නීතියේ පරස්පර
මහා නීති විශාරදයන් සටනට බැහැලා. නීතිය පිළිබඳ කිසිම උගත්කමක් නැති
මා කියන දේට වඩා නීති විශාරදයන් කියන දේ ජනතාව හා දේශපාලනඥයන් පිළිගන්නවා. මාධ්‍යවේදීන්
අතිවිශාල බහුතරය නම් මා කියන දේ තුට්ටුවකවත් ගණන් ගන්නේ නැහැ. රුපියල් අස්සෙ
අලුක්කාල් ගහන්නෙ මොනවට ද කියලා අප කුඩා කාලයේ කතාවක් තිබුණා. දැන් රුපියලත්
අලුක්කාලක් වෙලා. නීති විශාරදයන් ද අලුක්කාල් වෙලා. ඒ නිසා නීති විශාරදයන් කියන දේ
ගැන අපටත් කතා කරන්න පුළුවන් අලුක්කාල හා රුපියල අතර ඒ තරම් වෙනසක් නැති නිසා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන විවිධ කතා පළවෙනවා. සමහරු අවංකව ම
සමහර මත ඉදිරිපත් කරනවා. එහෙත් තවත් සමහරු වංචනික ව උපදෙස් දෙනවා. ඒ මොකට දැයි
අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. මහින්ද පත් කිරීමේ දී රනිල් අස් කිරීම, ඊනියා ජාතික ආණ්ඩුව අහෝසි වීම ආදී කතා කියා එය
අවුල් කර දැම්මා. අද එහි විපාක විඳින්නට සිදු වී තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා
හැරීමත් අවුලක් කිරීමට ඇතැමුන් වෙහෙසනවා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මා දන්නා තරමින් ව්‍යවස්ථාවේ
තැන් තුනක සඳහන් වෙනවා. ව්‍යවස්ථාවත් පනතක්. පනත්වල සංගත නොවන තැන් තියෙනවා. ගණිත
ප්‍රමේය සාධනවලත් අසංගත තැන් තිබෙනවා. පනත් ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ.
එවැනි අසංගත තැන් අප හොඳින් හදාරා නිගමනවලට පැමිණිය යුතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන්
සෘජුව ම කියන තැන් මෙසේයි. මා මේ සඳහන් කරන්නේ දහනවවැනි සංශෝධනයට පසුවයි.
ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය
හා කර්තව්‍ය ගැන සඳහන් වන 33 වැනි ව්‍යවස්ථාවේ 33 (2) (ඇ) යටතේ මෙසේ කියැවෙනවාඃ (ජනාධිපතිවරයාට)
පාර්ලිමේන්තුව කැඳවීමට වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ ය.
පාර්ලිමේන්තුව ගැන කියැවෙන 62 වැනි ව්‍යවස්ථාවේ 62(2) අනුව්‍යවස්ථාව
මෙසේයිඃ සෑම පාර්ලිමේන්තුවක් ම පළමුවරට රැස්වීමට නියමිත දින පටන් පස් අවුරුද්දකට
නොවැඩි කාලයක් පවත්නේ ය. එහෙත් නියමිත කාල සීමාව ඉකුත්වීමට පෙර පාර්ලිමේන්තුව
විසුරුවා හැරිය හැක්කේ ය. එකී පස් අවුරුදු කාලය ඉකුත් ව ගිය විට ම පාර්ලිමේන්තුව
විසිර ගියාක් සේ සලෙකෙන්නේ ය.
පාර්ලිමේන්තුවේ සභාවාර ගැන කියැවෙන්නේ 70 වැනි ව්‍යවස්ථාවෙන්. එහි 70(1) අනුව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවාඃ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක්
මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය.
එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි
මන්ත්‍රීවරයන් ද ඇතුලුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා
හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු
ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින්
පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය.
මෙහි ඇති වියරණ දොස් පැත්තකින් තියමු. ඒ ඒ අනුව්‍යවස්ථා තනි තනිව
ගතහොත් හෝ ඕනෑම දෙකක් එක්වර ගතහොත් හෝ අනුව්‍යවස්න තුනම එකට ගතහොත් හෝ විවිධ දේ කියැවෙනවා. එය හත් ආකාරයකින් කරන්න
පුළුවන්. ඒ ඒ නීතිඥයාට අවශ්‍ය අන්දමට අනුව්‍යවස්ථා අරගෙන නිගමනවලට එන්න පුළුවන්. 62(2)
හි පාර්ලිමේන්තුව විසුරුවා හරින කෙනකු ගැන
කියැවෙන්නේ නැහැ. එය පමණක් ගතහොත් කියැවෙන දෙය නොවෙයි එය හා 33(2) (ඇ) එකට ගතහොත් කියවෙන්නෙ. ඒ අනුව්‍යවස්ථා දෙක
පමණක් ගතහොත් කියැවෙන්නේ ජනාධිපතිට ඕනෑම දවසක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි
බවයි.
එහෙත් 70(1) ද සමග 33 (2) (ඇ) ගතහොත් කියැවෙන්නේ ජනාධිපති පාර්ලිමේන්තුව තමාගෙන් තුනෙන් දෙකේ
ඡන්දයකින් ඉල්ලා සිටියහොත් මිස අවුරුදු හතරහාමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා
නොහැරිය යුතු බවයි. 70 (1) පටන් ගන්නේ 33(2) (ඇ) බලතල කියමින්. එහි දෙවැනි ඡෙදය ආරම්භ වන්නේ
ඒ එසේ වුව ද කියා 33(2) (ඇ) අනුව්‍යවස්ථාවට යම් බාධා ඇති
කරමින්.
අපට මේ අනුව්‍යවස්ථා තුන ම එකට ගන්න සිදු වෙනවා. එවිට එළඹිය හැකි
නිගමනය නම් අර තුනෙන් දෙකේ යෝජනාව නොමැතිව ජනාධිපති පළමු රැස්වීමේ සිට අවුරුදු
හතරහාමාරකට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුතු බවයි. එහෙත් එයින්
කියැවෙන්නේ නැහැ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වෙනත් ක්‍රමයක් නැති බවක්.
මා සමීපයේ සිටි බොහෝ දෙනකුට දැන් මට වඩා හොඳින් කරුණු තේරුම් ගන්න පුළුවන්. ඉදිරියේ දී ලිපි ලිවීමත් ඔවුන් කරගෙන යනු ඇතැයි සිතනවා. කොහොමටත් ඔවුන් දැනටමත් මා නැතුව විශාල වැඩ කොටසක් කරනවා.