Main Logo

Monday 4 July 2022

සිංහල බෞද්ධ විරෝධී තම්බයියලා

 

සිංහල බෞද්ධ විරෝධී තම්බයියලා

 

ඔබට ස්ටැන්ලි තම්බයියා මතක ඇති. දෙමළ ක්‍රිස්තියානි බැතිමතකු වූ ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූවා. එහෙත් ඔහු සමාජ විද්‍යාවට කළ එකතුවක්, සංකල්පයක් කතන්දරයක් (ප්‍රවාදයක්), නැහැ. සමාජ විද්‍යාව විද්‍යාවක් ද යන ප්‍රශ්නය වෙන ම තියනවා. බටහිර විද්‍යාවේ කතන්දර ගොඩ නැගීමට නම් යම් සංසිද්ධියකට අදාළ ඊනියා හේතු  එකකට සීමා කිරීමට හැකි වෙන්න ඕන. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ කතාව එයට හොඳ ම උදාහරණය. ජෛවීය විද්‍යාවන්හි සම්පරීක්‍ෂණවල දී කෙරෙන්නෙත් ඊනියා හේතු එකකට සීමා කිරීමයි. සමාජයීය විද්‍යාවන්හි මනෝ විශ්ලේෂණයෙහි එය කරන්න බැහැ. කාල් පොපර් මනෝ විශ්ලේෂණය හා මාක්ස්වාදය බටහිර විිද්‍යාවන් නොවේ යැයි කීවේ ඒ අසත්‍යකරණයට ලක් කිරීමට නොහැකි නිසා. මා මෙහි දී කියන්නේ වෙනත් කරුණක්. එහෙත් අසත්‍යකරණයට ලක් කිරීමට නොහැකි වීමත් එක් අතකින් අදාළ සංසිද්ධියට ඊනියා හේතු ගණනාවක් තිබීම නිසා සිදුවන්නක්.

 

තම්බයියා පෙන්වීමට උත්සාහ කෙළේ  දෙමළ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හමුදාව යෙදවීම බුදුදහමට එකඟ නැති බවයි. ඔහු එය බුදුදහම පාවාදීමක් ලෙස හැඳින්නුවා. ඔහු නොදැන සිටි දේ බොහෝමයි. බුදුදහම හා විවිධ බෞද්ධ සංස්කෘතීන් අතර ඇති වෙනස්කම් ඒ සමාජ විද්‍යාඥයා දැන සිටියේ නැහැ. අනෙක් පැත්තෙන් ඔහු කිවුවේ යුද්ධ කිරීම හරි හමුදා මෙහෙයුම් හරි ක්‍රිස්තියානි දහමට එකඟ ය යන්නයි. සමහර විට ඔහු ඉස්ලාම් දහමත් හින්දු දහමත් යුද්ධයට විරුද්ධ නැති බවත් ආධ්‍යාරයෙන් කියන්න ඇති.  

 

අප ඒ දිනවල ම තම්බයියාට පිළිතුරු දුන්නා. සිංහල බෞද්ධයන්ට (ඒ ව්‍යවහාරය එකල නැති වුණත්) යුද්ධ කිරීම අකැප නොවේ යැයි ඉගැන්නුවේ ගැමුණු රජු. අපේ ඉතිහාසයේ එවැනි රජවරු යුද්ධ නොකර සිටියා නම් අද රාජ්‍ය නොවන පඬි නැට්ටන්ට හා වමාලාට හා තවත් අයට කරන්න දෙයක් නැති වෙනවා. බුදුදහම අනුව මිනිස් ඝාතනය නොව සත්ව ඝාතනය වැරදියි. එහෙත් බෞද්ධ සංස්කෘතීන්වල යුද්ධය අකැප නැහැ. මා හිතන්නේ ථෙරපුත්තාභය හාමුදුරුවන් එයට හොඳ ම උදාහරණය කියා. උන්වහන්සේ භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස යුද්ධ කෙළේ නැහැ. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියේ අයකු ලෙස යුද්ධ කළා.

