බටහිරයන්ගේ අරගලය රාජකීය විදුහල හා නිර්ප්‍රභූවරු
දැන් ලංකාවට ඉර පායන්නේ අත්ලන්තික් සාගරයේ බටහිරින්. ටික කලකට පෙර ඉර පෑවුවෙ අත්ලන්තික් සාගරයෙ නෑනෙහිරින්. කොහෙන් පෑවුවත් ලංකාවට බටහිරින්. ඉන්දියන් සාගරයටත් බටහිරින්. බටහිරින් ඉර පායන එක ගැන පඬියන් ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට වැටහීමක් නැහැ. ඔවුන් නිදාගන්නෙ බටහිරට ඔළුව දාගෙන.
ලංකාවෙ ඉඳහිට බටහිරට ඔළුව දැමීමට යම් ප්‍රමාණයකට
විරුද්ධ ආණ්ඩු පත්වෙනවා. එවිට බටහිරයන් ඒ ආණ්ඩු පෙරළීමට කටයුතු කරනවා. පනස්හයේ සිට
නොව ඊටත් ඉස්සර ඉඳන් මේ වැඩේ සිද්ධ වෙනවා. දහනවවැනි සියවස අග හා විසිවැනි සියවස
මුල මෙරට තිබුණෙ බටහිර ම ආණ්ඩු. ඒ ඉංගිරිසි ආණ්ඩු. ඒ ආණ්ඩු හා මිෂනාරීන් 1814
සිට මෙරට ඇති කළ අධ්‍යාපනයක් තිබුණා. එකී අධ්‍යාපනය විසින් තමයි සමස්තයක් ලෙස
ගත්තම පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් බිහි කෙරුණෙ.
රාජකීය විදුහල ඇති වුණෙ 1835 දි
කලම්බු ඇකඩමිය ලෙස. එදා සිට අද දක්වා මෙරට දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ ඒ පාසල
වටා. එහෙමත් නැත්තන් පඬි බසින් කියනව නම් ඒ පාසල කේන්ද්‍රීය කරගෙන. මෙරට මෑතක් වන
තුරු ප්‍රභූ නිර්ප්‍රභූ හා සාමාන්‍ය කියල මිනිසුන් වර්ග තුනක් හිටියා. ප්‍රභූන්
බොහෝ විට ප්‍රභූ පාසල් නීතිඥ වෛද්‍ය ආදී ප්‍රභූ වෘත්තීන් වටා හිටියෙ. 1886
ඇති කරන ලද ආනන්ද විදුහලත් ප්‍රභූ පාසලක්.
ඔවුන්ට ඕනෑ කෙළේ බෞද්ධ රාජකීය විදුහලක් වෙන්න.
ප්‍රභූ පාසල් නගරවල බිහි වුණා. ශාන්ත බෙනඩික්
විදුහල තමයි මෙරට පිහිටුවනු ලැබූ පළමු කතෝලික පාසල. එය 1865 පිහිටුවන ලද්දක්. ශාන්ත තෝමස් විදුහල
ඇරඹුනේ ඊට කලින් 1851 දී. එය ඈංග්ලිකන් ක්‍රිස්තියානි
පාසලක්. බොහෝ දෙනා නොදැන සිටියත් රාජකීය විදුහලත් ඇරඹුණෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි
පාසලක් ලෙස. 1814 දි රිච්මන්ඩ් විදුහල බිහිවුණෙ මෙතෝදිස්ත
පාසලක් ලෙස. ආනන්ද විදුහල බෞද්ධ රාජකීය, එනම් බෞද්ධ ආලේපයක් සහිත ක්‍රිස්තියානි
පාසලක් වීම පුදුමයක් නො වෙයි. ප්‍රභූ පාසල්වල මාධ්‍ය වුණෙ ඉංගිරිසි.
