පේරාදෙණි ගුරුකුලය – පූර්විකාව
පේරාදෙණි ගුරුකුලය ගැන ලිවීම කල් ගියේ දේශපාලන මාතෘකා නොකඩවා පැමිණි
නිසා. අප සියල්ලන් ම දේශපාලනික මෙන් ම
සංස්කෘතික මිනිසුන්. අපේ සංස්කෘතිය මගින් දේශපාලනයත් දේශපාලනය මගින් සංස්කෘතියත්
තීරණය වෙනවා. ආර්ථික කරුණු බල නොපානවා නො වෙයි. පේරාදෙණි ගුරුකුලය ගැන ලිවීමේ දී
මේ සියල්ල ගැන සැලකිලිමත් වෙන්න ඕන. පේරාදෙණියට ශාස්ත්‍ර පීඨය ගෙන ගියේ 1952 දී වුවත් අද පේරාදෙණි ගුරුකුලය යනුවෙන්
හැඳින්වෙන්න ඇරඹුණේ 1921 කොළඹ විශ්වවිද්‍යාලයීය ආයතනය පටන්
ගැනීමටත් පෙර.
අප සියල්ලන් ම පාහේ පරම්පරා කිහිපයකට පෙර සිංහල බෞද්ධ සංස්කෘතියට
අයත් වූවන්. සිංහල බෞද්ධ සංස්කෘතිය සජාතීය සංස්කෘතියක් නොවුණත් එහි හඳුනාගත හැකි
පොදු ලක්‍ෂණ තිබුණා. අද සිංහල කතෝලික/ක්‍රිස්තියානි සංස්කෘතීන්ට අයත් වූවන් ද
පරම්පරා කිහිපයකට පෙර සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් වූවන්. බටහිරයන් පැමිණීමෙන් පසු
අප එකිනෙකාගේ සංස්කෘතියේ සිංහල බෞද්ධ සංස්කෘතික මුල් සංරචකය සාපේක්‍ෂ ව අඩු වෙන්න
පටන් ගත්තා.
බටහිර ඉහළ අධ්‍යාපනයක් ලැබුණේ ඉංගිරිසි පාසල්වල. ඒ පාසල්වල, ඊනියා බෞද්ධ පාසල් ද ඇතුළුව, අධ්‍යාපනික සංස්කෘතිය වුණේ ඉංගිරිසි
කිස්තියානි. ගාල්ලේ බොනවිස්ටා විදුහලේත් කොළඹ ආනන්ද විදුහලේත් තත්වය එසේමයි. මේ
පාසල්වලින් කෙරුණේ අපට ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතික අංග හඳුන්වා දීමයි.
සිසුන් අඩු වැඩි වශයෙන් ඒ සංස්කෘතිය උරා ගත්තා. ගෙදර පරිසරය අනුවත් එය වෙනස් වුණා.
ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතිය තදින් වැළඳ ගත් අයගේ වුවත් සිංහල බෞද්ධ
සංස්කෘතික ලක්‍ෂණ ඉතා අඩුවෙන් නමුත් ඉතිරි වුණා. අප කිසිවකුටවත් ඉංගිරිසි ක්‍රිස්තියානි
සංස්කෘතිය මුළුමනින් ම වැළඳ ගන්න බැරි වුණා. චින්තනයෙන් නම් එය කොහොමටත් අමාරු
කටයුත්තක් වුණා. අප සියල්ලන්ට වියුක්ත චින්තනය අදටත් නුහුරුයි. ඉංගිරිසි සංස්කෘතික
ලක්‍ෂණ බාහිරින් වැළඳ ගැනීම එකක්. චින්තනයේ ඇතැම් අංග (සියල්ල නොව) වැළඳ ගැනීම
තවත් එකක්.
පහළොස්වැනි සියවස අවසන් භාගයේ බටහිර යුරෝපයේ සිදු වූ චින්තන පෙරළිය
අපට විසිඑක්වැනි සියවසේත් ලැබී නැහැ. මා එය ලැබිය යුතු යැයි කියනවා නො වෙයි. අප
සංස්කෘතියෙන් වෙනස් වූ ප්‍රමාණයට අනුරුප ව චින්තනයෙන් වෙනස් වී නැහැ. මෙය විශාල ප්‍රශ්නයක්.
