Main Logo

Thursday 4 October 2018

දැනුමේ සාපේක්‍ෂත්වය


දැනුමේ සාපේක්‍ෂත්වය



ද්‍රව්‍යවාදීීන්ට හෙවත් භෞතිකවාදීන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි නිරීක්‍ෂකයන්ගෙන් (අසන්නන් බලන්නන් ආදීන්) තොරව ලෝකයක් පවතිනව කියලා පෙන්නන එක. අප දැන් කියන්නේ කිසිවක් පෙන්නන්න බැහැ කියලා. අපට, ඒ කියන්නෙ මිනිසුන්ට කරන්න පුළුවන් එකම දේ ඒ ඒ අය ඒ ඒ ප්‍රමාණවලට ඒත්තු ගන්නන එක පමණයි. මේ ඒත්තු ගැන්වීමේ විවිධ මට්ටම් තිබෙන නිසා තමයි වාදපිටිය වගේ වැඩ සටහන්වලට වගේ ම මුහුණු පොතටත් පැවැත්මක් තියෙන්නෙ. මිනිසුන් විවිධ මත දරන්නෙ. ලෝකයේ ද්‍රව්‍යවාදය විඥානවාදය කියලා දළ වශයෙන් දාර්ශනික මත දෙකක් තියෙන්නෙ. අප කියනවා සිංහල බෞද්ධයන් ද්‍රව්‍යවාදීවත් විඥානවාදීවත් නො වේය කියා. මාත් සිංහල බෞද්ධයෙක්.




ඒත් මෙතැනදීත් සිංහල බෞද්ධයන් අතරත් විවිධ මත තියෙනවා. බෞද්ධයන් සාමාන්‍යයෙන් පිළිගන්නවා මනස ප්‍රධානයි කියලා. මෙහි දී ප්‍රශ්නය වෙන්නෙ මනස පවතිනව ද නැද්ද කියන එක. මා කියන්නෙ සම්මුති අර්ථයකින් නො වෙයි. සම්මුති අර්ථයකින් මනස විතරක් නොවෙයි ද්‍රව්‍යත් පවතිනවා. එහෙත් මට තේරෙන සිංහල බෞද්ධ කමට මනසත් ද්‍රව්‍ය මෙන් ම මනසේ ම නිර්මාණයක්. මෙය සිදුවන්නෙ රේඛීය චින්තනයක නොව චක්‍රීය චින්තනයක.



මනස මනසේ ම නිර්මාණයක් කියන එක මා ගන්නෙ කාන්ට්ගෙන් නො වෙයි. කාන්ට් දෙවියන් වහන්සේ මවනු ලැබුයේ දෙවියන් වහන්සේ විසින් ම කියල කියන්නෙ රේඛීය චින්තනයෙ. ඒත් කාන්ට් කියන්නෙ නැහැ යක්‍ෂයා මැව්වෙ කවුද කියලා. ඒ මදිවට කාන්ට්ට කවුරුන්වත් මැව්වෙ නැති කාලය අවකාශය වගේ ඊනියා ප්‍රාගානුභූත (a priori) දේත් තියෙනවා. බටහිර දර්ශනයට යක්‍ෂයා වැහිලා.

 

ද්‍රව්‍යවාදීන් ඒත්තු ගැන්නිල්ලක් කියන්නෙ නැහැ. ඔවුන් සාධනය (ඔප්පු) කරන්න දඟලනවා නිරීක්‍ෂකයාගෙන් තොරව ලෝකයක් (ඕන නම් විශ්වයක්) තියෙන බව. ඒ සඳහා ඔවුන්ගෙ ප්‍රධාන තර්ක දෙකක් තියෙනවා. ඔවුන් උපකල්පනය කරනවා තර්ක කියන්නෙත් නීික්‍ෂකයාගෙන් (අපි මේ වචනය වෙනුවට මිනිසුන්ගෙන් කියලා යොදමු ඒක හරි නැහැ කියලා පඬියකු කියන්න පුළුවන්. ඒකට කමක් නැහැ. පඬියන් නොවන අයට මිනිසුන් කිව්ව ම තේරුම් ගන්න ලේසියි) තොරව පවතින දේ කියලා. එහෙම උපකල්පනය කෙළෙ නැත්නම් ඔවුන්ගෙ ඊනියා සාධනය එතන ම බිඳ වැටෙනවා. ඒත් මේ උපකල්පනයක් බව ඔවුන් නිකමටවත් මතක් කරන්නෙ නැහැ. සමහරවිට තර්කත් ප්‍රාගානුභූත ද දන්නෙ නැහැ. අපට නම් න්‍යායත් තර්කත් මිනිසුන්ගෙ නිර්මාණයක්. මේවා උද්ගමනයෙන් නිර්මාණය කරන දේ.



අර ප්‍රධාන තර්ක දෙක බොහෝ කාලෙක ඉඳන් තියෙනවා. මේ ළඟදිත් ඒ තර්ක දෙක අලුත් තර්ක දෙකක් හැටියට ගෙනල්ල. එහි කිසිම අලුත් බවක් නැහැ. පරණ තර්කමයි. හැබැයි අලුතෙන් නම් දාලා. ඒ නම් ටිකක් බරපතලයි. මේ දර්ශනය පැහැදිලි ව දර්ශනය වෙන්න ඕන නමුත් අමාරු වචන දාලා කලත්ත ගන්නවා. එතකොට වචන පමණක් කියව කියව ඉන්න පුළුවන්. දර්ශනය එතකොට දර්ශනය වන්නෙ නැහැ.



