Main Logo

Wednesday 27 July 2022

අලි කතාවක්

 

අලි කතාවක්

 

ඊයේ සවස 6.50 ජාතික රුපවාහිනී ප්‍රවෘත්ති (මා හිතුවා දැන් සෘජුව ම ආණ්ඩුවේ ප්‍රවෘත්ති බලන එක හොඳය කියා) නරඹන විට ආතල්ගමේ එක් පරගලකරුවකුගේ ප්‍රකාශයක් අසන්න ලැබුණා. ඔහු මහත් ගර්වයෙන් කියා සිටියේ තමන් ෆ්ලයිට් වෙනුවට ෆයිට් තෝරා ගත් අය බවයි. ඒක හොඳ කියමනක්. මා දන්නා වෙනත් අයත් එවන් කතා කියනවා. ඒ නිදහස් අධ්‍යාපනයේ අග්‍ර ප්‍රතිඵල. ඒ ප්‍රකාශය අනුව ඔවුන්ගේ ආතල්ගම පරගලය තවදුරටත් කරගෙන යන්න ඔවුන් හිතන් ඉන්න බව මට වැටහුණා.

 

එහෙත් මොහොතකින් අසන්නට ලැබුණේ වෙනත් ම කතාවක්. ජාතික රූපවාහිනිය කියා සිටියේ තම රූපවාහිනී ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුල් වී ආතල්ගැනීමට රුපවාහිනියේ වැඩ සටහන් වෙනස් කිරීමට කතා කළ ආතල්කරුවකු  හෙවත් පරගලකරුවකු ඉන් මොහොතකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරෙන බවයි. ඔහුගේ නම ගනේෂ් අලි කියා කියවුණා.

 

ඔහුට මේ අලි නමක් ලැබුණේ කෙසේ ද  කියා හිතට ආවා. එහෙත් මා හිත සසළ වුණේ අර පරගලකරු කී දෙයක් මොහු අනෙක් පැත්ත හැරවීම නිසයි. පරගලකරු කියා තිබුණේ තමන් ෆ්ලයිට් වෙනුවට ෆයිට් තෝරා ගත් බවයි. අලි මා හිතන විධියට ජම්බෝ ජෙට් එකක් මගින් ෆයිට් වෙනුවෙට ෆ්ලයිට් තෝරා ගෙන. අර ගුවන් යානයේ අලිට පක්‍ෂ ව අලි කතා කී අයට මෙන් නොව මට ඇති වූයේ කණගාටුවක්. අප වෙනුවෙන් අරගල කිරීමට පාරට බැස්ස උදාරතර අලි අප අත්හැර ඩුබායි යෑමට ගුවන් යානයකට නැග ගැනීම ගැන මට ඇති වූයේ සාධාරණ බයක්. අප වෙනුවෙන් අරගල කිරීමට තවත් අය ඇති. ඒත් අලි යෑමට තැත් කිරීම මට ඉවසා දරා ගන්න බැරි වුණා.

 

මට පසුව දැන ගැනීමට ලැබුණු ආකාරයට අලිගේ නම රොෂාන් අලි දනිෂ් අලි. 1991 උපත ලබා ඇති ඔහු දෙමටගොඩ පදිංචිකරුවෙක්. ඔහුගේ පියා 1980 දී ඉස්ලාම් ආගම වැළඳ ගෙන තියෙනවා. ඒ කෙසේ සිදු වූයේ ද යන්නත් ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට පෙර ඔහුගේ ආගම කුමක් වී ද යන්නත් දැන ගන්නට නැහැ. ඒ කුමක් වුවත් දනිෂ් අලි අප වෙනුවෙන් අරගල කළ අයෙක්. අප බුද්ධි අංශවලට හා අදාළ අනෙක් අයට ස්තුතිවන්ත වෙන්න ඕන අලිට ඩුබායි යෑමට ඉඩ නොදී අප වෙනුවෙන් අරගල කිරීමට ලංකාවේ ම රඳවා ගැනීම ගැන.

 

අර ගුවන් යානයේ හිටි ඇතැමුන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන අලි කතා කියලා. ඔය පරම්පරාවේ බසින් කියනවා නම් එලිෆන්ට් ටෝක්ස් දීලා. අලි අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් තිබුණ ද කියල අහල. මා දන්නේ නැහැ වරෙන්තුවක් තිබුණ ද නැද්ද කියන එක. ඒත් අලි අප වෙනුවෙන් අරගල කරන්න තව දුරටත් ලංකාවෙ රඳව ගත්ත එක නම් අලි වැඩක්.

 

අද පඬි නැට්ටන් නීති විශාරදයන් සහ තවත් නීති විශාරදයන් සහ තවත් විද්වතුන් අලි අත්අඩංගුවට ගැනීමට විරුද්ධ ව කතා කරාවි. අර ගුවන් යානයේ අලි කතා කියපු අයත් ෆ්ලයිට් එකෙන් බැහැල අලි වෙනුවෙන් ෆයිට් කරන්න රැඳුනා නම් අගය කරන්න තිබුණා. අලිගෙ මානව අයිතිවාසිකම් කඩ කිරීම ආදිය ගැන කාට කාටත් අලි කතා කියන්න පුළුවන් ලියන්න පුළුවන්. මට මතක නැති වුණා වොයිස් කට් දෙන්නත් පුළුවන්.

