Main Logo

Thursday 18 October 2018

රෝ රෝ රෝ යුවර් බෝට්


රෝ රෝ රෝ යුවර් බෝට්



Row, row, row your boat, Gently down the stream. Merrily, merrily, merrily, merrily, Life is but a dream. මේ ඉතා ජනප්‍රිය ඉංගිරිසි ළමා ගීයක්. මෙහි තවත් ස්වරූප තියෙනවා. එහෙත් මුල් පද වෙනස් වෙන්නෙ නැහැ. ඉන් එකක් මෙසේයි. Row, row, row your boat, Gently down the stream. If you see a crocodile, Don't forget to scream. මෙහි රෝ කියන්නේ අප දැන් කතා කරන ඉන්දීය රෝ (RAW) සංවිධානය නොවෙයි. පැදීමක්, ඔරු පැදීමක් ගැනයි කියැවෙන්නෙ. නැහැ මේ කසිකබල් පඬියන් කියන කියවීම නො වෙයි. ඔවුන් දන්නෙ ඉංගිරිසි පොත්වල කෑලි හොයා ගෙන සිංහලෙන් කියවන්න. මේ ළමා ගීයේ දෙවැනි ස්වරූපයෙන් කියැවෙන්නේ ගඟ පහළට ඔබේ ඔරුව සන්සුන් ව පදින්න. කිඹුලකු දුටුවොත් මොර දෙන්න අමතක නොකරන්න. මේ කියන්නේ තළියෙහි කිඹුලන් දැකීමක් නොව ගඟේ කිඹුලන් දැකීමක්.




අද රෝ ඔත්තුකකරුවන් ගැන කියැවෙනවා. අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රෝ ඔත්තුකරුවකු ගැන කී බව බදාදා පුවත්පත්වල සඳහන් වුණා. එය චෙන්නායි මූලස්ථානය කරගත් හින්දු පත්‍රයෙහිත් පළ වුණා. ඒත් බදාදා ම අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේ (සංදර්ශනයේ) දී මාධ්‍ය  ප්‍රකාශක රාජිත කිව්වේ ජනාධිපති එහෙම කතාවක් නොකළ බවයි, ජනාධිපති – අගමැති ගැටුමක් නොවූ බවයි. තානාපතිවරු සිටින්නේ රට වෙනුවෙන් බොරු කීමට යැයි කතාවක් තියෙනවා. මාධ්‍ය ප්‍රකාශලා ඉන්නෙ මොකට ද? රාජිත බොරු කීවා කියා මා කියන්නේ නැහැ. ඔහු ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කර ඇති නිවේදනයක් කියෙව්වා පමණයි.



ඒ අතර වාර්තාවන අන්දමට ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක කියා ඇත්තේ ජනාධිපති රෝ සංවිධානය ගැන නොකී බවත් ඔත්තු සේවයක් ගැන නම් කී බවත්. රාජිත කියවපු නිවේදනයයි ශිරාල්ගෙ කතාවයි අතර වෙනසක් තියෙනවා.  කොහොමටත් දැන් සීරුවෙන් ඔරු පදින්න බැහැ. මේ කබරගොයා උගේ සූරතලී සොයා ඇදෙනවා දකින වෙලාවක් නොවෙයි. මාතර ගඟේ මිනී නොකන කිඹුලිගෙ පැටියා දැකපු වෙලාවකුත් නො වෙයි. කිඹුලා ම දුටු වෙලාවක්. නැලවිල්ලේ යන්න බැහැ. මර ලතෝනි දීම කෙසේ වෙතත් කෑ මොර ගහන්නවත් ඕන.



2015 අගෝස්තු මැතිවරණ කාලයේත් රෝ ඔත්තු සේවයේ කතාව ආවා. දැදුරු ඔයට තරමක් කිට්ටුවෙන් මා ඔරු නොපැද්දත් කිඹුලන් දුටුවා. ශිරාල් ඒ දිනවල කිඹුලකු තබා හූනකුවත් දකින්න නැති බව මට හුනා කියන්න වගේ කියන්න පුළුවන්. හූනයි කිඹුලයි සහෝදරයො කියනව නේ. රාජිත තවමත් මාක්ස්වාදී සහෝදරයකු ද දන්නෙ නැහැ. ඒත් රාජිත සහෝදරයාටත් ඒ දවස්වල කිඹුලන් දකින්න විධියක් තියෙන්න නැතුව ඇති.  ඔහු මර ලතෝනි දුන්න බවට ආරංචියක් නැහැ. මහින්ද නම් කිවුව තමා පරාජය කෙළෙ රෝ ඔත්තු සේවයෙන් කියලා. ඔහු මාතර ගඟේ ඔරු පදින්න ගියත් ජනතාව කියන මිනිස්සු ඒකට ඉඩ දුන්නෙ නැහැ. ඔහු ගෙන්දගම් පොළොවට එක්කන් ආවා. අපරාදෙ යසට ඉන්න තිබුණ මනුස්සයා.