එයින් එක තර්කයක් පදනම් වෙන්නෙ මිනිසුන් ඇතිවෙන්න පෙර ලෝකය තිබුණාය කියන බටහිර විද්‍යා මතය උඩ. මේ ගැන විස්තරයක් විශ්වකර්ම කණ්ඩායමේ යූ ටියුබ් පටවල  තියෙනවා. එ අය ඒ කතා පේළියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ බටහිර විද්‍යා මතය කියවෙන්නෙ දෙවැන්නෙ දි. අවශ්‍ය නම් කෙනකුට පළමුවැන්න https://www.youtube.com/watch?v=H8kR5YqtJ9M සබැඳියෙන් ලබා ගන්න පුළුවන්. දෙවැන්න තවමත් එකතු කර නැහැ.



ද්‍රව්‍යවාදීන්ගෙ දෙවැනි තරකය ගොඩ නැගෙන්නේ බටහිර ගණිතය මත. ඉස්සර කාලෙක ඉඳන් මිනිසුන් අතර මතයක් තියෙනවා මිනිසුන් ඇතත් නැතත් ගණිතය තියෙනවා කියලා, ගණිතඥයන් කරන්නෙ මේ කොහොමටත් තියෙන ගණිතය හොයාගන්න එක කියලා. ගණිතය විතරක් නොවෙයි බටහිර විද්‍යාව ඇතුළු අනෙක් දැනුම් ගැනත් බටහිර විද්වතුන් කියන්නෙ එයයි. පහුගිය වසරවල ක්වොන්ටම් භෞතිකයෙ කෝපන්හේගන් විවරණයෙන් පස්සෙ මේ කතාව සාපේක්‍ෂ පැත්තට වෙනස් වන්න පටන් ගත්ත. එහෙත් එහි ආරම්භය කාන්ට් දක්වා ගෙනියන්න පුළුවන්.



ඔය පශ්චාත්නූතනවාදින් කියන අයත් දැනුමේ සාපේක්‍ෂ බවක් ගැන කතා කළා. එහෙත් ඔවුන්ට කරන්න පුළුවන් වුණේ සිංහල බෞද්ධ සාපේක්‍ෂතාව  අතපත ගාන්න පමණයි. මා කියන්නේ ඔවුන් සිංහල බෞද්ධ සාපේක්‍ෂතාව හැදෑරූ බවක් නො වෙයි. ඔවුන්ට එහි අහළකටවත් එන්න බැරි වුණා. එකල සිටි පශ්චාත්නූතනවාදීන් එක් අයකු දෙන්නකු මා හමුවන්නත් ආවා අප අදහස් අතින් ඈතක නොවන බවක් කියාගෙන. මා ඒ අනුකාරකයන් සතපහකට ගණන් ගත්තේ නැහැ. අද ඔවුනුත් පශ්චාත්නූතනවාදී නො වෙයි. ඔවුන් විවිධ කණ්ඩායම්වලට කැඩිලා. පශ්චාත්නූතනවාදය ලංකාවට හඳුන්වා දුන්නාය කියන අය අද බිල්ලන් දකිනවා. මංගල සමරවීර එකල ඔවුන්ට ආධාර කළා. චම්පකයි රතන හාමුදුරුවොයි මංගලට ආධාර කළා. මංගලට හිතුණොත් යමක් සිංහල බෞද්ධ විරෝධී කියලා ඔහු ඒකට ආධාර කරනවා. ඇතැම් ජාතිකවාදීන් ද මේ රැල්ලට ගහගෙන ගියා. අද ඔවුන් රැල්ලේ ම ආපහු ඇවිල්ල. අර කවුද කිව්ව වගේ මේ රැලිවලින් කරන්න පුළුවන් පස්ස පැත්ත හෝදා ගැනීම පමණයි. ඔය මුහුදු වෙරළ අසබඩ ජීවත්වන සමහර අය හැමදාමත් ඒක කරනවා.



ගණිතය කියන්නෙත් අනෙක් දැනුම් වගේ ම මිනිසුන්ගෙ නිර්මාණයක්. එය බොහො ම වියුක්තයි. බටහිර එයට වඩා වියුක්ත දැනුමකට තියෙන්නෙ රූපික න්‍යාය (formal logic) පමණයි. එය උසස් පෙළෙ ඇතැම් විෂය ධාරාවක උගන්වන තර්ක ශාස්ත්‍රයට වඩා බෙහෙවින් වියුක්තයි. උසස් පෙළට උගන්වන තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක විධික්‍රමය නිසා සිසුන් නොමග යැවීමක් පමණයි කෙරෙන්නෙ. ගණිතය තර්කය න්‍යාය මේ සියල්ල මිනිසුන්ගෙ නිර්මාණ. මිනිසුන්ගෙ නිර්මාණ නොවන කිසිම දැනුමක් ලෝකයේ නැහැ. එහෙම කියන එකත් මිනිසුන්ගෙ නිර්මාණයක්. නිවන කියන්නෙ දැනුමක් නොව දැනුමේ බොරුව සම්බෝධ කිරීමක්.



ගණිතය නිර්මාණයක් බව මා මේ ලිපිවලින් කියා තිබෙනවා. ස්වසිද්ධි හා අනුමාන නීති ගැන කියද්දි මා ඒ බව සඳහන් කර තියෙනවා. ඒක පිළිවෙළකට කියැවුණෙ නැති නිසා අපි හෙට හරි පස්සෙ දවසක හරි ඒ ගැන පිළිවෙළකට කතාකරමු. බොහෝ විට හෙට බැරි වෙයි. තුවක්කුව ගත් සැරයන්, පොලිස්පති, ත්‍රිත්ව විදුහල, කුමන්ත්‍රණ, වාසුදේව, රනිල් ඉවත් කිරීම, විස්ස හා ජනමත විචාරණය වගේ මාතෘකා බොහොමයක් තියෙනවා.