Main Logo

Monday 22 October 2018

නූතන හනුමන්තලා හා විභීෂණලා


නූතන හනුමන්තලා හා විභීෂණලා



මෝදි රාවණාට දුන්නෙන් විදින කොට රනිල් එතන හිටි බවක් වාර්තාවන්නෙ නැහැ. රාවණා ලංකාවේ හිටිය කියලා බොහෝ අය කියනවා. ඒක ඒත්තු ගන්වන විධියෙ සාක්‍ෂි තවම නැහැ. බටහිර පුරා විද්‍යාව අනුව කරන පර්යේෂණවලින් ඒ පිළිබඳ විස්තර ලබා ගැනීමෙන් යමක් කියන්න පුළුවන් වේ ද කියා මට සැකයක් තියෙනවා. ඒත් ලංකාවෙ ඊනියා උගතුන් දැන් බටහිර විද්‍යාව  අදහන නිසා බටහිර විද්‍යා සාක්‍ෂි තමයි ඉල්ලන්නෙ. මට නම් එහෙම රුදාවක් නැහැ. රාවණා ගැන ඔය පාෂාණ යුගය, නව පාෂාණ යුගය ආදී බටහිරයන් කියන යුග මගින් හදාරන්න බැහැ. බටහිරයන් ඔය  යුග හදාගෙන තියෙන්නෙ ඔවුන් විකාශය වූ අන්දම කියන්න. ලෝකෙ හැම තැනක ම ඒ විධියට ම මිනිසුන් විකාශය වෙන්න ඕනෙ නැහැ.




රාම රාවණ කතාව අවසාන වශයෙන් ගත්ත ම පූර්ව වෛදිකයන් හෙළයන් යටත් කිරීම ගැන කතාවක්. විභීෂණ හා හනුමන්තා නොවන්නට රාමට දිනන්න බැහැ. රනිල් අද ඉටු කරන්නේ කාගේ කාර්යභාරය ද?   නූතනයේ විභිෂණලා රාශියක් ඉන්නවා. විභීෂණ කියන නම වාල්මිකී දැම්මයි කියල මට හිතෙන්නෙ. ඒකෙ භීෂණය නැති වගේ තේරුමක් තියෙනවා. විභීෂණ කියන්නෙ අද භාෂාවෙන් කියනවා නම් සංහිඳියා කාරයෙක්. ඔහූ රටේ රජකම ගැනීමට පූර්ව වෛදිකයන්ට තම සොහොයුරා පාවා දන්නෙක්.



රනිල් ඉන්දියාවෙ ගිහින් මෝදි හම්බවෙලා. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් තරමක දිග නිවේදනයක් නිකුත් කරලා. ඉන්දියාවෙන් නිකුත් කළ ප්‍රකාශයෙන් කියැවෙන්නෙ දෙරටේ අගමැතිවරුන් මුණ ගැසුණු බවත් සම්බන්ධකම් ගැන සාකච්ඡා කළ බවත් පමණයි.  එහෙත් ලංකාවෙ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයෙන් කියැවෙන්නෙ මෝදි ලංකාව ඉන්දියාව සම්බන්ධයෙන් කරන ප්‍රකාශ,  ඇතැම් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම ආදිය ගැන කණස්සල්ලෙන් පසුවන බව.



ඉන්දියාව කෞටිල්‍යයන්ගේ රට. ඔවුන් සුද්දන්ගෙන් ද ව්‍යාජ ප්‍රකාශ නිකුත් කිරීමේ කලාව ඉගෙන ගන්නා බව පැහැදිලියි. ඉන්දියාවෙ ප්‍රකාශයෙන් මොකුත් කියැවෙන්නෙ නැහැ. එහෙත් මෝදී රනිල්ට බොහෝ දේ කියා ඇති බව නම් පැහැදිලියි. මෙරට අග්‍රාමාත්‍ය කාර්යලයේ නිවේදනයේත් සම්පූර්ණ දේ නැහැ. මට හිතෙන්නෙ මෝදී රනිල් සමග මෛත්‍රිපාලට දොස් කියල තිබෙන බවයි. මගෙන් අහන්න එපා මා එතැන හිටිය ද කියලා. සිද්ධිවලින් අපට ලබා ගන්න පුළුවන් කතාවයි මා කියන්නෙ.



මෝදි රනිල්ට දොස් කිව්ව නම් එසේ කරන්න ඇත්තෙ මෛත්‍රිපාල ලවා තමන්ට අවශ්‍ය දේ කර නොගැනීම සම්බන්ධයෙන්. මෝදිලා එකතු වී පත් කර ගත්තෙ රනිල් මිස මෛත්‍රිපාල නොවෙයි. මෛත්‍රිපාල ලවා රනිල්ට (ඉන්දියාවට බටහිරට) ඕන දේ කරවා ගන්න තමයි ඔවුන් බලාපොරොත්තු වුණෙ. දැන් දැන් මෛත්‍රිපාල එසේ නොකරන බව පැහැදිලියි. ඉන්දියාවට තියෙන ප්‍රශ්නය එයයි. ඉන්දියාවට මෛත්‍රිපාල ඉවත් කරන්න අවශ්‍යයි. එහෙත් ඔවුන්ට ව්‍යවස්ථානුකූල ව මෛත්‍රිපාල ඉවත් කර ගන්න බැහැ. කුමන්ත්‍රණ කතාව ගැන ඉන්දියාව කලබල වුණෙ ඇයි?



මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය කියන විධියට ගිවිසුම් ක්‍රියාත්මක නොකිරීම ගැන ඉන්දියාව කණස්සල්ලෙන් පසු වෙනවා. මොනවද මේ ගිවිසුම්. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ කටයුතු ඉන්දියාවට පැවරීම ගැන ගිවිසුමක් තියෙනවා ද? ඒ ගිවිසුම අත්සන් කෙළේ රනිල් සමග ද? ඇතැම් ගිවිසුම්වලට ප්‍රසිද්ධියක් නොලැබෙන්නේ ඇයි? නන්දිකඩාල් ජයග්‍රහණයෙන් දවස් දෙකකට පසුව ඒ ජයග්‍රහණය පාවා දෙමින් ඉන්දියාවෙ ට්‍රොයිකාව සමග අත්සන් කළ ගිවිසුමට ප්‍රසිද්ධියක් නොලැබුණේ ඇයි? එයට ලංකාව පැත්තෙන් වග කිවයුතු විභීෂණ කවුද? අර උගත් පාඩම් හා සංහිඳියා කොමිසම පත් කෙළේ කාගෙ වුවමනාවට ද?



මෙරට අයට ඉන්දියාවෙ කෞටිල්‍යයලා එක්ක හැරෙන්නවත් බැහැ. අපට ඉන්දියාවෙ මහා බලගතු හමුදාව සමග නම් අවශ්‍ය විටෙක හැප්පෙන්න පුළුවන්. ඉන්දියාවට ප්‍රභාකරන් එක්කවත් හැප්පෙන්න බැරි වුණා. ඉන්දීය සාමසාධක හමුදාව මෙරට දෙමළ කතා කරන ජනයාට විරුද්ධව සිදු  කළ අපරාධ ස්ත්‍රී දූෂණ මානව අයිතිවාසිකම් කඩ කිරීම් ගැන පාකියසෝතිලා විග්නේස්වරන්ලා, සුමන්තිරන්ලා විතරක් නොවෙයි රධිකාලා හා කොළඹ ඉන්න පුහු සංහිඳියා පොරවල් ද වචනයක් කතා කරන්නේ නැහැ.



මෛත්‍රිපාලත් බොරු වීරයකු වෙන්න හදනවා ජාත්‍යන්තරය ජයගත්තා කියමින්. රනිල්වත් මෛත්‍රිපාලවත් ජයගෙන ඇති ජාත්‍යන්තරයක් නැති බව මාලි දුපතේ එක්සත් ජාතීන්ගේ හමුදාවේ සේවය කළ නිලධාරියකු ආපසු එවීමට ගත් තීරණයෙන් පැහැදිලි වෙනවා. ජෙනීවා කතා පිටුපස වැඩියෙන් ඇත්තේ 2012න් පස්සෙ ඉන්දියාව ට්‍රොයිකාවෙ ගිවිසුම අනුව 13+ ගැන කිසිවක් නොකළ නිසාත් 13 හරියට ක්‍රියාත්මක නොකළ නිසාත් ඉන්දියාව විරුද්ධ වීම. ඉන්දියාවට හිස නැමීමෙන් ඊනියා ජාත්‍යන්තරය ජයගන්න බැහැ. මංගලට බැරි නම් විශ්වවිද්‍යාලයේ මගේ පළමු වසරේ රසායන විද්‍යා උපදේශක (ට්‍යුටර්) වූ තිලක් මාරපන මහතාට පුළුවන් ද ඉන්දීය සාම සාධක හමුදාවට විරුද්ධව ජෙනීවා හි යෝජනාවක් ගෙනෙන්න. සරත් වීරසේකර හා චන්න ජයසුමන ඒ ගැන හිතනවා ද?



අපට සංහිඳියා විභීෂණලා අවශ්‍ය නැහැ. රාවණට හිටි සොහොයුරන් දෙදෙනකු ගැන කියැවෙනවා. එක් අයකු කුම්භකර්ණ නමින් හැඳින්වෙනවා. අනෙකා විභීෂණ. කුම්භකර්ණ යනු කුඹුක්කන් කියන එකයි. ඔහු මාස හයක් නිදා ගත්තේය කියන්නෙ වාල්මිකී. සමහර විට ඔහු මාස හයක් කුඹුක්කන් ඔය අසබඩ භාවනා කළා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් කුඹුක්කන් ඔය සමග රාවණලාගේ සම්බන්ධයක් තිබූ බව පේනවා. කුම්භකර්ණ ඒ ප්‍රදේශයේ අධිපති වෙන්න පුළුවන්. විභීෂණ  කැලණියේ අධිපති. රාවණට පක්‍ෂපාති වූයේ කුම්භකර්ණයි. විිභීෂණ පක්‍ෂපාත වූයේ රාමටයි. අදත් මෙය වෙනත් අයුරකින් සිදු වෙනවා. හනුමන්තා කෙනකුත් ඉන්නවා. මෛත්‍රිපාල හිට ගත යුත්තේ හනුමන්තලා හා රාමලා එක්ක නොව රාවණලා හා කුම්භකර්ණලා සමගයි.