Main Logo

Friday, 5 October 2018

මා නොවන මම


මා නොවන මම



මේ කැළුම් ශ්‍රීමාලගේ වැඩ සටහන ගැන නො වෙයි. මා ඔහු හමු වී ඇතත් ඔහු කිසි වටෙක තම වැඩ සටහනට මා සහභාගි කරව ගන්න එකක් නැහැ. මට ගයන්න බැහැ. ඒත් ගී ගයන්න උගන්නන්න පුළුවන්. අර ඉංගිරිසි කියමනක් තියෙනවා Those who can do, those who can’t teach. මා එයට තවත් කොටසක් එකතු කළා Those who can’t teach instruct teachers  කියලා. මෙහි සරල සිංහල තේරුම තමයි. පුළුවන් එකා කරනවා, බැරි එකා උගන්නවා. උගන්නන්න බැරි එකා ගුරුවරුන්ට උපදෙස් දෙනවා කියලා. කැළුම් මා ඉන් එකකටවත් ගන්න එකක් නැහැ. ඊනියා ශාස්ත්‍රීය ලෝකයේ වැඩිය ඉන්නෙ දෙවැනි තුන්වැනි ගණයෙ අය. 



මේ කරුණ මා ගිය ඉරිදා සති අග අරුණ පත්තරේ නිකුත් කළ දවසෙ එහි  මහින්ද ඉලේපෙරුමට කිව්වා. මහින්දලා පුළුවන් නිසා ජනමාධ්‍ය කරනවා. බැරි අය ජනමාධ්‍යවේදය උගන්වනවා. ඒ ඉගෙන ගත් අයට නැවතත් අර වෙළෙඳ දැන්වීමක තියනවා වගේ  කරලා ම පුරුදු වෙන්න වෙනවා. මා ඒ පත්තරේ නිකුත් කළ දින එහි ගිය බව දැක්වෙන ඡායාරූප මුහුණු පොතේ සංසරණය වෙනවා. මා එහි ගියේ දිලිත් ජයවීරගේ ආරාධනයකින්. දිලිත් මා කොළඹ විශ්වවිද්‍යාලෙ උගන්වන කාලෙ එහි නීති පීඨ ශිෂ්‍යයෙක්. මාධව එහි විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙක්. අද ඔහොම හිටියට ඒ දවස්වල ශිෂ්‍ය ක්‍රියාකාරීන්. හැබැයි අර තකතීරු ජ වි පෙ අන්තරේටවත් සුවාදීන ශිෂ්‍ය සංගමයටවත් සම්බන්ධ නැහැ. විජිත් හිටියෙත් විද්‍යා පීඨයෙ. එදා ඒ තුන්දෙනා එක්ක ගත්ත ඡායාරූපයකුත් සංසරණය වෙනවා. ඒ එක්ක දිලිත් මට පත්තර පිළිගන්නපු ඡායාරූපයක් සහ තවත් ඡායාරූප සංසරණය වෙනවා. මුහුණු පොතේ පඬි පෝතකයන් මේ ඡායාරූප ප්‍රචාරය කරන්නෙ මට ඇති සෙනෙහසකට  නො වෙයි. එක් අයකු කියා තිබුණා දෙකේ කොළේට වැටිල ඉන්න නාකියාට පොඩි ජොලියක් ගිහිල්ල කියලා. ඒකෙන් ම තේරෙනවා සිංහල බෞද්ධ විරෝධීන්ට මා කෙරෙහි ඇති වෛරය. සිංහල බෞද්ධ විරෝධී පඬියන්ට මා හිසරදයක්. ඔවුන් කැමතියි සමාජයට මගෙන් ඇති බලපෑම නවත්වන්න. ඔවුන් හිතනවා ඒ නැවතිලා කියා. එහෙත් අරුණෙන් ලැබුණු ආරාධනයෙන් ඔවුන්ට තම හිතළුව වැරදි බව තේරිලා. ඔවුන්ට කේන්ති ගිහින්. ඒ පඬි පෝතකයා කවදාවත් නාකි වෙන්නෙ නැතිව ඇති. මා නිතර ම වගේ ඉන්නෙ ජොලියෙන්. පඬි පෝතකයන් මගේ ඉන්ද්‍රිය පථයට ආව ම නම් කේන්ති යනවා.