දැන් කවුරුත් රෝ ගැන සීරුවෙන් කතා කරන්න පටන් අරන්. මට නම් එහෙම සීරු මාරුවක් නැහැ. මහින්ද පරාජය කෙළෙ රෝ ඔත්තු සේවය මැදිහත් වීමෙන් කියල මහින්ද කිවුව ම ඒකට විරුද්ධ වෙන්නෙ අහවල් දේකට ද? ඒත් අර යුග පෙරළි කාරයො ඒ දවස්වල පොත් ගහලා (පෙරළලා) කිවුව එක නම් නොවෙයි සිද්ධ වුණෙ. ඉන්දියාවට අවශ්‍ය වුණෙ මෛත්‍රිපාල යොදා ගන්න විතරයි. ඔවුන්ට ඕන වුණෙ රනිල් බලයට පත් කරන්න. රනිල්ට සම්ම ජාතියෙ ජනාධිපතිවරණයකින් දිනන්න බැරි හින්ද හැමදාමත් පොදු අපේක්‍ෂකයන් හොයනවා.



ටිකක් කල් මෛත්‍රිපාල රනිල් එක්ක ඔරු පැද්ද. නැහැ රනිල් ඔරුවෙ දාගෙන රනිල්ට ඕන තැනට ඔරුව පැදගෙන ගියා. දැන් කලක ඉඳන් මෛත්‍රිපාලට තේරිලා තමන් ඔරුව පදිනව විතරයි කියලා. මෛත්‍රිපාල කියනවා පැදලා පැදලා දෑත රිදෙනවා කියා. දැන් ඔරුව පෙරළන්න කාලෙ ඇවිත්. ඒකට මහින්ද ශක්තිය දෙන්න ඕන කිවුවම ඇතැමුන්ට කේන්ති ගියා. ඔරුව පෙරළලා අපි ගොඩ එන්න ඕන. රනිල් කිඹුලත් එක්ක ඕන එකක් කර ගත්තාවෙ.



අප කිඹුලා දකිනවා. අප මොර දෙන්නේ තවම බොහෝ දෙනා නෑසු කණින් නුදුටු ඇසින් ඉන්න නිසා. කිඹුල මෛත්‍රිපාලයි ගෝඨාභයයි කන්න ගිය කතාවක් ඇහෙනවා. ගෝඨාභය වෙන ඔරුවක ද? නැත්නම් පීනනවා ද? කිමිදෙනවා ද? නැගෙනහිරේ හිමිදිරියේ එළිය වැටෙන විට කිඹුල තවත් හොඳට පෙනෙයි.  ඒත් එළිය ගේන සමහර හුළුඅතු  කාරයන් ගැන නම් මට එතරම් විශ්වාසයක් නැහැ. ඔවුන් හුළුඅත්ත ගඟේ ඔබලා නිවන්න ඉඩ තියෙනවා.



ඉන්දියාව ලොකු රටක් තමයි. ඒත් අප ඉන්දියාවෙ පදවලට නටන්න ඕන නැහැ. මෑත කාලෙත් 2008 පමණ සිට අප ඉන්දියාවෙ පදේට නටනවා. නැටුවෙ නැති වුණා ම කිඹුල කනවා. මහින්දට වුණෙ ඒකයි. ඒ නැටුවෙ නැත්තෙ ඉන්දියාවට නටන්න උගන්නන්න ගිහිල්ල නොවෙයි සිංහලයන්ගෙ වෙන බෙර පද තිබුණ නිසා. ඉන්දියාව මෛත්‍රිපාලටත්  ඔරුව පදින්න කියලා බල කරාවි. අපට තවත් ඔරු තියෙනවා. රනිල්ට ඔරුව කරේ තියාගෙන යන්න කියමු. එයා කවදාවත් නිවන් දකින එකක් නැහැ. ඔරුව කර තියාගෙන ගිහිල්ල නිවන් දකින්න බැහැ.



අප එකතු වුණොත් ඉන්දියාවට අපට කිසි දෙයක් කරන්න බැහැ. ඔය 2008 -2009 ට්‍රොයිකා ලොක්කකු තමයි මේ හුඟක් අවුල්වලට මුල. අපට තවත් ට්‍රොයිකා ඕන නැහැ.  සිරිසේන විරෝධය දිගින් දිගට ම ගෙන යෑමෙන් සිදුවන්නෙ කිඹුලට බිලි වීම පමණයි.