Main Logo

Thursday 11 October 2018

සූත්‍ර හා සූත්තර


සූත්‍ර හා සූත්තර



තෙල් මිල සූත්‍රය මංගලට තේරෙන්නෙ නැති බව කියනවා. මා ඒ ගැන පුදුම වෙන්නෙ නැහැ. මංගලට සූත්තර නම් තේරෙන බවක් පේනවා. ඔය තෙල් මිල සූත්‍රය ප්‍රසිද්ධ කරන්නෙ නැත්තෙ ඇයි? එහෙම සූත්‍රයක් නැද්ද? තෙල් මිල සූත්‍රය ගැන පඬියන්ගේ ඊනියා කියවීම මොකක් ද? බටහිරයන්ගේ ඕනෑම විකාරයක් හිස් මුදුණින් පිළිගන්නා පඬියන් දැන් චිත්‍රපටි ද නාට්‍ය ද කවි ද කියවනවා. හැබැයි ඔවුන් කරන්නෙ කියවන එක විතරයි.



තෙල් මිල සූත්‍රය කියන්නෙ බුද්ධිමතුන්ට පමණක් පේන එකක් ද? ඒක මංගලට පේන්නෙ නැත් ද? පෙනිලා කියවන්න බැරි ද? තෙල් මිල සූත්‍රය සූත්තරයක් පමණක් ද? එය සූත්‍රය ගැන කියමින් මාසෙ දහවැනි දාට තෙල් මිල වැඩි කරන සූත්තරයක් ද? සූත්‍රයක් කියන්නෙ සමීකරණයක් නො වෙයි. සමහරු සූත්‍ර හා සමීකරණ පටලවා ගන්නවා. මංගල එහෙම කරණ එකක් නැහැ. ඔහු ඒ දෙක ම දන්නෙ නැහැ. ඔහුට සූත්‍රය තේරෙන්නෙත් නැහැ.  හතේ අටේ වීජ ගණිතය කරපු සිසුන්ට තේරෙයි ද? ඒත් ඇත්තේ සූත්තරයක් මිස සූත්‍රයක් නො වේ නම් ඒ කාටවත් තේරෙන එකක් නැහැ.



ජනමාධ්‍යවේදීන් කියන අය වැඩ කරන්නෙත් අමුතු විධියකට. ඔවුන් මංගලගෙන් සූත්‍රය ලබා ගන්න උත්සාහ කරන පාටක් නැහැ. ඔවුන් ප්‍රශ්නයක් දෙකක් අහල පසුබහිනවා. මංගල මුදල් ඇමති. තෙල් ඇමති හරි මුදල් ඇමති හරි අගමැති හරි සූත්‍රය පාර්ලිමේන්තුවේ සභාගත කරන්න ඕන. එහෙම කරන්නෙත් නැහැ. හැබැයි පාර්ලිමේන්තුව උත්තරීතර කියල කියනවා. තෙල් මිල සූත්‍රය ඊටත් වඩා උත්තරීතර වෙනවා ඇති.



නවවැනි දා පැවති ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදු ජන පෙරමුණේ රැස්වීමෙන් පස්සෙ ජනමාධ්‍යවේදීන් වෙනත් සූත්‍රයක් දැන ගන්න දැඩි වෙහෙසක් ගත්ත. ඒ රැස්වීමෙ දි භාරකාර සම ආණ්ඩුවක් හදන්න තීරණයක් ගෙන ඇති බවක් පේනවා. ඒත් වෙල්ගම කියන විධියට නම් එහෙම නො වෙයි. වැඩි දෙනෙක් ඒකට විරුද්ධ බවයි කියැවෙන්නෙ. සමහරුනට වැදගත් 2020ත් මන්ත්‍රී වෙලා ඇමතිවරයකු වෙන එක මිස රනිල් ඉවත් කරන එක නොවයි. ඒ අය හිතන්නෙ රනිල් 2020 වන තුරු හිටියොත් තමන්ට පහසුවෙන් ම මන්ත්‍රී වෙන්න පුළුවන් කියා.



