Main Logo

Sunday, 11 November 2018

33(2)(ඇ) අනවශ්‍යයි


33(2)(ඇ) අනවශ්‍යයි



දැන් හැමෝම වගේ කැරොල් කරත්තයට නැගලා. සුපුරුදු පරිදි මා කරත්තයෙන් බස්සලා. මා අවුරුදු තුනක් කරත්තයේ තනියම යද්දී මට හූ කියපු, අඩෝ බැහැපන් කියපු අය අද කරත්තයේ යනවා.  කොහොම හරි රනිල් අගමැති ධුරයෙන් ඉවත් කෙරිලා. ඒ සඳහා මහින්ද මෛත්‍රිපාලට ශක්තිය දුන්න. ශක්තිය මයිලෝ ද කියලා අහපු අය විතරක් නොවෙයි ඕව වෙන වැඩ ද කියලා අහපු අයත් හිටියා. රනිල් අගමැති ධුරය දැරීම නතර කෙරී මහින්ද අගමැති පදවියට පත් කෙරුණේ 42(4) හා 43(3) අනුව්‍යවස්ථා යටතේ ව්‍යවස්ථානුකූල ව. එහි දී නීති විශාරදයන්   කී ඊනියා ජාතික ආණ්ඩුව කඩා වැටීම, රනිල් අස් කිරීම ආදිය බලපෑවේ නැහැ. අදත් එලෙස ම 33 (2) (ඇ) බලපාන්නේ නැහැ.




කතානායක රනිල් අගමැති ධුරය නතර කිරීම පිළිගත්තෙ නැහැ. ඔහු පාර්ලිමේන්තුව අක්‍රිය කළා. අවුලක් ඇති කළා. මන්ත්‍රීන් වැඩිය ඉන්නෙ කාට ද කියල බලන්න එ ජා ප ගෙන ඒමට සිටි යෝජනාවලට ඉඩ දෙන්න හිටියා. එහෙම කරන්න ප්‍රතිපාදන නැහැ. මේ අවුලත් සමග ජනතාවගේ පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීම නැවතුණා, ඇණහිටියා.  දැන් ජනතාවගේ පරමාධිපත්‍යය නැවත ක්‍රියාත්මක කරන්න ඕන. ඒ සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕන. එයට එක්කෝ ජනමත විචාරණයක් පවත්වලා ජනතාවගෙ කැමැත්ද ගන්න ඕන. එහෙම නැත්නම් විධායක ජනාධිපති බලතල ඇත්නම් ඒ අනුව ක්‍රියා කරන්න ඕන. ප්‍රශ්නයේ මුල සිට ම සිටි අය ලෙස මට පෙනෙන්නේ එසේයි. මා නම් කිවුවෙ මුලින් ජනමත විචාරණයක් පවත්වන්න කියලයි. 



මා නීතිඥයකු නොවෙයි. ඒ නිසා ම මට සේවාදායකයන් ද නැහැ. මා මට තේරෙණ විධියට මගේ මතය ප්‍රකාශ කරනවා. කැරොල් කරත්තයෙන් බස්සනු ලැබුවත් පයින් ගියත් මූසිලයන් කුමක් කිවුවත් මා මගේ මතය ප්‍රකාශ කරනවා. පාසල් වියෙහි දී ගුවන් විදුලි නාට්‍යයක ගුත්තිල පඬිවරයාගේ චරිතයට පණ දුන්නත් මා ගුත්තිල පඬිවරයා නොවේ. මට මූසිලයන්ට එරෙහි ව ශක්‍රයාගේ පිහිට අවශ්‍ය නැහැ. මට මහලු වයසේ හැකිය වෙණ ගායනා පෙරසේ.  මා පසුගිය ලිපි දෙකෛන් කළ යුතු දේ හා කළ නොහැකි දේ ගැන කතා කළා. අද නීතිඥයන් තම සේවාදායකයන් වූ දේශපාලනඥයන් දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ නොමග යවනවා. ඒ අතර ජනතාව ද නොමග යවනවා. අද 33 (2) (ඇ) ගැන බොහෝ කතා කියනවා. අපි එය මෙහි සඳහන් කරමු. 



“33(2) (ඇ) : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ ය. නීතිඥයන් මෙහි අමතර ව කියන වචනයට මහා බරක් දානවා. ඔවුන්ට අනුව 70(1) අනුව්‍යවස්ථාවත් ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා වෙනත් ලිඛිිත නීතියකින් ජනාධිපතිට පවරා ඇති බලතලවලට අමතර ව 33(2) න් බලතල හිමි වෙනවා. අමතර ව කියන්නෙ ඉංගිරිසියෙන් in addition කියන එකට මිස notwithstanding හෙවත් නොතකා තිබියදීත්, එතකුදු වුවත් යන්නෙන් කියැවෙන්න නො වෙයි.



මෙයින් 70 (1)ට අමතර ව මිසක් 70(1) නොතකා තිබියදීත් යැයි කියැවෙන්නේ නැහැ. එහෙත් නීතිඥයන් සඳහන් කරන විධියට 70(1) ටත් අමතර ච 33 (2) (ඇ) ක්‍රියාත්මක වන්නේ යැයි සිතමු. මුලින් ම 70 (1) මොකක් ද කියන එක සඳහන් කරන්න ඕන. ඒ මෙසේ යි.

  

“70 (1) ඃ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය.



එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුලුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ  යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය.