අද දෙරණෙ 360 ඉන්න චාපා ඉස්සර රාවයෙ වැඩ කළ සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔහු මගෙන් දවසක් මා හිතන්නෙ ගෙදරදි ඇහුව ඇයි මගේ දරුවන් යුද්ධෙට යවන්නෙ නැත්තෙ කියලා. ඒ වගේ කසිකබල් ප්‍රශ්න අහන අය එදත් හිටියා. අදත් ඉන්නවා. එදා ඇහුව මගේ ළමයි රාජකීය විදුහලට යවන්නෙ මොක ද? මා අලුත් ජපන් කාරයකින් යන්නෙ මොක ද? ආදී වශයෙන්. අද අහනව මා අරුණ පත්තරේ නිකුත් වෙන එකට ගියේ මොක ද? මා හදවත් සැත්කමක් කර ගත්තෙ මොක ද? නාථ දෙවියන් මා සනීප කළෙ නැත් ද? මේ අයට ඕන කරන්නෙ මා වංක තක්කඩියකු කියලා පෙන්නන්නයි. චාපටත් එදා එහෙමයි. ඔහු අද වෙනස් වෙලා ද?. එහෙම නම් ඒ වෙනස වුණෙ කොහොම ද කියලා අප දන්නෙ නැහැ. මා නම් මාක්ස්වාදය අත්හරින වෙලාවෙ ඒ ගැන ලිපි ලියල තමයි එසේ කෙළේ. පස්සෙ පොඩි පොත් දෙකකුත් ලිව්වා. අවුරුදු විසිපහකට පස්සෙත් ඒවට උත්තර නැහැ. 



මගෙන් වෛරී කසිකබල් ප්‍රශ්න අහන අයට මා තරකානුකුල පිළිතුරු දිල නිකම් ඉන්නෙ නැහැ. වාග් ප්‍රහාරයකුත් එල්ල කරනවා. ඔවුන් ප්‍රචාරය දෙන්නෙ වාග් ප්‍රහාරයට පමණයි. මගේ ළමයින් ඉගෙන ගත්තෙ මොනව ද කියන එකටවත් කරන රස්සාව මොකක්ද කියන එකටවත් ඔවුන්ගේ දේශපාලනය ගැනවත් විවාහය ගැනවත් එතෙර යෑම ගැනවත් මා හා මගේ භාර්යාව මැදිහත් වෙලා නැහැ. අවශ්‍ය වුණොත් අප උපකාරයක් කළා විතරයි.  ඔවුන් එක් අයකුවත් ගණිතය භෞතික විද්‍යාව ඉතිහාසය දර්ශනය බුදුදහම දේශපාලනය ගැන හිත යොමු කෙළේ නැහැ.



