Main Logo

Friday 2 November 2018

රනිල්ගේ ගමන් මග අවසන් ද?

රනිල්ගේ ගමන් මග අවසන් ද?

මා කලකට පෙර කියා සිටියා අයවැයෙන් රනිල්ගේ ආණ්ඩුව පරාද කරන එක අමාරුයි කියා. එයට හේතුව බලයේ ඉන්න ආණ්ඩුවකට විරුද්ධ ව මන්ත්‍රීවරුන් ඡන්දය දීමට මැළි නිසා. ඒ නිසා ම තමයි මා කියා සිටියේ ජනාධිපති ලවා ම රනිල් ඉවත් කළ යුතු ය කියා. එසේ කර හදන ආණ්ඩුවකට මන්ත්‍රීවරුන් එකතු වේ ය කියාත් මා කිවුවා.


පසුගිය සිකුරාදා මහින්ද අගමැති ධුරයට පත් කිරීම ගැන මා සතුටු වුණා. එමෙන් ම මා හිතුවා දැන් 113ක්  ලබා ගැනීමේ ඉඩක් තියෙනවා කියා. එහෙත් රනිල් ඉවත් කිරීම පිළිබඳ  ඊනියා නීති විශාරදයන් කළ විවරණ ඇහුව ම මා දැනගත්තා ඔවුන් වැරදි පාරක යන බවත් රනිල්ගේ නීතිඥයන්ට අර නීති විශාරදයන්ගේ ඊනියා ජාතික ආණ්ඩු විසුරුවා හැරීම ආදී තර්ක බිඳ දැමීම අපහසු නොවන බවත්. මා ඒ ගැන ලිපියකුත් ලිවුවා. එංගලන්තය අලුත් ආණ්ඩුවට විරුද්ධව සටන් කරන බවත් ජී එල් වැනි ඊනියා නීති විශාරදයන්ගේ තර්ක එංගලන්තයට ආයුධ සපයන බවත් මට තේරුම් ගියා. ජී එල් වැන්නන් ගැන විශ්වාසය තැබීමෙන් මහින්ද අමාරුවේ වැටෙනවා.

මා දෙරණට කතා කර වතුර අල්විස් සමග සංවාදයක යෙදුණේ මහින්ද අගමැති ලෙස පත්කිරීමේ කිසිම නීතිමය ගැටළුවක් නැති බව තහවුරු කිරීමට. චතුර ඒ කාර්යය හොඳින් කරා. ඔහු ඇසූ සමහර ප්‍රශ්න මගේ මතයට විරුද්ධව ගියා. එය හොඳයි.  ඒවාට පිළිතුරු දීම මගින් මට මගේ මතය තහවුරු කිරීමට ඉඩ ලැබුණා. මෙය රටේ ජාතියේ ඉරණම විසඳන කාරණයක් බැවින් මාත් ඉතා සංයමයෙන් ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. මේ අතර විශ්වකර්ම ආයතනය ද මා සමග සාකච්ඡාවක් කළා. බොහෝ දෙනකු එය නරඹා ඇති බවට ආරංචියි. ඒත් වෙනත් කිසිම ජනමාධ්‍යයක්, දේශපාලනඥයෙක්, ජාතික ව්‍යාපාරයේ අයෙක් මා සමග ඒ ගැන වචනයක්වත් මේ ලියන මොහොත වන තුරුත් කතා කර නැහැ.

එංගලන්තය තර්කවලින් පැරදුනත් ඔවුන් තම කාර්යය කරනවා. අපට කළ හැක්කේ ඔවුන්ගේ ස්ථාවරය දුර්වල කිරීම පමණයි.  රනිල් හා කරු ජයසූරිය බටහිර රටවලින් ආධාර බලාපොරොත්තු වූවා. රනිල් තමා අගමැති බව නිර්භය ව කීවේ ඊනියා ජාතික රාජ්‍යය කතාව හා තමා අස්කිරීම අවුලක් නිසාත්. රනිල් එසේ නිරභය ව ඉන්න විට එ ජා පාක්‍ෂිකයන් අලුත් ආණ්ඩුවට එකතු වීමේ දී දෙසැරයක් හිතනවා.  113ක් ම අවශ්‍ය නැහැ. විශ්වාසභංග යෝජනාවක් ගෙනාවෙත් එය පරාජය කිරීමට තරම් මන්ත්‍රී සංඛ්‍යාවක් සිටීම මුල් අවස්ථාවේ ප්‍රමාණවත්. එසේ නොතිබුණොත් රනිල්ටත් බටහිරයන්ටත් ශක්තියක් ලැබෙනවා.

