Main Logo

Sunday 21 October 2018

ඔබට පින්




ඔබට පින්



ඊයේ මගේ උපන් දිනයක්. හැත්තෑහතරවැනි උපන් දිනය කියා තමයි සාමාන්‍යයෙන් කියැවෙන්නේ. ඒ එක්කම කියනවා මගේ වයස අවුරුදු හැත්තෑහතරයි කියා. මෙය තරමක ගැටළුවක්. අපේ වැඩිහිටියන් අද ජීවත් ව සිටියා නම් කියනු ඇත්තේ කොලුවට හැත්තැපහ ලබල කියා. ඉංගිරිසි විධියට අවුරුදු දහය වූ කල මට ගෙදර කිව්වෙ එකොළහට ලබල කියා. ඔය කතාව මට කුඩා කලක් ප්‍රශ්නයක් වුණා.  මේ ක්‍රම දෙකක් බව අවබෝධ වෙන්න මට සෑහෙන කලක් ගත වුණා.




මා කුඩා  කල සිතුවේ වැඩිහිටියන් වැරදි කියා. මට වයස අවුරුදු දහය වන විට ඔවුන් එකොළහ ලබල කියා සෑහීමකට පත් වුණෙ නැහැ. සමහර වෙලාවට කිව්ව වයස එකොළහයි කියා. මට එකොළහක් නැති බව මා දැන හිටියා. අර ගණිතයෙ උගන්වනවා වැටයීම කියලා එකක්. ඒ අනුව අවුරුදු 9.5ට සමාන හෝ වැඩි හෝ නම් හා10.5ට අඩු නම් වයස අවුරුදු දහයයි. 10.5 ට සමාන හෝ වැඩි හෝ නම් හා 11.5ට අඩු නම් වයස අවුරුදු එකොළහයි. ඒ ගණිතයෙ. ජීවිතයෙ දි ඒක හරියන්නෙ නැහැ. අවුරුදු දොළහෙන් පහළ කණ්ඩායමකට ක්‍රීඩා කරන්න වයස  අවුරදු 12.1 ක ළමයකුට බැහැ. වයස අවුරුදු 65 දි විශ්‍රාම යන්න 65.4 වෙනකන් ඉන්න බැහැ.



අනෙක් අතට 12.5 කියන්නෙ මොකක් ද? මේ දශම 5 කියන්නෙ දින 365 න් බාගයක් ද? එහෙම නැත්නම් ලිත් මාසවලින් ගණනය කර ඒ ලබා ගන්නවා ද? අධික අවුරුද්දක එය කරන්නෙ කෙහොම ද? චන්ද්‍ර මාසවලින් ගණනය කළොත් කුමක් වේ ද කියා මා අහන්නේ නැහැ. 12.5 අදිය ලබා ගන්නෙ සූර්ය මාසවලට සාපේක්‍ෂ ව. අවුරුද්දකට මොන විධියට ගණනය කළත් දවස් 365.25ක් පමණ වෙනවා. සිංහල ක්‍රමයට ලැබෙන අගය නොවෙයි බටහිර ක්‍රමයට ලැබෙන්නෙ. සිංහල අවුරුද්ද ලබන වෙලාව වෙනස් වෙන්නෙ ඒ හින්ද. කොහොමත් අවුරුද්ද දවස ආදිය ගණනය කරද්දි අනෙක් තාරකාවලට සාපේක්‍ෂව ඉරේ හා පොළොවේ පිහිටීම වැදගත් වෙනවා.  අනෙක් තාරකා නැත්නම් අපට අවුරුදු නැහැ.



කවුරු හරි කියන්න පුළුවන් මේ ප්‍රායෝගික ප්‍රශ්න නො වෙයි කියලා. අප දැන් බටහිරයන් හිතන විධියට හිතන්න හදනවා. පැරණි සෙල්ලිපි වල සඳහන් වෙනවා අහවල් රජුගේ අහවල් රාජ්‍ය වර්ෂයෙ කියලා. බටහිර ක්‍රමයට ක්‍රිස්තු වර්ෂ 2018 අපි ඉන්නෙ. ඒ කියන්නෙ ක්‍රිස්තුස් වහන්සෙ ඉපදිලා අවුරුදු 2017ක් ගිහිල්ලා. මෙය ඓතිහාසික ද මෙහි නිර්වචනය කුමක් ද ආදියෙ ප්‍රශ්න තියෙනවා. අපි එය අමතක කරමු. මේ යන්නෙ ක්‍රිස්තුස් වහන්සෙ ඉපදිලා 2018 වැනි අවුරුද්ද.