මා පුතුන් රාජකීය විදුහලට යැව්වා. ඒක නම් මගේ තීරණයක්. අවුරුදු පහේ දි පමණ ඔවුන්ට ඒ ගැන තීරණයක් ගන්න බැහැ. මගේ ලොකු පුතා රාජකීය විදුහලට යවන්න ඉල්ලුම් පත් දාන දිනවල, 1979 දි, අප සිටියෙ මහනුවර වටපුළුවෙ. ලස්සන පළාත. අසළින් මහවැලිය ගලා බසිනවා. ඒත් පේරාදෙණියෙ වැඩ බැරි ගුරුවරු අපට එහෙ ඉන්න දුන්නෙ නැහැ.  අවුරුදු දෙකක් පමණ පේරාදෙණියෙන් මා ප්‍රතික්‍ෂෙප කරලා රැකියාවක් නැතිව ඉන්න විට ස්ටැන්ලි විජේසුන්දර මහතා නිසා 1979 දි මට කොළඹ විශ්වවිද්‍යාලෙ රැකියාවක් ලැබුණා. අප කොළඹ කිට්ටුවට එන්න තීරණය කරලා තිබුණෙ. මා නුවර ලිපිනයක් සහිත ව රාජකීය විදුහලට ඉල්ලුම් පතක් එව්වා. මට අවශ්‍ය නම් පාණදුරේ ලිපිනය සඳහන් කරන්න තිබුණා. මා එසේ කෙළේ නැහැ. මා විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් බව ඔවුන් දැන සිටියා. මේක තරමක කයිවාරුවක් තමයි. හැමෝට ම ඇත්ත කයිවාරු ගහන්නත් බැහැ නෙ. ඔවුන් පුතා විදුහලට ඇතුළත් කර ගත්තා. ඔවුන් මගෙන් ඇහුව එකම ප්‍රශ්නය පුතා පාසල් එවන්නෙ කොහේ ඉඳලා ද කියලා. මා පඬි පෝතකයන්ට ඒ විස්තරය කිව්වා. ඒත් ඔවුන් ඒ පිළිතුරෙන් සැහීමට පත් වුණෙ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණා පුතා වෙනත් පාසලකට යැව්වෙ නැත්තෙ මොක ද කියලා දැනගන්න. මෙරට පාසල් සියල්ල අනුකාරක පාසල්. රාජකීය විදුහල තමයි එංගලන්තෙ ප්‍රභූ පාසල් අනුකරණය කළ ප්‍රධාන පාසල. අනෙක් පාසල් රාජකීය විදුහල අනුකරණය කරනවා. මා පුතා යවන්න ඕන අනුකාරක පාසල් අතරින් කී වැනි ගණයේ පාසලකට ද? මා ඡන්දය දෙන්න ඕන නරක දේශපාලනඥයන් අතරින් කාට ද? ඡන්දය නොදී ඉන්නවා ද? චාපා නම් ඒ ප්‍රශ්න ඇහුවෙ නැහැ. මා පුතාලට යුද්ධෙට යන්න කිව්වෙවත් මහණ වෙන්න කිව්වෙවත් නැහැ.   



මා වයසින් නාකි තමයි. තව ටික කලකින් මා මිය යාවි. එහෙත් මා ක්‍රියාවෙන් නොහැකි අයකු නො වෙයි. තවමත් මට හැම දෙයක් ම වගේ පුළුවන්. මා හිතනවා මගේ නිර්මාණශීලීත්වය නම් දිනෙන් දින වැඩි වෙනවා කියලා. ඒ වුණත් දිලිත් මට අරුණ පත්තරේට ලියන්න ආරාධනා කරන එකක් නැහැ. ඒ නිර්මාණශීලීත්වය  වැඩිකම හින්ද වෙන්න පුළුවන්. එක් පඬියකු කියලා තිබුණ පත්තරේ නිකුත් වීමට යෑම නලින් ද සිල්වාගෙ නොවන නලින් ද සිල්වාගේ ම දේශපාලනය කියලා. ඔහු නොදැනීම ඇත්තක් කියල තිබුණ. මේ රටේ මගේ නොවන මගේ ම දේශපාලනයක් ක්‍රියාත්මක වෙනවා. මේ පඬියන්ටත් චතුස්කෝටික ප්‍රකාශ කරන්න වෙලා. මා සමාජයෙන් පිටස්තර ව ඉන්න එක්ක ඇත්ත. එහෙත් සමාජයට මගෙන් යම් බලපෑමක් වෙනවා.