නිර්ප්‍රභූ පාසල් ද ඇති වුණා. ඒ පාසල් බොහොමයක්
ඇති කෙරුණෙ ක්‍රිස්තියානි නොවන්නන් විසින්. ක්‍රිස්තියානි නිර්ප්‍රභූ පාසල් ද
තිබුණා. ඒ සියලු පාසල් ප්‍රභූ පාසල් මෙන් ම සංස්කෘතියෙන් ක්‍රිස්තියානි. ඒ පාසල්වල
මාධ්‍ය වුණෙ සිංහල හරි දෙමළ හරි. බොහෝ වෙලාවට ප්‍රභූ පාසල්වල අධ්‍යාපනය සඳහා මුදල්
අය කෙරුණා. මුදල් අය කිරීම හා මාධ්‍ය අතර සම්බන්ධයක් තිබුණා. ඇතැම් ප්‍රභූ පාසල්
දක්‍ෂ ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ලබා දී ඔවුන් ප්‍රභූ ධාරාවට එකතු කර ගත්තා. කන්නන්ගර
නිදහස් අධ්‍යාපන ක්‍රමයේ අංග දෙකක් තිබුණා,
එකක් අධ්‍යාපනයට මුදල් අය නොකිරීම, අනෙක
මාධ්‍ය සිංහල හරි දෙමළ හරි කිරීම.
නිර්ප්‍රභූ පාසල්වලින් බිහි කෙරුණෙ බොහෝ විට
නිර්ප්‍රභූන්. එයට අමතර ව පාසල් නොගිය එහෙමත් නැත්නම් ඉතා ප්‍රාථමික අධ්‍යාපනයක්
පමණක් ලත් සාමාන්‍ය මිනිසුන් හිටියා. ඔවුන්ට එතරම් සමාජ අපේක්‍ෂා තිබුණෙ නැහැ.
එහෙත් නිර්ප්‍රභූන්ට සමාජ අපේක්‍ෂාවක් තිබුණා. ඒ ප්‍රභූ වෙන්න, අඩු
තරමෙන් තම දරුවන් ප්‍රභූන් කරන්න. අධ්‍යාපනය පළල් වීමත් සමග සාමාන්‍ය මිනිසුන්
මුළුමනින් ම නොවූවත් නැති වුණා. අද ඉන්නෙ ප්‍රභූන් හා ප්‍රභූ වීමට කැසකවන නිර්ප්‍රභූන්.
රාජකීය විදුහල මෙරට අනුකාරකත්වයේ ප්‍රධාන පාසල.
එය එංගලන්තයේ ඉංගිරිසි පබ්ලික් ස්කූල් නමින් හැඳින්වෙන පාසල් අනුකරණය කළා. එයට
ඇතැම් විට ලංකාවේ ඊට්න් පාසල කියාත් කියනවා. අනෙක් පාසල් මූලික වශයෙන් රාජකීය
ආකෘතිය අනුකරණය කළා. ආනන්ද නාලන්ද විදුහල්වල ඉගෙන ගත් ඇතැම් අය තම පුතුන් රාජකීය
විදුහලට යැවීමට උත්සාහ ගත්තා. එයට සමාන්තර ව මෙන් විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවල
ඇතැම් කථිකාචාර්යවරුන්ගේ දූ පුතුන් විශ්වවිද්‍යාලයේ දී ඉංගිරිසි විශේෂ උපාධි
පාඨමාලා හැදෑරුවා.
මේ ප්‍රභූ
නිරප්‍රභූ ගැටුම අද සමාජයේ ඔඩු දුවා ගොස් තියෙනවා. ගැටුමක් කිවුවත් එය නිර්ප්‍රභූන්
ප්‍රභූන් වීමට දරණ උත්සාහයක්. අද පාසල්වලට ඇතුළත් කිරීමේ දී බොරු ලිපින දෙන්නේ, පහේ
ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ විභාගයක් වී තියෙන්නේ උසස් පෙළ විභාගය තරගකාරී වී ඇත්තේ
උපකාරක (ටියුෂන්) පංති රට පුරා පැතිර ගොස් ඇත්තේ මේ ඊනියා ගැටුම නිසයි.