මගේ උපන් දිනය ක්‍රිස්තු වර්ෂයෙන් 1944 ඔක්තෝම්බර් 20. ඊට පස්සෙ එන්න තියෙන්නෙ මැරෙන දිනය. ඒත් අපි හැම අවුරුද්දෙම ඔක්තෝම්බර් 20 මගේ උපන් දිනය ලෙස සලකනවා. එ මා අවුරුදු පතා උපදින නිසා නො වේ. කාට හරි කියන්න පුළුවන් මා හැම මොහොතක ම මැරිලා උපදිනවා කියලා. ඒකත් පැත්තකින් තියමු. අප සම්මුතියෙන් සලකනවා හැම අවුරුද්දෙ ම ඔක්තෝම්බර් 20 මගේ උපන් දිනය හැටියට. එය අර්ථදැක්වීමක් මිස මා ඉපදෙන දිනයක් නො වෙයි. එය උපන් දිනයක් නොව එක් අර්ථදැක්වීමක් අනුව උපන් දිනයක්.



1944 උපන් දිනයත් සමග අර වගේ උපන් දිනත් ගත්තොත් මට උපන් දින හැත්තෑපහක් තිබිලා තියෙනවා. වයස ඉංගිරිසි විධියට අවුරුදු හැත්තෑහතරයි. උපන් දින  හැත්තෑපහයි. පරස්පරයක් තියෙනවා වගේ පේනවා. මේ හැම එකක් ම අර්ථදැක්වීම් මත පදනම් වෙන්නෙ. මට හැත්තෑපහට ලබල තියෙනවා කිව්වත් මට හැත්තෑපහයි කිව්වත් හැත්තෑහතරයි කිව්වත් ඔක්කොම අර්ථදැක්වීම් මත පදනම් වු දේ. මේ සියල්ල සාපේක්‍ෂයි.



මෙවර බොහෝ දෙනකු මුහුණු පොතෙන් හා විද්‍යුත් ලිපිවලින් සුබ පතලා තිබුණා. සමහරු ගුණ වරුණත් ලියලා තිබුණා. ඒ හැමටත් මට ඇති හා නැති දොස් පවරල තිබූ කිහිප දෙනාටත් පින්. අර කිහිප දෙනා කලබල වෙන්න ඕනැ නැහැ අපිට මෙනවට ද පින් කියලා හරි අපි නිරාගමික කියලා හරි පඬි අදහසකින්. එක් අයකු අර ඇමතිවරයකුගෙ පක්‍ෂයෙන් හදපු මගේ හිසින් වෙනත් අයකුගේ කඳෙන් නාමල් රාජපක්‍ෂට බුලත් දෙන ඡායාරූපයත් පළ කරල තිබුණා.



මෙහි තිබෙන වැදගත් කරුණ තමයි මේ අයගෙන් බහුතරය මා නොදන්නා අය. දන්නා අයගෙනුත් ඉතා වැඩි පිරිස මා පසුගිය අවුරුදු පහක පමණ කාලයෙහි හඳුනාගත් අය. ජාතික ව්‍යාපාරයේ කිසිම නායකයකු සුබ පතලා තිබුණෙ නැහැ. අර විශ්වකර්ම ආයතනය මා සමග සාකච්ඡාවක් කර රූහඬ පටයක් (https://youtu.be/T4Q4WbTU3qQ)
නිෂ්පාදනය කළා. ඔවුන්ටත් පින්.



මෙයින් හුඟක් දේ කියැවෙනවා. මට සුබ පතලා තියෙන හුඟ දෙනකු මා ගැන දන්නෙ නැති බව. අවුරුදු ගණනක් මා දැන සිටි අය දැන් ඉවත් වී ඇති බව. එසේත් නැත්නම් ඔවුන් අතර සුබ පෑතුම් එවීමේ සිරිතක් නොතිබූ බව.



අපට මැරෙන දිනය දැනගැනීමේ ක්‍රමයක් නැහැ. ඒ නිසා ම වයස වෑඩිවත් ම උපන් දිනයක් සැලකිය යුත්තේ මැරෙන දිනයට ළඟා වීමක් ලෙස. විශේෂයෙන් ම හැට පැනපු අයට උපන් දිනයක් කියන්නේ මැරෙන දිනයට කිට්ටු වීමක්. එහෙමත් නැත්නම් ඉතිරි උපන් දින සංඛ්‍යාව (උපන් දින ශේෂය) අඩු වීමක් ලෙස. මා මේ බොරු දාර්ශනිකයකු වෙන්න හදනවාවත් ඔබේ අනුකම්පාව දිනා ගැනීමට හදනවවාත් නො වෙයි. ඒ මට හිතෙන විධිය.