භාරකාර ආණඩුවක් හදන්න තීරණය කළා නම් ඒ කරන්නෙ කොහොම ද කියන එක ඒ රැස්වීමෙ දි සාකච්ඡා වුණා ද නැද්ද කියන්න මා දන්නෙ නැහැ. සාකච්ඡා නූණ නම් හොඳය කියා හිතෙනවා. ඒ ක්‍රමයත් එක්තරා ආකාරයක සූත්තරයක් වෙන්න ඕන. එවැනි සූත්තරයක් දැන ගන්න ඕන ටික දෙනකු පමණයි. ඒකාබද්ධ විපක්‍ෂෙ ඔක්කොම ඒක දැන ගන්න ඕන නැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදු ජන පෙරමුණේ රැස්වීමෙ දි කරන්න තියෙන්නෙ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න එක විතරයි.  ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඕන කිහිප දෙනකු මිසක් සියළු දෙනා නො වෙයි. ජනමාධ්‍යවේදීන් හිතන්න පුළුවන් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන විධියත් ජනතාව දැන ගන්න ඕන කියලා. ජනතාව ඒක දැන ගන්නවා කියන්නෙ ඒක නොකෙරෙන එක.



ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදු ජන පෙරමුණෙ රැස්වීමෙ දි භාරකාර සම ආණ්ඩුවක් හරි වෙනත් ආණ්ඩුවක් හරි හදන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත්ත නම් හොඳයි. බොහෝ කාලෙක ඉඳන්, අවුරුදු තුනක පමණ කාලෙක ඉඳන් මා යම්කිසි ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. ඒ ක්‍රමය ම ක්‍රියාත්මක කළ යුතු ය කියා මා කියන්නේ නැහැ. භාරකාර ආණ්ඩුවක් හදන්න තීරණය කරත් මොන ක්‍රමයක් ක්‍රියාත්මක කළත් ඒකාබද්ධ විපක්‍ෂය/පොදු ජන පෙරමුණ එය දැන් ම ජනතාවට කියන්න ඕන නැහැ.



ජනමාධ්‍යවේදීන් වඩා උනන්දු වෙන්න ඕන තෙල් මිල සූත්‍රය දැන ගන්න මිසක් ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදුජන පෙරමුණ ක්‍රියාත්මක කරන්න යන ක්‍රමය දැන ගන්න නො වෙයි. ජනතාවට රනිල් අගමැති කමෙන් ඉවත් කරන්න වුවමනාවක් තියෙනවා. ඒ අතර තෙල් මිල වැඩි වෙන එක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. ජනතාවට ඕන මොන සූත්තරේ දැන ගැනීමට ද? සූත්තරෙ දැන හෝ නොදැන හෝ රනිල් ඉවත් කිරීම ද?



ජනමාධ්‍ය ගැන කතා කරන විට මට සූත්තර කියන එක සංකර අකුරින් ලියන්නෙ කොහොම ද කියල හිතුන ඒක su කියල u අකුරට උඩින් ඉරක් ඇඳල ද පටන් ගන්න ඕන. ඉංගිරිසි අකුරට සිංහල පාපිල්ල දැම්මම කියැවෙන්නෙ කොහොම ද? සූ කියල ද? එහෙම නම් ඉංගිරිසි u අකුර ලියල ඊට උඩින් ඉරක් අඳින්නෙ අහවල් දේකට ද? ඒ ඌ කියල ලියන්න ද? එතකොට su (u ඉරක් සහිත ව) කියැවෙන්නෙ සූඌ කියල ද? මේවට හූ කියනව ද?   නැත්නම් hu  (u ඉරක් සහිත ව) කියනව ද? 



මේ ප්‍රශ්නවලට රූපවාහිනියේ ඉන්න Ru (පාපිලි ඉරි සහිත ව) සංකරයන් උත්තර දෙනව නම් අපට සූත්තර කියල සංකර අකුරෙන් ලියන්නෙ කොහොම ද කියල ඉගෙන ගන්න පුළුවන්.  ඒ අතර සූකරයන් කියල ලියන හැටිත් කියනවා ද?