අද ඇති ඊනියා අරගලය මේ ගැටුම පදනම් කරගෙන
අත්ලන්තික් සාගරයෙන් බිහි කෙරුණු එකක්. අර බටහිරින් ඉර පෑයීමට යම් ප්‍රමාණයකට හරි
විරුද්ධ ආණ්ඩුවක් සංවිධානයක් පුද්ගලයෙක් ඇති වූ විට එය නැති කිරීමට බටහිරයන් ඔය ප්‍රභූන්
මෙන් ම නිර්ප්‍රභූන් ද අවස්ථාව අනුව යොදා ගන්නවා. ධර්මපාලතුමාට විරුද්ධ ව යොදා ගනු
ලැබුවේ ප්‍රභූන්. විජේවර්ධනලා මෙන් ම සේනානායකලා ද එහි දී යොදා ගැණුනා. පනස්හයේ
ආණ්ඩුවට විරුද්ධ ව ද ප්‍රභූන් යොදා ගැණුනා. එහි දී බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරුණේ
කා අතින් ද යන්නවත් එතුමා ද හැන්දෙන් ගෑරුප්පුවෙන් (පිහියෙන් ගෑරුප්පුවෙන් නොවෙයි)
කිරිබත් කෑ ප්‍රභූවරයකු යන්නවත් වැදගත් නැහැ. එතුමා විසින් නියෝජනය කෙරුණේ
බටහිරින් නිදහස් වීමට කැමැත්තක් දැක් වූ පිරිස් වීමයි වැදගත්. මැතිණියගේ ආණ්ඩු බිඳ වැටීම ගැන ද සිතන්න.
බටහිරයන් ඒ දෙදෙනාගේ දියණිය යොදා ගත් ආකාරයත් කල්පනාවට ගන්න.
දින පනස් දෙකේ ආණ්ඩුව බිහි වූ විට බටහිරයන් එය
කඩා බිඳ දැමීමට දැක් වූ උනන්දුව කෙතරම් ද? ඒ ආණ්ඩුව පරාජය වූ විට බටහිර
තානාපතිවරු රටවල් අතර සම්බන්ධතා ගැන ඇති වියනා සම්මුතිය සතපහකට මායිම් නොකර
පාර්ලිමේන්තුවේ ඔල්වරසන් හඬ පැතිරෙවුවා. ගෝඨාභය ගෙදර කොහොම වෙතත් සිංගප්පූරුවට
යැවුවේ පොදුවේ රාජපක්‍ෂලාට අකමැති බටහිරයන්. ඊනියා අරගලය අර ඊනියා නිර්ප්‍රභූන්
යොදා ගෙන කළ පරගලයක් (පර + අරගලය - පිට අයගේ අරගලය) පමණයි.
එහෙත් අද අවුලක් වෙලා. පරගලයේ නායකත්වය වෙනත්
පිරිසක් අරගෙන. රනිල් නීතිඥ සංගමය හා තවත් පිරිස් රාජපක්‍ෂලා යන තුරු ඊනියා
අරගලකරුවන්ට දරුවන්ට මෙන් සැලකුවා. රනිල් අරගලකරුවන් කියන්නන් රැක බලා ගැනීමට
රුවන් පත් කළා. ජනාධිපති මන්දිරයට කඩා වැදුණු විට නීතිඥ සංගමයට නීතිය මතක් වුණේ
නැහැ. දැන් රාජපක්‍ෂලා ගිහින්. රනිල්ට ඊනියා අරගලකරුවන් ෆැසිස්ට්වාදීන් වෙලා.
නීතිඥ සංගමය ඊනියා අරගලකරුවන් අගමැති කාර්යාලය අත්පත් කර ගැනීම ගැන කණස්සල්ලට පත්
වෙලා.
බටහිරයන් තම අරගලයේ (අපට පරගලයේ) නායකත්වය වෙන
අයට භාර දී ඉන්නේ නැහැ. අද පරගලය පරාජය කිරීමට ඩලස්ටවත් සජිත්ටවත් බැහැ. මහින්ද
යාපාට කොහොමටවත් බැහැ. තමන්ට ම තම අරගලය පරාජය කීරීමට සිුද වීම බටහිරයන්ට (හා
රනිල්ට) දෛවය කළ සරදමක්. මෙරට දේශපාලනය කැරකැවෙන්නේ රාජකීය විදුහල වටා!