Main Logo

Friday 12 October 2018

පොලිස් වික්‍රම


පොලිස් වික්‍රම



දුමින්ද සිල්වාට දුන් මරණීය දණ්ඩනය තහවුරු වෙලා. බොහෝ දෙනා සිතා සිටියේ ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඔහු නිදහස් වේ ය කියා. සමහරු ඩීල් ගැනත් කතා කළා.  නීතිපති දෙපාර්තමේන්තුව නඩුව අත්හැරිය වගේ හැඟීමක් සමහරුනට ආවා. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණය දුමින්දගේ අභියානය ප්‍රතික්‍ෂෙප කළා. ඒ කියන්නෙ අධිකරණයට ඒත්තු ගියේ දුමින්ද වරදකරුවකු බවයි. අධිකරණය තීන්දු ගන්නේ තමන්ට ඉදිරිපත් වෙන කරුණු සලකා බැලීමෙන් පමණයි. ජනමාධ්‍යයෙ පළවන පුවත් අධිකරණයට වැදගත් නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව හා පොලීසිය කලින් අධිකරණයට ඒත්තු ගන්වල තිබුණෙ දුමින්ද වරදකරුවා බව. විත්තියට එය බිඳින්න බැරි වුණා.




කිසිම නඩුවක නීතිපති දෙපාර්තමේන්තුවට හරි පොලීසියට හරි අවශ්‍ය වුණත් තමන් කලින් ඉදිරිපත් කළ කරුණුවලින බැහැර වන එක ලෙහෙසි නැහැ. අධිකරණය යම් සිමාවන් තුළ ඉදිරිපත් කෙරෙන කරුණුවල සංගතබව පරීක්‍ෂා කරනවා. එය රූපික න්‍යායෙහි (formal logic)  හෝ ගණිතයෙහි හෝ තරමට දැඩි නොවූවත් යම් සීමා ඇතුව සංගත වීම අපේක්‍ෂා කරනවා. මා මෙයින් කියන්නේ අධිකරණය වාස්තවික ය යන්න නොවෙයි. විනිසුරුවන් පවත්නා නීතියෙන් බැඳිලා. අධිකරණය තීන්දු දෙන්නෙ පවත්නා නීතියට සාපේක්‍ෂව ඉදිරිපත් කෙරෙන කරුණු අනුවයි.



අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නෙ පොලීිසිය  නීතිපති දෙපාර්තමේන්තුව. අධිකරණයට යන්න කලින් පොලීසිය නීතිපති දෙපාර්තමේන්තුව යම් නිගමනවලට එළඹෙනවා. ඒ අනුව කරුණු ඉදිරිපත් කෙරෙනවා. අධිකරණයට තියෙන්නෙ පවත්නා නීතියට අනුව ඒ කරුණු කිරා බැලීමයි. අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නෙ අධිකරණය නො වෙයි. පොලීසිය නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නත් පුළුවන්, කරුණු වහන්නත් පුළුවන්. පොලීසිය නීතිපති දෙපාර්තමේන්තුව ගැන අපට කෙතරම් විශ්වාසයක් තියන්න පුළුවන් ද? දේශපාලනඥයන් පාතාල නායකයන් පමණක් නොවෙයි නීතිඥයන් ද පොලීසිය සමග ගණුදෙනු කරනවා. මේ කියන දේ පොලීසියේ නීතිපති දෙපාර්තමේන්තුවේ සියලු දෙනාට පොදුය කියා හිතන්න එපා.



පොලීසියෙන් සාක්‍ෂි භාණ්ඩ අතුරුදහන්වීම්, වෙනත් භාණ්ඩ ආදේශ කිරීම්, සාක්‍ෂි වෙනස් කිරීම් ගැන බොහෝ කාලෙක ඉඳන් කතා කෙරෙනවා. ඇතැම් නීතිඥයන් නඩු දිනුවෙ ඒ විධියට කියල සමහරු කිව්ව. අප දැනගත යුතු කරුණක් නම් අධිකරණ පද්ධතියෙ විශාල කොටසක් අධිකරණයෙන් පිටත තියෙන බව. අධිකරණය ම නොවන අධිකරණයක් කියල කිව්වත් කමක් නැහැ. අර ඇස් බැඳලා තියෙන නීතියේ දෙවඟනගෙ ද කාගෙ ද තරාදියට එක එක්කෙන ඇවිත් එක එක දේ එකතු කරනවා, අඩු කරනවා. ඇස් බැඳලා තියෙන නිසා ඇය ඒ කිසිවක් දන්නෙ නැහැ.    