මේ රටට මගේ බලපෑම ගැන මා කියන්න යන්නෙ නැහැ. ඒක මගේ වැඩක් නො වෙයි. දවසක අරුණ පත්තෙරේ ඒ ගැන කියාවි. ඒත් මා දන්නවා පඬියන්ටත් තරමක් හරි වෙනස් වෙන්න වෙලා කියලා. අද මහින්ද හා මෛත්‍රිපාල එකතු කර රනිල් ඉවත් කිරීම  වෙනුවෙන් මා ලියනවා.ඒ හෙට සඳහා නො වෙයි. අද මහින්ද හා මෛත්‍රිපාල නිසා මහින්ද හා මෛත්‍රිපාල එකතු කරන එක තරමක් අපහසුයි. මා හිතන්නෙ අපි වෙනුවෙන් අපි කියන පාඨය දිලිත්ලගෙ නිර්මාණයක්. අද මෛත්‍රිපාල හා මහින්ද අපිට එරෙහිව අපි කිය කියා යනවා. මේ ප්‍රකාශ දෙක ම චතුස්කෝටිකයෙන් ගලා එන්නෙ. කැළුම්ටත් උත්තේජනයක් සපයලා තියෙන්නෙ චතුස්කෝටික ය. ඝරසර්ප කළුකුමාරයාත් චතුස්කෝටික වචනක්. මා ලියූ ඝරසර්ප කියවන්න. අද මිනිසුන් අවුරුදු පන්සියක පමණ බල පෑ බටහිර ද්විකෝටිකයෙන් නැවතත් ඈත් වෙන්න හදනවා. ඒකත් දේශපාලනයක්. අපේ පැරැන්නන් හිටියෙ චතුස්කෝටිකයෙ. මගේ නොවන මගේ ම දේශපාලනය ඒ වෙනසට පමණක් සීමා වෙලා නැහැ.



අද දෙමළ කතාකරන නිළියන් පඬියන්ට ටොකු අනිනවා. එක් අයකුට ඉනියවන් නිපදවලා නියවන් ඉන්න වෙලා. ඔවුන් කිසිවකු ජූඩ් රත්නම් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. නාමික ව මෙකක් හරි කියල ජාම බේර ගන්නවා. තවමත් මේ පඬියන්ට දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය (ප්‍රශ්නය) කියන්න බැහැ. ඔවුන් දෙමළ කතාකරන ජනයාට වඩා දෙමළ වෙන්න හදනවා. ඒකෙන් ම පේනවා ව්‍යාජය. මේ පඬියන්ට ඇත්තේ හීනමානයක් නිසා සිංහල බෞද්ධ සමාජයට වෛර කිරීමක්. අපි එය පසුව විස්තර කරමු. ඔවුන් සිංහල සමාජයෙන් පළිගන්නත්  පුහු පොරවල් වීමටත් දෙමළ ජාතිවාදයට උපකාර කරනවා. හොඳයි අපි අහමු ඔවුන්ට ඔපමණ වේදනාවක් තියෙනවා නම් කුලියට චිත්‍රපටි නිපදවන්නෙ නැතිව බයිලා කියන්නෙ නැතිව දෙමළ කතා කරන ජනයා වෙනුවෙන්  කර ඇත්තේ කුමක් ද කියා. මේ පඬියන්ගෙන් රටට වෙලා තියෙන බලපෑම කුමක් ද?  මංගල ඔවුන් සමහරකුට ඉස්සර ආධාර කළා. සමහරුන්ට තවමත් ආධාර කරනවා වෙන්න පුළුවන්. දේශපාලන අනාගතයක් නැති මංගලට ඔවුන් ගලවා ගන්න බැහැ.



දිලිත් හා මාධව මට අරුණෙ තියා දෙරණෙවත් ඉඩක් දෙන්නෙ නැහැ. ඔවුන්ගේ දේශපාලනය මගේ දේශපාලනයෙන් වෙනස්. ඉස්මයිල්වත් ඉලේපෙරුමවත් ජාතිකවාදීන් නො වෙයි. ජනමාධ්‍ය කියන්නෙ හොඳ තැනක් නොවන බව මා දන්නවා. පඬියන් පඬි පෝතකයන් බයිලා කියන ඊනියා සමාජයීය මාධ්‍ය හොඳ තැනක් ද? මගේ නොවන මගේ ම දේශපාලනයක් මෙරට ක්‍රියාත්මක වෙනවා. දිලිත්ට පමණක් නොව පඬියන්ටත් ඉන් ගැලවෙන්න බැහැ. ඒ අතර තවත් දේශපාලන ක්‍රියාත්මක වෙනවා.



