Main Logo

Friday 9 November 2018

කතානායක අක්‍රීය කර ඇති පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි (නොවැම්බර් 9 වැනි දින පළ වූ නොවැම්බර් 10 වැනි දිනට නියමිත ලිපිය)


කතානායක අක්‍රීය කර ඇති පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි.



පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවීමේ බලය ඇත්තේ ජනාධිපතිටයි. එය විවිධ අනූව්‍යවස්ථා මගින් ක්‍රියාත්මක කෙරෙන බව ඊයේ නීතියේ පරස්පර මැයෙන් ලියූ ලිපියේ සඳහන් ව ඇති. එහි මා තවදුරටත් සඳහන් කළා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වෙනත් ක්‍රම නැත්තේ නැති බව.




අද අර්බුදය උග්‍ර වී තිබෙනවා.  එයට ප්‍රධාන හේතුව කතානායක. ඔහු අද ක්‍රියා කරන්නේ සිරකොතේ කතානායක ලෙස. ඔහුගේ පක්‍ෂග්‍රාහී ක්‍රියා කලාපය නිසා පාර්ලිමේන්තුව අද අක්‍රිය වෙලා.



ජනාධිපති නව අමාත්‍ය මණ්ඩලයක් පත් කර ඇත්තේ 43 ව්‍යවස්ථාව අනුව. ඒ බව ඇමතිවරුන් පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයෙන් ද පැහැදිලියි. අගමැති පත් කිරීම හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීම 42 හා 43 ව්‍යවස්ථා යටතේ කෙරී ඇත්තේ. එහි කිසිම ව්‍යවස්ථානුකූල නොවන බවක් නැහැ. එහෙත් කතානායක එ ජා පෙරමුණේ අවශ්‍යතාවට ජනාධිපති ව්‍යවස්ථානුකූල ව කර ඇති පත්වීම් පිළිගන්නේ නැහැ.



කතානායක එමගින් ජනතා පරමාධිපත්‍යයට එරෙහි ව ක්‍රියා කරනවා. ජනතාවගේ පරමාධිපත්‍යය ව්‍යවස්ථාවේ 4 වැනි ව්‍යවස්ථාවෙන් කියැවෙනවා. එහි අනුව්‍යවස්ථා කිහිපයක් තියෙනවා. ඉන් පළමු වැන්න 4(අ) ජනතාවගේ පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය සම්බන්ධයෙන්.



ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක විය යුතුයි. එහෙත් කතානායකගේ ක්‍රියා කලාපය නිසා අද පාර්ලිමේන්තුව එ ජා පක්‍ෂයේ අවශ්‍යතා වෙනුවෙන් අක්‍රීය කරලා. කතානායක ජනතා පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වෙලා.



මෙය ව්‍යවස්ථා විරෝධී වැඩක් පමණක් නො වෙයි. ජනතා විරෝධී කටයුත්තක්. 4 වැනි ව්‍යවස්ථාව කියවන්නේ පරමාධිපත්‍යය ගැන සඳහන් 3 වැනි ව්‍යවස්ථාවත් සමග. 4 වැනි ව්‍යවස්ථාව වෙනස් කරනවා කියන්නේ 3 වැනි ව්‍යවස්ථාවත් වෙනස් කිරීමක්. එහෙත් 3 වැනි ව්‍යවස්ථාව වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි.



ඒ කියන්නේ 4 වැනි ව්‍යවස්ථාවත් වෙනස් කිරීමට තුනෙන් දෙකක ඡන්දයක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයයි. මේ පිළිබඳ ශ්‍රෙෂ්ඨාධිකරණ තීරණයක් ද තියෙනවා.  කතානායක අද මේ ව්‍යවස්ථාව කඩ කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය නොසලකමින් එය තදබල වරදක්.   



කතානායක පාර්ලිමේන්තුව අක්‍රීය කර ඇති විටෙක එය රටේ ආරක්‍ෂාවටත් බලපානවා. රට අස්ථාවර වීමටත් ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවක ජනතාවගේ පරමාධිපත්‍යයේ විධායක බලය 4(ආ) අනුව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කරන  විධායක ජනාධිපතිට පාර්ලිමේන්තුව සක්‍රීය කිරීමට සිදු වෙනවා.



එහෙත් කතානායක එයට අවහිර කරන්නේ ජනාධිපති ගැසට් නිවේදනවලට ගරු නොකරමින්. එවැනි තත්වයක් යටතේ ජනාධිපතිට පාර්ලිමේන්තුව සක්‍රීය කර ජනතාවගේ පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසිය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් කැඳවීමටත් මැතිවරණයක් පැවැත්වීමට නාම යෝජනා පත්‍ර භාරදීමටත් දින නියම කිරීමෙන්.



පාර්ලිමේන්තුවේ තමන් නියෝජනය කරන්නේ කවුරුන් දැයි තීරණය කිරීමට ජනතාවට ම පැවරීමට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් වේ ද? අප රටේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන බටහිර රටවලට අප කියන්නේ අප ස්වෛරී රටක් බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාවට සෘජු බලය දීමෙන් ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය අප රකින බවත්.