පහුගිය දවස්වල තෙබුවන පොලිස් සැරයන්ගේ සිද්ධියට විශාල ප්‍රචාරයක් ලැබුණා. ඔහු ගිනි අවියක් ඇතැතිව පොලිස් නීතියට පටහැණි යමක් හන්දියේ දි කළ බව පෙනී ගියා. ඒ සඳහා පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ වාර්තා අනුව අධිකරණය ඔහු රක්‍ෂණ බන්ධනාගාරගත කළා. දැන් ඔහු ඇප මත නිදහස් කෙරිලා. ඊට කලින් බොදුබල සේනාවේ ඥානසාර හිමියන් නඩුවක සාක්‍ෂිකරුවන්ට තර්ජනය කෙළේ ය  යන චෝදනාවට වරදකරු වුණා. උන්වහන්සේට දඬුවම් කෙරුණා. එහෙත් විජයකලා කොටි සංවිධානය අවශ්‍ය යැයි කීමෙන් පසුවත් දින ගණනක් නිදැල්ලේ හිටියා. පසුව පොලීසිය ඇයට විරුද්ධව චෝදනා ගොනු කළා. අධිකරණය ඇය රක්‍ෂණ බන්ධනාගාරගත කළ නමුත් සුළු කාලයක දී ඇප මත නිදහස් කෙරුවා. එයට කලින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රත් එලෙස ම ඇප මත නිදහස් කෙරුණා.



තෙබුවන පොලිස් සැරයන් අවියක් අතැතිව හැසූරුණු අන්දම ගැන පොලීසියට ප්‍රශ්නයක් ඇති. එහෙත් ඔහු නගන චෝදනාව බැහැර කළ හැකි ද? අදාළ ලොරියට බලපත්‍රයක් තිබුණ ද? ඒ කියන දින මධ්‍යම රාත්‍රියෙන් පසු ඒ බලපත්‍රය වලංගු නැද්ද? ලොරියේ රියැදුරාට රියැදුරු බලපත්‍රයක් තිබුණේ ද? මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ කවු ද? පොලීසියයි. පොලීසිය ඒ චෝදනා බැහැර කරන්නේ නම් අදාළ පුද්ගලයන් උසාවියට ඉදිරිපත් නොකරන්නේ නම් කළ හැක්කේ කුමක් ද? සැරයන් කියන කතාව නිවැරදි ද ඉහළ නිලධාරීන් කියන කතාව නිවැරදි ද කියා අප දන්නේ නැහැ. අප එය දැන ගන්නේ කෙසේ ද? සැරයන්ට පොලිස් මූලස්ථානයට පැමිණිළි කළ හැකි ද? එසේ කළත් පමිණිල්ලට කුමක් වේවි ද?



අර්ජූන අලෝෂියස් රක්‍ෂණ බන්ධනාගාරයේ. එහෙත් ඔහුගේ මාමා මහේන්ද්‍රන් ඉන්න තැනක් පොලීසිය දන්නේ නැහැ. පොලීසියේ නොදන්නා බව අප පිළිගත යුතු ද? නොපිළිගත්තත් අපට කළ හැක්කේ කුමක් ද? මෙය අප සියල්ලන්ට ම බලපාන ප්‍රශ්නයක්. මහා බැංකුව කාගේවත් පෞද්ගලික දේපොළක් නො වෙයි. එහෙත් පරමාධිපත්‍යයෙහි අධිකරණ බලතල ඇති ජනතාවට මෙහි දී කළ හැකි දෙයක් නැහැ. පොලීසිය මහේන්ද්‍රන් ඉන්න තැන දන්නෙ නැත්නම් අපට කරන්න පුළුවන් දේ මොකක් ද? 