අප සංස්කෘතියෙන් වෙනස් වී ඇත්තේ අනුකාරික ව පමණයි. ඉතා කෙටියෙන් කිවහොත් බටහිර
කතෝලික චින්තනයෙන් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට වූ විප්ලවකාරී වෙනස අපට
ලැබී නැහැ. සිංහල කතෝලිකයන් ද ඉන්නේ සිංහල බෞද්ධ චින්තනයෙහි හා පහළොස්වැනි සියවසට
පෙර කතෝලික චින්තනයෙහි මිශ්‍රණයක. බටහිරයන් චින්තන විප්ලවයෙහි ප්‍රතිඵලයක් ලෙස නව
චින්තනයක් ඇති කර ගැනීමටත් ඒ චින්තනය තුළ ඉඳිමින් ම තම සංස්කෘතීන් ප්‍රශ්න
කිරීමටත් ඉගෙන ගත්තා. සිංහල බෞද්ධ
චින්තනයෙහිත් බටහිර කතෝලික චින්තනයෙහිත් ඒ ලක්‍ෂණය නැහැ.
ඉංගිරිසි අධ්‍යාපනය තහවුරුවත් ම ඒ ලබාගත් යම් පිරිසක් බටහිර
චින්තනයෙහි නොව ඒ මත ගොඩනැගුණු සංස්කෘතියෙහි පදනම් ව සිංහල බෞද්ධ සංස්කෘතිය
විවේචනය කරන්න පටන් ගත්තා. ඔවුන් බටහිර දැනුමෙන්, විශේෂයෙන් ම විද්‍යාවෙන් හා තාක්‍ෂණයෙන් වශී වුණා. ඒ සමග ඇති වූ
ශාස්ත්‍රීය වෙනස්කම්, සාහිත්‍යමය වෙනස්කම් ඔවුන්ගේ සිත්
ගත්තා. මෙය එක්තරා ආකාරයකින් පරස්පරයක්. බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි
චින්තනයෙහි නැති වුවත් ඔවුන් හැඳි ගෑරුප්පු සෙල්ලමේ (දැන් තවත් අනුකාරික ව පිහි
ගෑරුප්පු සෙල්ලම), ආලිංගන නැටුමේ සිට යුරෝපීය ඇඳුම් ඇඳීම
ඉංගිරිසි බස පරිහරණය කිරීම, විද්‍යාව තාක්‍ෂණය හා සාහිත්‍යය කලා
ශිල්ප ඇගයීම, ක්‍රිකට් ටෙනිස් රගර් ආදී ක්‍රීඩා
කිරීම් ඇතුළු සංස්කෘතික ලක්‍ෂණ දක්වා අනුකරණය කරා. සංස්කෘතියක් අනුකරණය කළ හැකි
වුවත් චින්තනයක් අනුකරණය කරන්න බැහැ. අපට අදත් මේ ප්‍රශ්නය තියෙනවා. අප මෝටර් රථ
පදවනවා. එහෙත් අදාළ චින්තනය අපට නැහැ. මෝටර් රථ අපට ලැබුණේ උඩින්. අපට මහා මාර්ග
භාවිතය තේරෙන්නේ නැහැ. වමෙන් පදවන එක පමණක් කරනවා. ඒත් නොකර බැරි කමට.
පහළොස්වැනි සියවසේ කතෝලික ආගමෙන් කැඩුණු බටහිර උගතුන් කතෝලික ත්‍රිකෝටික
න්‍යාය වෙනුවට ද්විකෝටික න්‍යාය තදින් වැළඳ ගත්තා. පංචෙන්ද්‍රිය ගෝචර මරියතුමිය
වෙනුවට, බටහිර ආසියාතිකයන් මෙන් පංචෙන්ද්‍රිය
ගෝචර නැති සිතෙන්වත් මවාගත නොහැකි දෙවියන් වහන්සේ ම වැළඳ ගත්තා. සාමූහිකත්වය
වෙනුවට .පෞද්ගලිකත්වය වැළඳ ගත්තා. දෙවියන් වහන්සේ සමග තනිව ම කෙලින් ම සම්බන්ධ
වන්න ඉගෙන ගත්තා. බටහිර යුරෝපයෙහි දැනුම ඇතුළු සංස්කෘතිය නව චින්තනය මත පදනම් වීමට
පටන් ගත්තා. ඔවුන්ට තම චින්තනය තුළ හිඳිමින් සංස්කෘතිය ප්‍රශ්න කිරීමට හැකි වුණා.
