වෙල්ගම මැතිඳු අද තනියම වෙල මැද්දේ
පාර්ලිමේන්තු සභා ගැබේ ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය වෙන් කරන මැද
කොටසටත් ඉංගිරිසියෙන් කියන්නෙ වෙල් කියලා. ඒකට සිංහලෙන් ලිඳ කියන්න බැහැ. ඕන ම නම්
වල කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් සභා ගැබ මැද කියන්න පුළුවන්. ඒ එකක්වත්
හරියන්නෙ නැත්තන් වෙල කියන්න පුළුවන්. වෙල් විදානෙත් ඉන්නෙ එකේ අපි වෙල කියලා
කියමු. ඒත් ඒක අපි දන්න වෙල් යායවල් සමග පටලවා ගන්න එපා. මේකෙ යායක් නැහැ. ගායක්
නම් තියෙනවා. මා කිව්වේ රථගාය ගැන පමණක් නොවෙයි.
අද සභාග ආණ්ඩු සෑදීම භාරකාර ආණ්ඩු සෑදීම ආදී නම්වලින් රනිල් අගමැති
ධුරයෙන් ඉවත් කර මහින්ද අගමැති කිරීමේ වෑයමක් තියෙනවා. එය හරි යයි ද කියන එක ගැන
ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් රටේත් ජාතියේත් නාමයෙන් ඒ උත්සාහය අත හරින්න හොඳ
නැහැ. මෙයට මාස කිහිපයකට පෙර මෙවැනි අදහසකට සම්පූර්ණයෙන් ම විරුද්ධ වූ අයගෙන්
සමහරකු අද මේ ගැන උද්‍යොගයෙන් කතා කරනවා. මේ උද්‍යොගයට ඉන්දියාවත් හේතුවක්. මහින්ද
ඉන්දියාවෙ ගිය දවස්වල අප ඉන්දීය කතාව කියා ඇති. එහි භයානක පැත්ත වැඩියි. ඒත් මේ
වෙලාවෙ ඉන්දියාවත් යම් පමණකට මැදිහත් වෙනව කියල වෑයම අත්හරින්න බැහැ.
බැසිල් කලින් ම ලංකාවට ආවෙත් වෛද්‍ය ප්‍රතිකාර ඉවර වූ නිසා ම වෙන්න
බැහැ. කොහොමටත් අද මහින්ද, බැසිල්, දිනේෂ්, විමල්, ගම්මන්පිළ, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා, එස් බී, වාසුදේව ආදීන් දළ වශයෙන් එක් මතයක ඉන්න
බවක් පේනවා. ඒ අය අතර යම් යම් වෙනස්කම් ඇති. එහෙත් මේ අවස්ථාවෙ ඒවා ලොකු කර ගන්න
හොඳ නැහැ. මා ඩිලාන් පෙරේරාගේ දේශපාලනය ප්‍රිය කරන්නේ නැහැ. වෙල්ගම ඩිලාන්ට වඩා ප්‍රතිපත්ති
ගරුකයි. ඒත් වෙල්ගම අද එක්තරා ආකාරයකට තනි
වෙලා. ඔහුට මෙරට දේශපාලනයේ හිමි තැනක්
තියෙනවා. ඒ වෙල මැද්දෙ නම් නො වෙයි.
සභාග ආණ්ඩුව භාරකාර ආණ්ඩුව
වැනි වචන හරි නැහැ. කොහොමටවත් මෙය සාමාන්‍ය අන්දමේ ආණ්ඩුවක් නොවෙයි. මා එයට
කීවේ භාරකාර සම ආණ්ඩුවක් කියා. භාරකාර ආණ්ඩුවක් ඇති වෙන්නෙ පාර්ලිමේන්තුව විසුරුවා
හැරියට පස්සෙ. ඒත් මේ හදන්න යන ආණ්ඩුවෙන් සිදු වෙන්න ඕන බොහෝ විට භාරකාර
ආණ්ඩුවකින් වෙන්න ඕන දේ.
