පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනමත විචාරණයක්
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද ප්‍රශ්නයක් වෙලා. අද තියෙන්නේ ව්‍යවස්ථා
අර්බුදයක් නොවෙයි. ව්‍යවස්ථාවක අර්බුදයක්.
ව්‍යවස්ථාවක පටලැවිල්ලක්. ජේ ආර් ගේ 78 ව්‍යවස්ථාව
හා රනිල්ගේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ඇති වූ
අර්බුදයක්. මේ අර්බුදය කොහොමටවත් රනිල් වික්‍රමසිංහ කියන විධියේ එකක් නො වෙයි. එය
ඔහු කියන විධියට ඔහු හා මෛත්‍රිපාල අතර වූ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා ඇති වූ එකක්.
මෙය ජාතිකත්වය හා විජාතිකත්වය අතර ප්‍රශ්නයක්. ඊනියා ජාතික ආණ්ඩු කාලයේ ප්‍රශ්නය
මතු වූයේ රනිල්ගේ ආණ්ඩුව හා මෛත්‍රිපාලගේ ආණ්ඩුව අතර ප්‍රශ්නයක් ලෙසයි.
මෙය දින සියයේ ආණ්ඩුව කාලයේ සිට ම තියෙන ප්‍රශ්නයක්. බැඳුම්කර මගඩිය
එහි මුල් ම අවස්ථාව. එදා මෛත්‍රිපාලට ශක්තිය තිබුණේ නැහැ රනිල්ට විරුද්ධ වන්න.
ඩිව් ගුණසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න මෛත්‍රිපාලට සිද්ධ වුණා. අප
රනිල් ඉවත් කර මහින්ද අගමැති කළ යුතුය කියා කීවේ බැඳුම්කර දවස්වල ම. ඩිව් ගුණසේකර
වාර්තාව ඉල්ලා මා ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගියා.
ඒ ඉතිහාසය කියන්න ගියොත් මේ ලිපිය ඉවර කරගන්න බැරි වෙනවා. මෙවර
මහින්ද අගමැති කර ටික කලකින් ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුච තිබුණා. මේ
ආණ්ඩව භාරකාර සම ආණ්ඩුවක් ලෙසිනුයි මා විසින් හඳුන්වනු ලැබුයේ. මේ ආණ්ඩුවෙන් මා
බලාපොරොත්තු වූයේ වැඩක් කිරීමට වඩා රනිල් කරගෙන ගිය විජාතික වැඩ නතර කිරීම. එහෙත් අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රශ්නයක්
වෙලා. අද මෛත්‍රිපාලට මහින්දගේ ශක්තිය තියෙනවා. එහෙත් දෙදෙනා ම ව්‍යවස්ථාවෙන් බැඳ
තබලා.
දහනවයට අනුව ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 2015 අගෝස්තුවේ සිට අවුරුදු හතරහාමාරක් යන තුරු බලා ඉන්න සිදු
වෙනවා. එයට පෙර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මුතියකින් ජනාධිපතිගෙන්
ඉල්ලන්න පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස. එය ප්‍රායෝගික නැහැ. නවක මන්ත්‍රීන්ගේ
විශ්‍රාම වැටුප් ප්‍රශ්නයත් විසඳා ගන්න ඕන. ජනතාව එයට අකමැති වෙන්න පුළුවන්. එහෙත්
විශ්‍රාම වැටුපක් දෙන එක පංචානන්තරීය පාප කර්මයක් නො වෙයි.
එ ජා පක්‍ෂය හිතන් හිටියත් විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන්,
ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ අයවැය හෝ ප්‍රතික්‍ෂෙප
කිරීමන්, ආණ්ඩුව පරාජය වන්නේ නැහැ. පාර්ලිමේන්තුව
විසුරුවා හැරෙන්නේත් නැහැ. මා කලින් හිතන් හිටියේ අයවැය දෙවරක් ප්‍රතික්‍ෂප
කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බව. එහෙත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්
පසු එය කරන්න බැහැ. මේ අදාළ වගන්තිය දහනවයට හොරෙන් ඇතුළත් කළ එකක් වෙන්න පුළුවන්.
එහෙත් අද එය රටේ ව්‍යවස්ථාව. එයට විරුද්ධව දැන් අධිකරණයට යන්න බැහැ. පළාත් සභා
පනතත් හොරෙන් වැරදියට සම්මත කළ එකක්. එහෙත් අද එය රටේ නීතිය. එය ඉවත් කරන්න පුළුවන් පනතකින් පමණයි.
විශ්වාසභංග යෝජනා සම්මත කිරීම් ආදියෙන් සිදු වන්නේ අමාත්‍ය මණ්ඩලය
විසුරුවෙන එක පමණයි. එය 48(2) න් සිදු වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා
හැරෙන්නේ නැහැ. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද ක්‍ෂණික අවශ්‍යතාවක් වෙලා.
ඒ සඳහා අවුරුදු හතරහාමාරක් බලා ඉන්න බැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනතා
කැමැත්ත විමසා බලන්න පුළුවන්. ජනතාවට තමයි පරමාධිපත්‍යය තියෙන්නෙ. ජේ ආර් ජනමත
විචාරණයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් දමා ගත්තා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86
වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට තම මතය අනුව ජාතික වැදගත්කමකින් යුත් කරුණක්
සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්න පුළුවන්. මෙහිදී ද වැදගත් වන්නේ ජනාධිපතිගේ
මතය පමණයි. වෙනත් අයගේ , කතානායකගේ මහා කොමසාරිස්ලාගේ
තානාපතිලාගේ මතය එහි දී වැදගත් නැහැ. අඩු තරමෙන් පාර්ලිමේන්තුවෙන් විමසන්නවත් ඕන
නැහැ.
අද ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් මතු වෙලා. ඒ පාර්ලිමේන්තුව වහාම
විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීම. එයට වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ජේ ආර්
ජනමත විචාරණයක් පැවැත්තුවෙ පාර්ලිමේන්තුව කල් දාගන්න. එයට රනිලුත් එදා පක්‍ෂ වුණා.
ඒ දිනවල මා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමීති සම්මේලනයේ ලේකම්. එහෙත් මා සම්මේලනයේ
නමින් ජනමත විචාරණයට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කෙළේ නැහැ. ඒ එ ජා ප හිතවත්
ආචාර්යවරුන් ගැන හිතලා. මා කෙළේ විරුද්ධ ආචාර්යවරුන්ගේ අත්සන් ගෙන ඔවුන්ගේ නමින්
පමණක් ප්‍රකාශයක් නිකුත් කිරීම. මා මෙය සඳහන් කෙළේ වත්මන් වෘත්තීය සමිති නායකයන්ට
මග පෙන්වීමක් ලෙස.
අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ජනමත විචාරණයක් පවත්වන්න
පුළුවන්. පාර්ලිමේන්තුවේ 113 ලැබුණත් ප්‍රශ්නයක් වන්නේ නැහැ. ජනතා
කැමැත්ත ඇත්නම් ඉන්පසු මහා වහා ම මැතිවරණයක් පවත්වන්න පුළුවන්. එහි දී යම් යම්
ගැටළු ලැයිස්තු සම්බන්ධයෙන් ජාතික ලැයිස්තු සම්බන්ධයෙන් අභ්‍යන්තරික ව මතු වේවි.
එහෙත් ඒ සියල්ල ද්විතීයිකයි. ඒ විසඳා ගන්න බැරි ප්‍රශ්නත් නො වෙයි.