 

ඒත් මට අලි කතාවක් නැතත් පොඩි කතාවක් කියන්න තියෙනවා. ඔය අලි ජාතික රූපවාහිනියට කඩා පැන්න වෙලාවෙ ඒක මොන ප්‍රජාතන්ත්‍රවාදය අනුව මොන මානව හිමිකමක් අනුව කළා ද කියන එක ඒ අය කිවුවෙ නැහැ. ජාතික රූපවාහිනියට කඩා පැනලා එහි වැඩ සටහන් නතර කරන්න ආතල්ගම පරගලකරුවන්ට පුළුවන් වුණෙ ව්‍යවස්ථාවෙ තියෙන ජනතා පරමාධිපත්‍යය අනුව ද? මට මතක හැටියට ඒ කඩා පැන්න අය තමන් අර ජනාධිපති කාර්යාලය ජනාධිපති මැඳුර ආදිය අල්ල ගෙන ඉන්න බවත් රූපවාහිනී නිලධාරීන්ට කිවුවා. ඇත්ත නේන්නම් හැබෑට ඔවුන් දැන් ඒ තැන්වල නැත්තෙ ඇයි?

 

ජාතික රූපවාහිනියට කඩා පැනීම ගැන මාධ්‍ය සංසදයක් නම් විරෝධය පළ කරල තිබුණා. ඒත් මට අලිගෙන් අහන්න ප්‍රශ්නයක් තිබුණා. ඔවුන් රූපවාහිනිය අත්හැරලා දාල ආපසු ගියේ ඇයි? ප්‍රචාරය කරන්න වැඩ සටහන් තිබුණෙ නැද්ද? තමන් ජනතාව වෙනුවෙන් කරන අරගලය ඒ වැඩ සටහන් දැකලා ජනතාවට එපාවෙයි කියල බය වුණා ද? ඔය ජනතාව ඉන්නෙ කොහේ ද? අර ආතල්ගම විශ්වවිද්‍යාලෙ දේශන පවත්තපු අය එතැනට ආ ගිය කලාකරුවන් ගෙන්න ගන්න තිබුණා නෙ. ඇත්තට ම ඒ කලාකරුවන් දැන් දකින්නට නැත්තේ ඇයි? ආ අර දමිත ද කවුද ඉන්නෙ.

 

මේ තමයි අට ලෝ දහම. අලි දන්නවද දන්නෙ නැගැ. ඔය අරගලවල ස්වභාවය තමයි නීතිය ක්‍රියාත්මක නොකරන විට අරගලකරුවන් ප්‍රජාතන්ත්‍රවාදය ඩොලරයකට මායිම් කරන්නෙ නැහැ කියන එක. රජයෙ ගොඩනැගිලි අත්පත් කර ගන්නෙ අම්ම අප්පගෙ බූදලේ කියල හිතා ගෙන. ඒක හරි ආතල්වැඩක්. එතකොට අරගලකරුවන් කරන ඕනෑම වැඩක් සාමකාමී කියල අර පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් නීිතිඥයන් විද්‍යාඥයන් විශේෂඥ වෙදමහත්තුරු ආදීන් කියනවා. ආයුධ නැත්තන් සාමකාමීයි. ඒක හොඳ නිර්වචනයක්. අර කියන විධියට තග දාන්න ආයුධ ඕන නැහැ. තග දැමීම නිර්ප්‍රචණ්ඩත්වය ද? හමුදාවට පොලීසියට තර්ජනය කිරීම මෛත්‍රී කිරීමක් ද? සිරිසේන ගැන නොවෙයි මා කියන්නෙ. සාමය ප්‍රජාතන්ත්‍රවාදය ආදියත් සාපේක්‍ෂයි. වඩදිය බාදිය සමග ඒවත් වෙනස් වෙනවා.

 

දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා. ප්‍රචණ්ඩත්වයත් වෙනස් වෙලා. එහි නිර්වචනය නැත්නම් අර්ථදැක්වීම වෙනස් වෙලා. අද පරගලයට හයියක් නැහැ. ඉන්දියාවත් රනිල්ට සුබ පතලා. බටහිර රටවල් තව ටිකක් බලන් ඉන්නවා. බලන් ඉන්න බැරුව අලි යන්න හදලා. මේ සම්පූර්ණ කතාව පදනම් කරගෙන ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න ජාතික රුපවාහිනිය ඉදිරිපත් වෙනවා ද? ඒක අලිනාට්‍යයක් (අර මෙගා වර්ගයේ) වෙන්නත් බැරි නැහැ.  අර කලාකරුවන්ගෙ සහාය ගන්න පුළුවන් වේවි.