පාර්ලිමේන්තු සැසි වාරය කල් දැම්මේ අතුරු අයවැය සකස් කිරීමට පමණක් නොවෙයි. මන්ත්‍රීනුත් සකස් කර ගන්න තිබුණා. චම්පකලා රාජිතලා සිකුරාදා ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කතා කළා. කරු ජයසූරියත් ඒ වැඩේ ඉන්න ඇති. ජ වි පෙරමුණත් හිටියා. ඔවුන් නුගේගොඩ රැස්වූයේ තමන් රනිල් අගමැති ලෙස පිළිගන්නා බව බටහිරට දැනුම් දෙන්න.  මා අරාබි වසන්තයක් ගැන ලිවුවේ ඒ අනතුර අපේ ඇත්තන්ට දැනුම් දෙන්න. අවශ්‍ය මන්ත්‍රීන් සංඛ්‍යාව නොතිබුණා නම් එය සිදුවන්න තිබුණා. මන්ත්‍රින් ඉන්න බව තේරෙන විට කරු ජයසූරිය පසු බැස්සා.  ඔහු අගමැති අසුන මහින්දට දෙන්න පොරොන්දු වුණා.

දැන් අනතුර බොහෝ දුරට පහ වී ගොස්. අලුත් ආණ්ඩුවට අවශ්‍ය මන්ත්‍රීන් සංඛ්‍යාව ඇති බව පේනවා. පාර්ලිමේන්තුව පස්වැනි දින කැඳවනවා. එ ජා පෙරමුණ එය තමන්ගේ ජයග්‍රහණයක් ලෙස හුවා දක්වනවා. එහෙත් පස්වැනි දා පාර්ලිමේන්තුව කැඳවීම එ ජා පෙරමුණේ පරාජයක්. එ ජා පෙරමුණට දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් ඇත්තේ අනූ ගණනක් පමණයි. අලුත් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ජයග්‍රහණය කර අවසන්.

එහෙත් පාර්ලිමේන්තුවෙන් පිටත සටන තවමත් පවතිනවා. එංගලන්තය දන්නවා අලුත් ආණ්ඩුව ලවා ඔවුන්ට අවශ්‍ය දේ කර ගැනීමට බැරි බව. එ ජා පෙරමුණ සමහර විට පස්වැනි දා සභා ගැබේ නටන්න ඉඩ තියෙනවා. එහෙත් මහින්දානන්ද අලුත්ගමගේ කියන විධියට් පාර්ලිමේන්තුව වටා විශාල ජනකායක් සිටියොත් එ ජා පෙරමුණ තම නැටුම අත් හරින්න ඉඩ තියෙනවා.

රවි කරුණානායක හා සජිත් ප්‍රේමදාස එ ජා ප නායකත්වයෙන් රනිල් නෙරපීමේ උත්සාහයක ඉන්න බව පැහැදිලියි. ඔවුන් දෙදෙනා අතර ඒ පිළිබඳ ගැටුමක් ඇති වෙන්නත් පුළුවන්. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ පක්‍ෂය වූ එ ජා පක්‍ෂයට බෞද්ධ නායකයන් හොයා ගන්නත් අපහසුයි. හිටියත් ඉන්නේ කරු ජයසූරිය වැන්නවුන්. එවැනි පසුබිමක චම්පක වැන්නකු නායකත්වයට ඒමට උත්සාහ ගන්න පුළුවන්. මා එකල කී බෙල් බොටම් විහාර මහා දේවිලා ඔහුට සහාය දෙන්න ඉඩ තියෙනවා.   එ ජා පක්‍ෂයට ඡන්දය දෙන අය මේ ගැන හිතුවොත් හොඳයි.

අරාබි වසන්තය මෙවරත් පහව යන ලකුණු පේන්න තියෙනවා. එහෙත් විමසිල්ලෙන් ඉන්න ඕන. ප්‍රමාද නොවී ට්‍රම්ප්ට අලුත් ආණ්ඩුව ජාතිකත්ව ආණ්ඩුවක් බව පෙන්වන්න ඕන. එසේ නොවුණහොත් සුපුරුදු පරිදි ලංකාව සම්බන්ධයෙන් එක්සත් රාජ්‍ය එංගලන්තය පසුපස යන්න පුළුවන්. ඉන්දියාව තවමත් නිහඬයි. එය එතරම් සුභදායක නැහැ. ඉන්දියාව අලුත් ආණ්ඩුවට විරුද්ධ නැහැ. අලුත් ආණ්ඩුව පිහිටුවීමේ දී  යම්කිසි කොටසක් කර ඇත්තේ ඉන්දියාව බව පැහැදිලියි. නාමල් කුමාරගේ රෝ කතාව කෙසේ වෙතත් වෙනත් රෝ කතාවක් තියෙනවා. රනිල්ට අවශ්‍ය ඉන්දියාව අලුත් ආණ්ඩුව කෙරෙහි බිඳවන්න. මෛත්‍රිපාලගේ රෝ කතා ගැන රනිල් ඉන්දීය ජනමාධ්‍යවේදියකුට කියන්නේ නිකම් නො වෙයි. දැනට ඉන් එතරම් වැඩක් වෙන එකක් නැහැ. එහෙත් අප අවදියෙන් සිටිය යුතුයි.