මෙහි පළමු ඡෙදයෙන් කියැවෙන්නේ 33(2) (ඇ) අනුව්‍යවස්ථාවෙන් කියැවෙන දේ.  ඊළඟට දෙවැනි ඡෙදයෙන් කියන්නේ එහෙම වුණත් තුනෙන් දෙකේ යෝජනාවක් නැත්නම් ජනාධිපති අවුරුදු හතරහාමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුතු බවයි. ඒ කියන්නේ 33(2) අනුව්‍යවස්ථාව 70 (1)ට අමතර ව ක්‍රියාත්මක වන බවක් නොවෙයි. 33(2) (ඇ) තිබුණත් අවුරුදු හතරහාමාරේ බාධාව තිබෙන බවයි. 33(2)70(1) ඉක්මවන්න බැහැ. 33(2) (ඇ) සඳහන් කළ විට 70(1) කැඳවෙනවා.



අපට 70(1) ඉක්මවන්න 33(2)න් බැහැ. දැන් 62(2) බලමු. 62(2) : සෑම පාර්ලිමේන්තුවක් ම පළමුවරට රැස්වීමට නියමිත දින පටන් පස් අවුරුද්දකට නොවැඩි කාලයක් පවත්නේ ය. එහෙත් නියමිත කාල සීමාව ඉකුත්වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ය. එකී පස් අවුරුදු කාලය ඉකුත් ව ගිය විට ම පාර්ලිමේන්තුව විසිර ගියාක් සේ සැලකෙන්නේ  ය.



62(2) හි නියමිත කාල සීමාවට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ය යන්න වැදගත්. එහෙත් එයින් කියැවෙන්නේ නැහැ ඕනෑම දවසක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් කියා. එහි විසුරුවා හරින්නේ කවුද කියාත් නැහැ. එහෙත් අධ්‍යාහරයෙන් ජනාධිපතිට ඕනෑම දවසක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව කියැවෙනවා. අපට 70(1)න් ඉවත් වෙන්න නම් 33(2) (ඇ) නොව 62(2)  ගන්න ඕන. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති නිකුත් කළ ගැසට් නිවේදනය පදනම් වන්නේ 33(2)(ඇ) හා 62(2) අනුව්‍යවස්ථා දෙක මතයි.



එහෙත් ප්‍රශ්නය වන්නේ ඒ අනුව්‍යවස්ථා දෙක පමණක් මදි වීමයි.  62(2)න් කියැවෙන්නේ සාධාරණ (general) අවස්ථාවක්. ඒ අනුව ජනාධිපතිට ඕනෑම දවසක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. පැහැදිලිව ම මේ ඕනෑම දවස කුමක් ද කියා ප්‍රශ්නය අධිකරණයට යොමු වුවහොත් පැහැදිලි කරන්න ඕන. මගේ ඊයේ ලිපියෙන් (පෙරේදා රාත්‍රි පළ කළ) මා කියා සිටියේ අද එවැනි දවසක් පැමිණ ඇති බවයි. ඒ දවස අභිමත (arbitrary)  දවසක් වෙන්න බැහැ. සාධාරණ අවස්ථාවේ ඕනෑම දවස කුමක් විය යුතු ද කියා සිද්ධියෙන් සිද්ධියට පවසන්න බැහැ, පවසන්න ඕනෙත් නැහැ. එය ඕනෑම අභිමත දවසක් නූණත් ජනාධිපතිගේ කැමැත්ත පරිදි (at his discretion) කෙරෙන්න ඕන. ඒ කියන්නේ ජනාධිපතිට උදේ නැගිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සිතුණොත් විසුරුවා හැරිය හැකිය යන්න නො වේ. ඒ කැමැත්ත (discretion) යුක්තියුක්ත කළ (justify) හැකි විය යුතුයි.



අද එවැනි දවසක් පැමිණ ඇති බව පැහැදිලියි. කතානායකගේ ක්‍රියා කලාපය නිසා අද 4(අ) අනුව්‍යවස්ථාව (ඊයේ ලිපිය බලන්න) ක්‍රියාත්මක වන්නේ නැහැ. (3) ව්‍යවස්ථාවත් සමග ගත්කල ජනතාවගේ පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියත්මක වීම ඇණහිට තිබෙනවා. එය රටේ ආරක්‍ෂාවට ස්ථාවරත්වයට තර්ජනයක්. එවිට ජනතාවගේ පරමාධිපත්‍යයේ විධායක බලය ක්‍රියාත්මක කරන විධායක ජනාධිපතිට 4(ඇ) යටතේ රටේ ආරක්‍ෂාව සඳහා පාරිලිමේන්තුව නැවත සක්‍රිය කිරීම සඳහා ක්‍රියා කරන්න සිදු වෙනවා. අද (3), 4(අ) හා 4(ඇ) යොදා ගෙන  62(2)  ක්‍රියාත්මක කිරීම යුක්තියුක්ත කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ එලෙසයි. ප්‍රශ්නය අධිකරණයට යොමු වුණොත් අද ඒ දවස ඇවිත් කියා කියන්න පුළුවන්. එහි දී 70(1)ට යටත්වන 33(2)(ඇ) අනවශ්‍ය වන්නේ රනිල් අගමැති ධුරය දැරීම නතර කිරීමේ දී ඊනියා ජාතික ආණ්ඩුව බිඳ වැටීම හා රනිල් අස් කිරීම අවශ්‍ය නොවූ අන්දමට.