෝඨාභය අයින් කරනු ලැබුවේත් එලෙසට ම යන්නයි. ඒ කතා ඇටෙච්වේ  එංගලන්තය බව ගාඩියන් පුවත්පත නොදන්නේ ද?

 

ගෝඨාභයගෙන් පළිගැනීම සඳහා සකස් කළ කතා අතර සර් ෆේල්, පාස්කු බෝම්බ පිපිරීම් ඒකාධිපති පිළිවෙත හොරකම් ආදිය ගෙතුණා. කාදිනල්තුමා ඇඟෙව්වේ පාස්තු ප්‍රහාර ජනාධිපති වීම සඳහා ගෝඨාභය සැලසුම් කළ එකක් ලෙසයි. ආර්ථික අර්බුදය හොරකම් නිසා ඇති වූ බව ජප කිරීමට බටහිරයන් සමත් වුණා. මහින්ද ඉවත් වුණේ මැයි 9. බැසිල් ජූනි 9. ගෝඨාභය ජූලි 9. කී විධියට නම් දැන් හොරකම් සිද්ධ වෙන්න ක්‍රමයක් නැහැ. ඩොලර් සංචිතය වැඩි වෙලා ද? ඒ කොපමණකින් ද? අද ඔය එන  නැව් ගෝඨාභය කාලයේ ඇණවුම් කළ තෙල් රැගෙන එන බව නොදන්නේ කවුද? ඔය කෘර ඒකාධිපතියා වෙඩි තැබීමට අණ නොකළ බව ගාඩියන් පුවත්පත වුණත් දන්නවා.

 

මහින්ද හා ගෝඨාභය ඉවත් කෙරුණේ නන්දිකඩාල් පරාජයේ පළිය ගන්න මිසක් වෙන දේකට නො වෙයි. අද තමන්ට අවශ්‍ය දේශපාලන ප්‍රශ්නය විසඳා ගත් පසු ආර්ථික අර්බුදය විසඳීමට බටහිරයන් කරන මැදිහත්වීම කුමක් ද? ගෝඨා ගෝ කිවුවේ ආර්ථික අර්බුදය විසඳන්න ද? ගෝඨාභයගෙන් පළිගන්න ද? දැන් ඔහු ජනාධිපති නො වෙයි. එංගලන්තයෙන් මෙහෙයවෙන  දෙමළ විසිරුණු ජනයාට දකුණු අප්‍රිකාවේ සිටියත් කොහේ සිටියත් අවශ්‍ය වන්නේ නන්දිකඩාල් පළිය ගන්න මිස වෙනකක් නොවෙයි.

 

අද ජනාධිපති කාර්යාලය අත්කරගෙන සිටි මෝඩ පුත්‍රයන්ට පහර දීම ගැන නැවතත් බටහිරයන් කණස්සල්ලට පත් වෙලා. ඔවුන්ට අනුව රජයේ කාර්යාලයකට ඇතුළුවීම වැළැක්වීම සාධාරණ සාමකාමී උද්ඝෝෂණයක්ලු. ඒ මෝඩ පුත්‍රයන් බටහිරයන්ගේ හා ඉන්දියාවේ අවශ්‍යතාව වෙනුවෙන් මෙරට සාමාන්‍ය මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් කඩලා. සාමාන්‍ය මිනිසුන්ට ඒ කාරයාලවලින් වැඩක් කර ගැනීමට ඇති අයිතිය පමණක් නොවෙයි ඒ කාර්යාලයේ සේවය කරන්නන්ට තම රැකියා කර ගැනීමේ අයිතියත් කඩලා.

 

රණවිරුවන් මෝඩ පුත්‍රයන් ඉවත් කළ යුතුව තිබුණේ බොහෝ කලකට පෙර. බටහිරයන් හා ඔවුන්ගේ හෙංචයියන් එසේ ඉවත් කිරීම ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස හැඳින්වීම හා නන්දිකඩාල් මෙහෙයුම්වල දී කොටින්ට විරුද්ධව කළ මෙහෙයුම් ම්ලේච්ඡ ක්‍රියා ලෙස හැඳින්වීම මගින් කෙරෙන්නේ කුමක් ද? අද පරගලකරුවන් රණවිරුවන්ට බැණ වදිමින් ප්‍රභාකරන්ගේ ගුණ සමරන්නේ කෙසේ ද? මේ සියල්ල පිටුපස ඇත්තේ ගෝඨාභය සමග සිංහල බෞද්ධ සංස්කෘතිය ද මෙරටින් පිටමං කිරීමයි. දෙමළ ජාතිවාදීන්ගේ අවශ්‍යතා ඉටු කිරීමයි.