අප මේ ඊනියා ජාතික ආණ්ඩුවේ ආණ්ඩු දෙකක් තියෙනව කිව්ව ම සමහරු ඇහුව ආණ්ඩු දෙකක් තියෙන්නෙ
කොහොමද කියලා. ප්‍රායෝගික ව රනිල්ගෙ ආණ්ඩුවයි මෛත්‍රිපාලගෙ ආණ්ඩුවයි කියා ආණ්ඩු
දෙකක් තියෙනවා. සමහරු තාමත් කියනවා මෛත්‍රිපාල තම පිරිසත් සමග එළියට එන්න ඕන
කියලා. එහෙම වුණොත් රනිල් ජනාධිපති ධුරයත් සමග සම්පූර්ණ බලය අතට ගන්නවා. ටික දිනකට
පෙර මහින්දත් ඒ කතාව කිව්ව. ඒත් අද ඒක කියන්නෙ නැහැ. අද බලන් ඉන්නෙ මෛත්‍රිපාලගෙන්
ආරාධනය ලැබෙන තුරු. මෛත්‍රිපාල මේ ආරාධනය ඉක්මනට කරන්න ඕන.
බැසිල් මෛත්‍රිපාලට කොන්දේසි දෙකක් ඉදිරිපත් කරල තියෙනවා. එකක්
පොලිස්පති ගැන. අනෙක අගවිනිසුරු ගැන. මා හිතන්නෙ අගවිනිසුරු කතාව දැන් අවසන්.
පොලිස්පති ගැන තීරණය භාරකාර සම ආණ්ඩුව පිහිටුවාට පස්සෙ ගන්න වෙන්නෙ. එහෙමත්
නැත්නම් පොලීසිය ජනාධිපති අතට ගෙන. ඒකත් බැරි නැහැ. කොහොමත් නීත්‍යානුකුල ව නම්
අවසන් තීරණය පොලිස් කොමිසම සතුයි. එහෙත් පොලිස්පතිට ඉල්ලා අස්වෙන්න
සලස්වන්න පුළුවන්.
වෙල්ගම වෙල මැද්දෙ ඉඳගෙන අහනව මහින්ද අගමැති වුණත් මෛත්‍රිපාල නේද
ජනාධිපති කියල. 2015 අගෝස්තු මහා මැතිවරණයෙ දි අප විතරක්
නොවෙයි මා හිතන්නෙ වෙල්ගමත් වැඩ කෙළෙ මහින්ද අගමැති කරන්න. බැරි වෙලාවත් සංධානය
දිනුව නම් මහින්ද අගමැති, මෛත්‍රිපාල ජනාධිපති. එහෙම වුණා නම්
වෙල්ගම වෙල මැද්දෙ ඉන්නවා ද? එදා මෛත්‍රිපාල කිව්වෙ මහින්ද නැතිව
වෙනත් ඕනෑම අයකු අගමැති කරන්නම් කියලා. අද ඔහු එහෙම කියන්නෙ නැහැ.
මා මුල සිට ම කිව්වෙ 2019 අග
පවත්වන්න නියමිත ජනාධිපති අපේක්‍ෂකයා ගැනවත් 2020 මැතිවරණ ගැනවත් අද කතා නොකළ යුතු බව. ඒ සියල්ල පස්සෙ කතා කරන්න
පුළුවන්. සමහරු මා කී දේ සුපුරුදු පරිදි පටලවා ගෙන ජනාධිපතිවරණ හා මැතිවරණ ගැන කතා
කළා. මට සිරිජාතිකවාදියා කියන අභිධානයත් පිරිනැමුවා. ඒ සම්බන්ධයෙන් උත්සවයක්
තිබුණෙ නැහැ. ඒක එතරම් ප්‍රශ්නයක් නො වෙයි. කලණිය විශ්වවිද්‍යාලයෙන් මට තවමත්
සමුදීමේ (farewell) උත්සවයක් පවත්වල නැහැ. ඒ අය මට සමුදෙන්න අකමැති
වගෙයි.
අද කළ යුත්තේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමයි. එය කරන්නේ කොහොම ද
කියන එක අහන්නෙ කිසිවක් නොතේරෙන පඬියන් පමණයි. එය කරන්නෙ කොහොම ද කියන එක කිහිප
දෙනකු එකතු වෙලා තීරණය කරාම ඇති. ඒක මුහුණු පොතේ සාකච්ඡා කරන දෙයක් නො වෙයි.
භාරකාර සම ආණ්ඩුවකට ඇත්තේ අවුරුද්දක් පමණ කාලයක්. ඒ කාලයෙහි රට
මුළුමනින් ම අගාධයෙන් ගොඩ ගන්න බැහැ. එහෙත් රට තව තවත් අගාධයට යෑම වළක්වන්න
පුළුවන්.