 

එසේ සිංහල බෞද්ධ රජවරු යුද්ධ නොකළා නම් අද සංකේතාත්මක ව හරි  සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. එසේ වූවා නම් දැන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව ලියන්න පඬි නැට්ටන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එසේ ලියා ඊනියා වීරයන් වීමට ඉඩක් ලැබෙන්නෙත් නැහැ. ඒ අතින් බැලූ කල ඒ රජවරු පඬි නැට්ටන්ට කර ඇත්තේ සේවයක්. තම්බයියාට විරුද්ධ ව සිංහල ජාතිකවාදීන් කටයුතු නොකළා නම් කොටි පරදවන්න බැරි සංවිධානයක් ය යන මතය තහවුරු වීමට ඉඩ දුන්නා නම් අද ඔය මොන පුරසාරම් දෙඩුවත් ඕස්ත්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලංකාවට එන්නේ නැහැ.

 

තම්බයියාලා සිංහල බෞද්ධ සංස්කෘතිය හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් අකර්මණ්‍ය කිරීමට උත්සාහ කර පරාජය වුණා. අද ඔවුන් වැනී ම පඬි නැට්ටන් මෙරට හැම ප්‍රශ්නයකට ම හේතුව සිංහල බෞද්ධ සංස්කෘතිය බව කීමට උත්සාහ කරනවා. අද ආර්ථික අර්බුදයට හේතුව සිංහල බෞද්ධ සංස්කෘතිය නොව සිංහලයන් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත් වීමයි. එය ක්‍රම ක්‍රමයෙන් සිදු වූවක්. අනුරාධපුරයේ මුල් යුගයේ තිබූ සරල පෙෘඪ සංස්කෘතිය ධාතුසේන රජුගෙන් පසු වෙනස් වෙන්න පටන් ගත්තා. ධාතුසේන රජු මෞර්ය සම්භවයක් ඇති අයකුගේ පුතෙක්. ඒ පියා මෙරටට භාරතයෙන් පැමිණි අයෙක්. ධාතුසේන රජු මෞර්ය වන්නේ මෞර්ය රජවරුන්ට තිබූ සම්බන්ධය නිසයි.

 

ඉන්පසු වෛදික හා හින්දු බලපෑම් පොළොන්නරු යුගයේ දීි ඇති වූවා. මැලේ බලපෑම් ද ඇති වී තිබෙනවා. පසු කලෙක පෘතුගීසි ලන්දේසි බලපෑම් ද ඇති වුණා.එහෙත් මේ සියල්ලට ම වඩා බලපෑමක් ඇති වූයේ ඉංගිරිසින්ගෙන්. විශේෂයෙන් ම ක්‍රිස්තියානි අධ්‍යාපනය මගින්. අද අප සංකේතාත්මක බෞද්ධයන්. අප හරයෙන් ක්‍රිස්තියානි සංස්කෘතියක ජීවත් වන්නෙ. අපට අද සාමුහිකත්වයක් නැහැ. පෞද්ගලිකත්වය තරගය අනෙකා පරයා යෑමට ඇුති ආශාව, අධිපරිභෝජනය, විලාසිතා (බොරු ෂෝක්) බොරු උගත්කම් අද සමාජයේ අංග බවට පත් වෙලා.

 

