Main Logo

Friday 29 July 2022

මොකක් ද කේස් එක

 

මොකක් ද කේස් එක

 

බටහිරයන්ට ලංකාවේ අවශ්‍ය කුමක් ද? ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය නම් නො වෙයි. ජනතාවගේ කැමැත්ත රජයනු දැකීමත් කියා කියන්නට පුළුවන්. එහෙත් ජනතාව යනු කාට කාටත් තමන් මිස අන් කිසිවකු නො වෙයි. යමකු ජනතාව වෙනුවෙන් කතා කරන්නේ නම් එයින් කියන්නේ තමන් වෙනුවෙන් කතා කරන බවයි. ජනතාවාදී යනු තමාවාදී මිස වෙනත්වාදී වීමක් නො වෙයි.

 

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වන බව දැනගත් දින සිට ම බටහිරයන්ට අවශ්‍ය වුණේ ඔහු ජනාධිපති ධුරයට පත් වූ විට ඉවත් කිරීමයි. සර් ෆේල් , පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සෙවීම, ආර්ථික අර්බුදයට හේතුව රාජපක්‍ෂලා හොරකම් කිරීම ආදිය එහි විවිධ පියවර වුණා.  මා හිතන විධියට කාදිනල්තුමා දැන් පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු හොයා ගෙන ඇති. එතුමා ඒ ගැන දැන් කතා නොකරන්නේ ඒ නිසා වෙන්න ඕන. ඕමල්පෙ සෝභිත හාමුදුරුවන් හරි අගලකඩ සිරිසුමන හාමුදුරුවන් හරි ඒ ගැන දන්නවා ද කියා මා දන්නේ නැහැ.

 

බටහිරයන්ට රාජපක්‍ෂලා ඉවත් කිරීමට අවශ්‍ය වුණෙ නන්දිකඩාල් දවස්වල ඉඳන්. ඒක සාර්ථක කර ගත්තා යහපාලන ආණ්ඩුව පිහිටුවීමත් එක්ක. යහපාලනයට හේතු වුණෙ බැසිල් රාජපක්‍ෂගෙ ආධිපත්‍යය හා ඔහුගේ හා මහේන්ද්‍ර පුත්‍රයන්ගේ අමනකම්. යහපාලනය බිඳ දමා දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටු වූ දින හිටන් ඔවුන්ට ඕනෑ කෙළේ මහින්ද අගමැතිකමෙන් ඉවත් කරන්න. ඒ සඳහා විවිධ පුද්ගලයන් එකතු වුණා. ඒ විශ්වාසභංග යෝජනාව සකස් කරන්න. මංගල රනිල් දිලිත් එහි දී වැඩ කොටසක් කළා. රනිල්දාස යටත්විජිත ලවා මීටර් සීය වාර්තාව කැඩෙවුවා. බටහිර තානාපතිනියන් තානාපතියන් පාර්ලිමේන්තු ගැලරියේ ඉඳන් නෝනාවරු මහත්වරු ලෙස අත්පුඩි ගැහැවුවා. වියනා සම්මුතිය කැඩුවා. තමන්ගෙ සම්මුති තමන්ට කඩන්න බැරි නම් මොන කෙහෙම්මලකට ද?

 

මෙරට තානාපතිවරුන්ට (මහා කොමසාරිස්වරුන් ද ඇතුළුව) වියනා සම්මුතිය කියන එක පයිසයක් වටින්නෙ නැහැ. ඔවුන් පක්‍ෂ නායකයන් හමුවෙනවා. ඒ හමුවෙලා කාලගුණය ගැන කතා කරනවා වෙන්න බැහැ. රනිල්දාසලාගෙ අර සහෝදරයන් හදපු පක්‍ෂ කාර්යාලයට කී දෙනෙක් දැන් ගිහින් තියෙනවා ද?  බටහිරයන් හා ඉන්දීයයන් ඒ යන්නෙ එන්නෙ රනිල්දාස දාස භාවයෙන් මුදා ගන්න ද? ඒක හිතන තරන් අමාරු වැඩකුත් නො වෙයි.

 

විමල්ලාගේ සුවාදීන වීම නිසා බටහිරයන්ට පරගලයක් ඇති කරන්න පුළුවන් වුණා. කවුරු කවුරුත් විසි කරපු මුදල් ගැන තොරතුරු දැන් දැන් ටික ටික හෙළි වෙනවා. එතකොට හෙළුව පේනවා. පරගලයට දුම්රිය දුවපු හැටි තාම දුමෙන් වැහිලා. කමක් නැහැ දුම්රිය නොවැ.

 

පරගලයට අවශ්‍ය වුණෙ ගෝඨාභය ගෙදර යවල රනිල් ජනාධිපති කරන්න. පරගලකරුවන් නම් කිවුවෙ ගෝටා ගෝ හෝම් කියා විතරයි. එක් එක් අය ඇහුව ම ගෝඨාභය ගෙදර ඇරල කාවද පත් කරගන්නෙ කියල ඒක ඒ වෙලාවට බලා ගමු කිවුවා. ඒක පුදුම කතාවක්. ඒත් බටහිරයන් දැන හිටිය රනිල් තමයි පුද්ගලයා කියලා.  ඒත් දැන් පොඩි කොස්සක් තියෙනවා. රනිල්ට මොකක්ද වෙලා තියෙනවා.