රටේ ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීමට තැත් කිරීමේ කුමන්ත්‍රණයක් ගැන කතා පැතිරෙනවා. උසස් පොලිස් නිලධාරියකුගේ හා පොලිස් ඔත්තුරුවකුගේ  නම් සඳහන් වෙනවා. එහෙත් කිසිවකු අත්අඩංගුවට ගැනෙන්නේ නැහැ. ඒ නීිතියෙහි ප්‍රශ්නයක් ද?  ඒ අතර මහාසෝන් බලකායක් ගැන ඩෑන් ප්‍රියසාද් නමැත්තකු ගැන කියැවෙනවා. ප්‍රියසාද් ගනුදෙනු කෙළෙ කවර ඇමතිවරුන් සමග ද? මේ ගැන කෙරෙන පරික්‍ෂණය කුමක් ද? අප කොටස් වශයෙන් විකාශය වන ටෙලි නාට්‍යයක් නරඹනවා. ටෙලි නාට්‍යවල වගේ ම පිටපත දිනෙන් දින ලියනවා, වෙනස් කරනවා.



මේ කතාවේ පොලිස්පතිට තමා මහනුවර සේවය කළ කාලයේ ලැබුණු රුපියල් දොළොස් ලක්‍ෂයක් ගැන කියනවා. බොහෝ දෙනෙකු ඒ ගැන කතා කරනවා. ඒ මුදල් ත්‍රිත්ව විදුහලේ හිටපු විදුහලපතිගෙන් ලැබුණක් කියා කියනවා. ඒ අතර ත්‍රිත්ව විද්‍යාල ගිණුමට බැර කළ රුපියල්  විසි කෝටියක් ගැන කියැවෙනවා. ඒ හිටපු විදුහල්පති නැගෙනහිර පළාතේ කොටි සමග සම්බන්ධකම් පැවැත් වූ බවත් හිටපු ජනාධිපති ඝාතන සැලැස්මක් ගැනත් කියැවෙනවා. ඒ චෝදනා  එදත් යට ගිහින් අදත් යට ගිහින්. එදා පරීක්‍ෂණ පැවැත්වුණා ද? අද පැවැත්වෙනවා ද?  රුපියල් දොළොස් ලක්‍ෂය ගැන කතා කරන ගමන් විසි කෝටිය ගැනත් කතා කළොත් නරක ද?



පොලිස්පති නුවර පෙරහැරේ නැටීම පොලීසියට වඩා සිංහල බෞද්ධ සංස්කෘතියට කරන ලද අපහාසයක්. නුවර පෙරහැරේ නැටීම කියන එක බොහොම ගර්වයෙන් සැලකෙන්නක්. ඕනෑම අයකුට පෙරහැරෙ නටන්න බැහැ.  මින් පසු එක එකා පෙරහැර යන විට අඩව් අල්ලන්න ගියොත් නුවර පෙරහැරේ වැදගත්කමට මොක ද වෙන්නෙ. පොලිස්පති පාසල් යන කාලෙත් පංතියේ නැටුවා කියා බේරෙන්න බැහැ. පොලිස්පති පාසලක පෙරහැරක හැසිරෙන්න දන්නෙ නැද්ද?



මට මතක හැටියට අප කුඩා කළ සාජන්ට් පෙරේරාගේ වික්‍රම කියා ගුවන්විදුලි නාට්‍යයක් තිබුණා. පසුව පෙරේරාට උසස්වීමක් ලැබී ඉන්ස්පෙක්ටර් පෙරේරාගේ වික්‍රම වුණා. ඔහුට ඉන් එහාට උසස්වීම් ලැබුණෙ නැහැ. දැන් වෙනත් වික්‍රම තියෙනවා. ඩී අයි ජී පෙරේරාගේ වික්‍රම අයි ජී පෙරේරාගේ වික්‍රම ආදී වශයෙන්.