වාර්ෂික ඒක පුද්ගල ඛනිජ පරිභෝජනය අතින් ලංකාව ඉන්දියාව පකිස්ථානය ඇතුළු දකුණු ආසියාතික රටවල් පරදවනවා. ඉන්දියාවේ බංග්ලාදේශයේ පකිස්ථානයේ නේපාලයේ හා  ලංකාවේ එය පිළිවෙලින් ලීටර් 194.5, 41.6, 158.6, 91.6, 350.5ක් වෙනවා. අපට අද තෙල් පෝලිම්වල ඉන්න සිදු වී තිබීම පුදුමයක් නො වෙයි. අද අප ඊනියා දියුණුවක් පසුපස හඹා යනවා. වත්මන් ලෝකයේ දියුණුව කියන්නේ බලශක්ති වැඩි වැඩියෙන් ප්‍රයෝජනයට ගැනීම. අප බලශක්ති ප්‍රයෝජනයට ගන්නේ මූලික වශයෙන් ඊනියා සංවර්ධනයක් සඳහාවත් නො වෙයි. පෞද්ගලික අනවශ්‍යතා සඳහා කියන්න පුළුවන්. පෞද්ගලිකත්වය ක්‍රිස්තියානි නූතනත්වයේ සංකල්පයක්. අපේ කසිකබල් අධ්‍යාපනය මගින් අප සංස්කෘතික ව ක්‍රිස්තියානි කරලා.

 

අද අර්බුදයට හේතුව අප සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත් කිරීම වුවත් බටහිර තකතීරු අධ්‍යාපනයෙන් බිහි වී ඇති පඬි නැට්ටන් හා අනෙක් අය බටහිරයන්ගේ අවශ්‍යතාව වූ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම සඳහා අර්බුදයට හේතුව සිංහල බෞද්ධ සංස්කෘතිය බව කියනවා. බටහිරයන්ට රාජපක්‍ෂලා ඉවත් කිරීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඒ  මූලික වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ඔවුන්ට බ්‍රවුන්රිග් කාලයේ සිට ම අභියෝගයක් වූ නිසා. වත්මනෙහි  පෙරදිග රටක දී පරාජයේ රහබැලීමට බටහිරයන්ට සිදු වූයේ නන්දිකඩාල් හි දී. එය රාජපක්‍ෂලාගේ නායකත්වයෙන් කෙරුණක්.

 

රාජපක්‍ෂලා හොරකම් කරනවා කියමින් පිටරට ශ්‍රමිකයන් බැංකු හරහා මුදල් නොඑවා උන්ඩියල් හා වෙනත් ක්‍රමවලට මුදල් එවීමට පොළඹවා තියෙනවා. බැංකු හරහා එවන මුදල් රාජපක්‍ෂලා හරි වෙනත් කවුරුැන් හරි හොරකම් කරන්නේ කෙසේ ද කියා කිසිවකු කියන්නේ නැහැ. එහෙත් ප්‍රශ්නයක් තියෙනවා. උන්ඩියල් ක්‍රමයට එවන මුදල් නවතින්නේ කා ළඟ ද? ඔවුන් ඒ මුදල්වලින් කරන්නේ කුමක් ද? 

 

ආර්ථික අර්බුදය රාජපක්‍ෂලාගේ හොරකම් නිසා නොව අපේ වියදම ආදායමට වැඩි වීම නිසා සිදු වූවක්. ණයට කෑම බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංකල්පයක්. තම සංකල්ප ආකල්ප ආදිය නිසා ඇති වූ ආර්ථික අර්බුදයක් සිංහල බෞද්ධ සංස්කෘතිය මත පැටවීමට බටහිරයන් සමත් වී සිටින්නේ තමන් විසින් අප මත පටවන ලද තකතීරු අධ්‍යාපන ක්‍රමය යොදා ගනිමින්. අප ඉංගිරිසින් අනුකරණය කළත් මෙරට කළමනාකරණ පීඨ කිහිපයක් තිබුණත් අපට බටහිර ක්‍රමයට කළමනාකරනය බැහැ. බටහිරයන්ටත් දැන් දැන් කළමනාකරණය පිළිබඳ ප්‍රශ්න  ඇති කිරීමට රුසියාව සමත් වී සිටිනවා.

 

සිංහල බෞද්ධයන් යැයි කියා ගන්නා බොහෝ අය හරයෙන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ වුවත් ඇතැම් ක්‍රිස්තියානින් සිංහල බෞද්ධ ආකල්ප දරණ බව විවිධ හීනමාන සහිත පඬි නැට්ටන්ගේ පහන් සංවේගය සඳහා මෙහි ලා සඳහන් කළ යුතුයි.