 

බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය නැහැ ඊනියා උද්ඝෝෂණ. ඔවුන්ට උද්ඝෝෂණ අවශ්‍ය වුණෙ ගෝඨාභය එළවන්න. ගෝඨාභය එළෙවුවෙ බටහිර රටවල් හා ඉන්දියාව මිසක් ඊනියා අරගලකරුවන් නො වෙයි. කොහොමටත් පරගලයෙ නායකත්වය දැරුවෙ කතෝලික හා මුස්ලිම් ජනයා. පඬි නැට්ටන් නියආචාරීන් වුණා පමණයි. ජෙප්පන් හා සෙප්පන් පරගලයෙ නායකත්වයට අරගලයක් කරපු එක වෙන ම කරුණක්. ඔවුන්ට අද වොයිස් කට් දෙන්න පුළුවන්. වෙන දෙයක් නම් බැහැ.

 

පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු අය හිතනවා ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අල්ල ගන්නවා කියන්නෙ පාර්ලිමේන්තු බලය ගන්නවා කියලා. අර දනිෂ් අලිගෙන් අහන්න. රූපවාහීනී ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුල් වෙලා  පැයකට රජවීම ගැන. අලි ඕස්ත්‍රේලියාවෙ ඉගෙන ගත්ත කියල ඒ පාර කියනවා. ඔහුට ඕස්ත්‍රේලියාවට යන්න මුදල් දුන්නෙ කවුද කියල කවුරු හරි කියනවා ද? ඔහුගෙ තාත්ත ද? ඩිල්කා සමන්මලීගෙන් අහන්න.

 

රනිල්ට බටහිරයන් එක පාරට ම සුබ පැතුවෙ නැහැ. ඉන්දියාවත් ටිකක් පහු වුණා. සමහර විට ඉන්දියාව නම් නැකතක් බලන්න ඇති. ඒත් චීනයත් රුසියාවත් ඉක්මන් වුණා. කොස්ස මොකක් ද? ඔය පරම්පරාව නම් අහන්නෙ කේස් එක මොකක් ද කියල. අවුලක් ද කියලත් අහනවා. චීනය දැන් අගමැතිටත් විදේශ ඇමතිටත් සුබ පතනවා. රනිල්ට චීනයට යන්න වෙලා. ජාමුල කියනවා චීනෙත් එක්ක ඉස්සෙල්ල ගණුදෙනු බේරා ගන්න කියලා.

 

බටහිර රටවල් කැමති නැහැ හදිසි නීතිය පැනෙවුවට. ජී එලුත් කැමති නැහැ. ජී එල් ඒක රනිල්ට නීති පීඨයෙ දි කියල දෙන්න තිබුණ නේ. දැන් අවුරුදු පණහක් පමණ ප්‍රමාද වෙලා. ජී එල් කියනවා හදිසි නීති නිසා ජී එස් පී නැති වෙන්න පුළුවන් කියලා.   ජී එල්ට බැරි ද කපා ඇලවීමේ (කට් ඇන්ඩ් පේස්ට්) ක්‍රමයට හදිසි නීතිය පැනවීම හා අවාසි ගැන පොතක් ලියන්න. රනිල්ගෙ පුස්තකාලයෙ සමහර විට තාමත් අවශ්‍ය පොත් ඇති. බටහිරට අවශ්‍ය වෙලා තිබුණෙ නම් රනිල් පත් කරගෙන ඔහු ලවා පරගලය පරලොව යවන්න. ඒත් දැන් ඔවුන්ට පරගලයට පණ දෙන්න අවශ්‍ය වෙලා.

 

ඒ ගමන පරගලකාරයන් කියනවා රනිල් ගෙදර අරිනවා කියා. සරත් ෆොන්සේකාත් දරුවන්ට කියනවා අගොස්තු නවවැනි දා එන්න කියලා. ඔහු ෆීල්ඩ් මාෂල් නොවැ.  රනිල් යවල සරත් ෆොන්සේකා ද පත් කරන්නෙ. සජිත් කැමති ද? සරත් ෆොන්සේකා එකල හමුදාවෙ ප්‍රධානියා. බටහිරයන් හා දකුණු අප්‍රිකානුවන් ගෝඨාභයට හා විවිධ රණවිරුවන්ට විරුද්ධ ව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරනවා. ගෝඨාභයටත් තවත් රණවිරුවන්ටත් තම රටවලට ඇතුල්වීමට වීසා දෙන්නෙ නැහැ. ඇතැමුන් සරත් ෆොන්සේකා ජනාධිපති කරන්න ලැහැස්ති වෙන්නෙ ඔවුන් ඔහු රණවිරුවකු ලෙස සලකන්නෙ නැති නිසා ද? ඔහු ජනාධිපති වුණොත් සරත් ගෝ හෝම් කියනවා ද? අර පරලෝසැපත් X කණ්ඩායම හිටිය නම් කියාවි X ගෝ හෝම් කියලා. ඇත්තට ම මොකක් ද කේස් එක?