තමන්ට අනවශ්‍ය දෑ හා බාධක අත්හැරීමට ඔවුන් ඉගෙන ගත්තා. ඔවුන් තම චින්තනයෙහි අලුත්
දෑ නිර්මාණය කළා. ඒ අතර හේතුවාදය තදින් ගත්තා. හේතුව යනු යම් සංසිද්ධියක් විස්තර
කරන, තේරුම් කරන, හිතළු පමණක් වුණා. හිතළු වෙනස් කිරීමට ඔවුන් පසුබව වුණේ නැහැ. ඉන්ද්‍රිය
ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට, විස්තර කිරීමට, ඉන්ද්‍රිය ගෝචර නොවන හිතළු නිර්මාණය කළා. ඉන්ද්‍රිය
ගෝචර නොවන හිතළු විශ්වාස කළා. එය යථාර්ථය කියා කිව්වා. වැළඳගත් දෙවියන් වහන්සේ බුද්ධිමය වශයෙන් ප්‍රතික්‍ෂෙප කළත් දෙවියන් වහන්සේගෙන් ගලා එන
ඊනියා යථාර්ථයක් වාස්තවිකත්වයක් විශ්වාස කළා.
බටහිර විද්‍යාවේ මේ සියල්ල දැකිය හැකියි.
අපට මේ චින්තනය වැළඳ ගන්න බැහැ. දෙරණ නාළිකාව කියනවා අපේ දේ රැකගෙන
අලුත් දේ අරගෙන වැනි කතාවක්. එය ප්‍රකාශයකට වැඩි දෙයක් නො වෙයි. අප අලුත් දේ
නිර්මාණය කරන්නේ නැහැ. අලුත් දේ අනුකරණය කරනවා පමණයි. සියවස් ගණනක් තිස්සේ මේ ප්‍රශ්නය
අපට තියෙනවා. අප බටහිර චින්තනය නැතිවත් බටහිර නූතනත්වයට, සංස්කෘතික ආධිපත්‍යයට යට කර ගෙන.
මා මේ පූර්විකාව කෙළේ පේරාදෙණි සාහිත්‍යය යනු හුදු අනුකරණයක් පමණක්
බවත් එහෙත් එය සාහිත්‍යයට පමණක් සීමා නොවූ බවත් මේ සියල්ල බටහිර ක්‍රිස්තියානි
(කතෝලික නොවන) නූතනත්වයට යටවීමක් බවත් කීම සඳහා. එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, සිරි ගුණසිංහ ආදීන් මේ නූතනත්වය ඒ ඒ ප්‍රමාණවලින් අනුකරණය කළ අය.
ඔවුන් බටහිර නූතනත්වයට, එහි ආධිපත්‍යයට යට වූ අය. ගුණපාල
මලලසේකර, ඩී ඊ හෙට්ටිආරච්චි, කේ එන් ජයතිලක ආදීන් ඔවුන්ගෙන් වෙනස් වන්නේ ප්‍රමාණාත්මක
ව පමණයි. පේරාදෙණි ගුරුකුලය පේරාදෙණිය විශ්වවිද්‍යාලයටවත්, එහි ශාස්ත්‍ර පීඨයටවත්, සිංහල අධ්‍යනංශයටවත්, සරච්චන්ද්‍රටවත් සීමා වන්නේ නැහැ. ලිබරල් වේවා මාක්ස්වාදී වේවා
දේශපාලනයෙහි මේ යටත්වීම දැකිය හැකියි. මාක්ස්වාදය ද යටත්විජිතවාදයක් පමණයි. සාහිත්‍ය කතාව සමස්ත කතාවක අංශයක් පමණයි. අපි
ඉඩ ලැබෙන පරිදි මේ ගැන තවත් කතා කරමු.