Main Logo

Thursday 15 November 2018

ඊනියා විශ්වාසභංගයෙන් පසු කළ යුතු දේ


ඊනියා විශ්වාසභංගයෙන් පසු කළ යුතු දේ





ජනාධිපති පසුගිය නවවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු විවිධ පාර්ශ්ව දොළොස්වැනි සඳුදා එයට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රෙෂ්ඨාධිකරණය පසුදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටෙවුවා.  ඒ සමග මැතිවරණ කොමිසමට ද තහනම් නියෝගයක් නිකුත් කළා.





ශ්‍රෙෂ්ඨාධිකරණය දී ඇත්තේ අතුරු තහනම් නියෝගයක් පමණයි. එහි තීන්දුව දෙසැම්බර් හත්වැනි දා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රෙෂ්ඨාධිකරණ අතුරු තහනම්  නියෝගයත් සමග ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය තාවකාලික ව ඇණ හිටි අතර පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ඔහු ගත් පියවර විසුරුවා හැරීමට පෙර තිබූ තත්වයට ගියා.



එයින් කියැවෙන්නේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර නව සැසිවාරයක් ඇරඹීමට තිබූ තත්වයට ගිය බවයි. ඒ අනුව නොවැම්බර් දහහතරවැනි දා පාර්ලිමේන්තු නව සැසිවාරයක් කැඳෙවුවා. ඒ ශ්‍රෙෂ්ඨාධිකරණ අතුරු තහනමට එකඟ වෙමින්. දහහතරවැනි දිනට පසු ජනාධිපති ක්‍රියා කළ යුත්තේ ශ්‍රෙෂ්ඨාධිකරණය දෙසැම්බර් හත්වැනි දා දිය හැකි තීන්දුව සමග පරස්පරවලට නොගොස් දිගට ම ක්‍රියා කිරීමට හැකි වන ආකාරයකින්.



දහහතරවැනි දා පාර්ලිමේන්තුව කතානායක විසින් මෙහෙයවනු ලැබුයේ සම්ප්‍රදායට හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට පටහැණි ව. එහි දී පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය හරියට නියම කෙරී නැහැ. පාර්ලිමේන්තුව රැස් විය යුතුව තිබුණේ දහහතරවැනි දාට පසු ඊළඟ රැස්වීම් දිනයේ. එහෙත් එයට පටහැණිව කතානායක පහළොස්වැනි දා පාර්ලිමේන්තුව  රැස්වීමට තීරණය කරලා. (දහහතරවැනි දා පළ වූ අද සිදු වූයේ කුමක් ද ලිපිය කියවන්න). 



ශ්‍රෙෂ්ඨාධිකරණය ලබන හත්වැනි දා කිනම් තීන්දුවක් දේවි ද යන්න දන්නේ නැහැ. එතෙක් ජනාධිපති ක්‍රියා කළ යුත්තේ ඒ තීන්දුව කුමක් වුවත් එය සමග නොගැටෙන ආකාරයකට. යම් අයුරකින් ජනාධිපති වත්මන් අගමැති හා අමාත්‍ය මණ්ඩලය වෙනුවට වෙනත් අගමැති කෙනකු හා වෙනත් අමාත්‍ය මණ්ඩලයක් පත් කර තිබී ශ්‍රෙෂ්ඨාධිකරණය ජනාධිපති  පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අනුමත කළහොත් එවිට පරස්පරයක් ඇති වෙනවා. ශ්‍රෙෂ්ඨාධිකරණය එවැනි තීන්දුවක් දුන්නොත් එයින් කියැවෙන්නේ වත්මන් අගමැති හා ඇමති මඬුල්ල නීත්‍යානුකුල බවයි. කොහොමටත් ශ්‍රෙෂ්ඨාධිකරණය වත්මන් අගමැති හා අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථානුකූල නොවේ යැයි තීරණය කර නැහැ.



ජනාධිපති නව අගමැති කෙනකු හා ඇමති මණ්ඩලයක් පත් කර තිබුණොත් එවිට වත්මන් අගමැති හා අමාත්‍ය මණ්ඩලයට අසාධාරණයක් වෙනවා. එබැවින් සුදුසු ම ක්‍රියාව දෙසැම්බර් 8 වැනි දා තෙක් මේ අගමැති හා අමාත්‍ය මණ්ඩලය පවත්වාගෙන යාමයි. නොවැම්බර් දහහතරවැනි දා වත්මන් අගමැති ට හා අමාත්‍ය මණ්ඩලයට විරුද්ධ ව නිත්‍යානුකූල ව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට නොහැකි වීම නිසාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වත්මන් අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ නැහැ. ඒ ඊනියා විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයක් තිබුණේ නැහැ. අරාබි වසන්තය මෙහෙයවීමට බලාපොරොත්තුවන බටහිර තානාපතිවරුන්ට විවාදයක් නැතිව කතානායක යෝජනාව කියවන්නේවත් නැතිව ඊනියා විශ්වාසභංග යෝජනා ගෙන ඒම සුපිරි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නැති. යෝජනාව විනාඩි පහළොවකින් සම්මත කර ගත්තේ ලෝක නිවටයා ලෝක වාර්තාවක් පිහිටුවමින්.



ඉහත සඳහන් සියලු කරුණු සලකා බලා  ජනාධිපති කළ යුත්තේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කැමැත්ත අකැමැත්ත විමසා ජනමත විචාරණයක් නොපවත්වන්නේ නම්,  ශ්‍රෙෂ්ඨාධිකරණයේ තීන්දුවකට පටහැණි නොවන ආකාරයෙන් දිගට ම කටයුතු කිරීම සඳහා දෙසැම්බර් අටවැනි දා තෙක් පාර්ලිමේන්තුව නොකැඳවීමටත් එතෙක් වත්මන් අගමැති ඇතුලු අමාත්‍ය මණ්ඩලය පවත්වාගෙන යෑමටත් අමාත්‍ය මණ්ඩල රැස්වීම් හුදෙක් එදිනෙදා කටයුතු ගැන තීරණ  ගැනීමටත් කටයුතු කිරීමයිි. පාර්ලිමේන්තුව එයට පෙර කැඳවා දෙසැම්බර් අටවැනි දා දිය හැකි තීන්දුවට පටහැණි ආකාරයකින් ක්‍රියා කර තිබුණොත් විවිධ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මෙලෙස ක්‍රියා කළ යුත්තේ ශ්‍රෙෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගයට ගරු කරමින් අවසන් තීන්දුවට පටහැණි නොවන අයුරකින් කටයුතු කිරීම සඳහායි.



දෙසැම්බර් හත්වැනි දා තීන්දුව අනුව ඉන් පසු ක්‍රියා කරන්නේ කෙසේ දැයි තීරණය කරන්න පුළුවන්. එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් ද ජනමත විචාරණයක් පැවැත්මීමක් ද නැත්නම් වෙනත් ක්‍රියා මාර්ගයක් ද යන්න හත්වැනි දා තීරණය කරන්න පුළුවන්.



එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අක්‍රීය කිරීම නම් ප්‍රශ්නයක්. දෙසැම්බර් හත්වැනි දා තීන්දුව ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල බව නම් මැතිවරණය ජනවාරි පස්වැනි දා පැවැත්විය යුතුයි. එහෙත් මැතිවරණ කොමිසමේ ඒ සම්බන්ධ වැඩ අත්හිටුවා ඇති බැවින් ජනවාරි පස්වැනි දා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට නොහැකි වේවි.