ඒ දවස්වල අලුත් ජපන් කාරෙක දැන් පරණයි මට ඒකෙ අයිතියවත් නැහැ. අපට දැන් ජපන් තියා ඉන්දියන්වත් අලුත් තියා පරණවත් වාහනයක් අයිති නැහැ. මා සැත්කමක් කර ගත්ත එක්ක ඇත්ත. ඒ දිනවල මා රැක බලා ගත්ත වෛදවරුන් වරියන් අතර විජිත්ගේ භාර්යාවත් සිටියා. ඒ සියල්ලන්ට ම පින්! අප බටහිර දැනුම සම්පුර්ණයෙන් ම ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. අප විරුද්ධ වන්නේ එහි ආධිපත්‍යයට, එයට දීන ලෙස යටවීමට හා යටවෙන අනුකාරකයන්ට. බටහිර දැනුම අප ප්‍රතික්‍ෂෙප කරනවා නම් මට මේ ලිපිය ලියා කාලය වෙබ් අඩවියට එකතු කරන්න බැහැ. අප බටහිර දැනුමත් අපට ඕන විධියට යොදා ගන්නවා එහි ආධිපත්‍යයට විරුද්ධව වැඩ කරන්න. මා පළමු හෘදයාබාධය වැළඳුණු වෙලාවෙ ගියෙ නාථ දෙවියන් ළඟට. මා එහි දී පැය ගණනකින් සුවපත් වූවා. මා හෘදයාබාධය වැළඳී ගියේ රාත්‍රියේ. පසුදින උදේ මා රැකියාවටත් ගියා. මෙවර ඒ වෙදකම ලබා ගැනීමට පහසුකම් තිබුණේ නැහැ.



කොළඹ විශ්වවිද්‍යාලයේ මා ගුරුවරයකු ලෙස ගතකල අවුරුදු දහතුනෙන් (මා වැඩි කාලයක් ගත කර ඇත්තේ එහි) අවසාන දහය තමයි මගේ ජීවිතයේ වැදගත් ම කාලය. තව අවුරුදු විස්සක් එහි හිටය නම් රටේ මිනිසුන් හිතන විධියෙ වෙනසක් වෙන්න තිබුණ. ඒ මගේ වැදගත් කාලය වුණාට සොඳුරු කාලය නොවෙයි. මගේ සොඳුරු කාලය  පාසලේ හා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසත් පේරාදෙණියේ ගුරුවරයකු ලෙසත් ගෙවුණා. දිලිත් මාධව විජිත් මට හමුවුණේ කොළඹ දී. ඔවුන් නරුමයන් නො වෙයි. එහි සිටි ඇතැම් සුවාදීනයන් දැන් මහින්දවාදීන් වෙලා. එහි නරුමයන් ද සිටියා. එකල ජාතිකවාදීන් වූ සමහරු අද රනිල්ගේ සේවකයන් වෙලා. එකල කොළඹ විශ්වවිද්‍යාලයේ ලොකු රතු අකුරින් ලියා තිබුණා ජාතික චින්තනය යනු අනුරාධපූයට බරකරත්තයෙන් යෑම කියලා. දිලිත්ලට මතක ඇති. ඒ තමයි සුවාදීනයන්ගේ දැන උගත්කම. දැන් අපට කාරයක් නැහැ. අනුරාධපුරයට යන්න නූනත් බක්කි කරත්තයක් ගන්න බලා ඉන්නවා. ඒ සඳහා මුහුණු පොතෙන් සිංහල බෞද්ධ විරෝධී නිරාගමික ගවයකු හොයනවා.