Main Logo

Wednesday 16 January 2019

වම හා වම


වම හා වම



පැරණි වම හා නව වම අතර ඇති මූලික වෙනස කුමක් ද? අද වමක් ගැන කතා කිරීම වැඩකට නැති දෙයක් වුවත් මෙය යම් ප්‍රමාණයකින් හෝ සාකච්ඡා කිරීම ඇතැමුනට වැදගත් යැයි සිතනවා. එය සිංහල සමාජයේ බෙදීම් ගැනත් යම් හැදෑරීමක් වෙනවා. නව වම කියන එකත් අද වයස අනුව මෙන් ම භාවිතයෙන් ද පැරණි වමක් වෙලා. ජ වි පෙ ආරම්භ වුණේ හැටේ දශකයේ අග භාගයේ කියා හිතන්න පුළුවන්. එහෙම ගත්තත් අද වන විට ජ වි පෙරමුණටත් අවුරුදු පනහක් පමණ වෙනචා. එහෙත් කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අද තියෙන්නෙ අනූවේ දශකයේ මුල්භාගයට පෙර තිබූ ජ වි පෙරමුණ ද කියා. පෙරටුගාමින් කියන්නෙ විශ්වවිද්‍යාලවලට සීමා වුණු පක්‍ෂයක්. ජ වි පෙරමුණෙන් බිහි වුණත් ඔවුන් භාවිතයෙන් පැරණි වමේ නෂ්ටාවශේෂයක් පමණයි.




මෙරට මාක්ස්වාදී වාමාංශික ව්‍යාපාරය ඇරඹුණේ පිටරට ගොස් සිටි තරුණයන් පිරිසක් තිස්ගණන්වල මාක්ස්වාදීන් බවට පත්ව ආපසු පැමිණීමෙන් පසුය කියා හිතන්න පුළුවන්. එයට පෙර ඒ ඊ ගුණසිංහගේ කම්කරු පක්‍ෂයක් තිබූ නමුත් එය මාක්ස්වාදය මත පදනම් වුණෙ නැහැ. පිලිප් ගුණවර්ධන, එන් එම් පෙරේරා, එස් ඒ වික්‍රමසිංහ ආදීන් එසේ ආපසු පැමිණි මාක්ස්වාදීන්. කොල්වින් ආර් ද සිල්වා මාක්ස්වාදියකු වූයේ ලංකාවට ආපසු පැමිණීමෙන් පසුව බවට මතයක් තියෙනවා.



මේ තරුණයන් පිටරට ගියේ තම පියවරුන්ගේ මුදල් බලය මත පදනම් වෙලා. එයින් පැහැදිලි වන කරුණක් නම් ඒ අය දුගීන් නොවූ බවයි. ඔවුන්ට ලංකාවේ දී හා බටහිර රටවල (එංගලන්තයේ හා ඇමරිකන් එක්සත් ජනපදවල) සමාජ අසාධාරණය දැක ගන්නට හැකි වෙන්න ඇති. පිලිප් ගුණවර්ධන මහතාට එක්සත් ජනපදවලට යෑමට පෙර තම පියා ඉංගිරිසින් විසින් අත්අඩංගුවට ගනු ලැබීම පිළිබඳ ව අත්දැකීම්  තිබුණා. එහෙත් ඔහු මාක්ස්වාදියකු බවට පත් වූයේ එක්සත් ජනපදවලට යෑමෙන් පසුවයි.



බටහිර රටවල මේ තරුණයන්ට වර්ණ භේද සංස්කෘතියකට මුහුණ දීමට වූවා නිසැකයි. එහෙත් එය ඔවුන්ගේ හිතට දැණුනු එකක් වී ද? ඔවුන් මාක්ස්වාදීන් වූයේ අසාධාරණය හැඟීමෙන් (විඳීමෙන්) දත් දෙයක් වූ නිසා ද, නැත්නම් බුද්ධියෙන් දත් දෙයක් වූ නිසා ද? එකල අධ්‍යාපනය සඳහා බටහිර රටවලට ගිය ආසියාතික අප්‍රිකා තරුණයන්ට(තරුණියන් එතරම් පිරිසක් ගියේ නැහැ) තම තනිය කාන්සිය වර්ණ භේදය ආදී කරුණු නිසා තමන් පිළිගනු ලැබූ සංවිධානයකට බැඳීමේ වැදගත් කමක් තිබුණා නිසැකයි. මාක්ස්වාදී සංවිධාන හා බොහෝ විට යුදෙව් තරුණියන් මේ තරුණයන් පිළිගත්තා. යුදෙව්වන්ට එකල බටහිර රටවල කෙණෙහිළිකම්වලට අසාධාරණ පිළිගැනීම්වලට මුහුණ දෙන්න සිදුවුණා. යුදෙව් තරුණියන් ආසියාතික තරුණයන්ගෙන් සෙනහෙස බලාපොරොත්තුවීම තේරුම් ගත නොහැකි කරුණක් නො වෙයි.



පුරෝගාමී මාක්ස්වාදීන් ට්‍රොට්ස්කිවාදීන් වුණා. එසේ වීමෙන් ම කියැවෙන්නේ ඔවුන් හැඟීමෙන් නොව බුද්ධියෙන් සමාජ අසාධාරණයට විරුද්ධ වූවන් බවයි. වෙනත් කිසිම රටක නොවූ අයුරින් ලංකාවේ  ස්ටැලින්වාදීන් පක්‍ෂයෙන් නෙරපා දැමීමට ට්‍රොට්ස්කිවාදීන් සමත් වුණා. එහෙත් එයින් කියැවෙන්නේ මෙරට ස්ටැලින්වාදීන් අසාධාරණය විඳීමෙන් දත් අය වූ බව නොවෙයි. අකුරුස්සේ ප්‍රභූවරයකු වූ ද නිදහස් අධ්‍යාපනයට පෙර ආනන්ද විදුහලේ ඉගෙනීම ලැබූවා වූ ද එස් ඒ වික්‍රමසිංහ හා විනිසුරුවරයකුගේ පුතකු වූ ද නිදහස් අධ්‍යාපනයට පෙර රාජකීය විදුහලේ ඉගෙනීම ලැබුවා වු ද පීටර් කෙනමන් අසාධාරණය විඳීමෙන් දත් අය නො වෙයි.



පුරෝගාමී මාක්ස්වාදීන් මාක්ස්වාදී පොතපත හොඳින් කියවූ අය. එහෙත් ඔවුන්ට ලංකාවේ සිසුන් ලෙස නිවැරදි වියුක්ත සංකල්පීය දැනුමක් තිබුණේ නැහැ. මෙරට අයට වියුක්ත සංකල්ප දිරවන්නේ නැහැ. ඒ නිසා ම මෙරට බටහිර පන්නයේ බුද්ධිමතුන් බිහිවන්නේත් නැහැ. මෙරට කිසිවකුටවත් වියුක්ත බටහිර ගණිතය ගැන දැනුමක් නැහැ. ඒ අයුරින් ගත්කල නම්  පුරෝගාමී මාක්ස්වාදීන් විඳීමෙන් පමණක් නොව බුද්ධියෙන් ද මාක්ස්වාදීන් වුණේ නැහැ.



නිදහස් අධ්‍යාපනයෙන් මෙරට සිදු වූ එක් දෙයක් වූයේ එතෙක් නගරවලට පමණක් සීමා වූ ද ඉංගිරිසියෙන් ලබා දුන්නා වූ ද බටහිර සංකල්ප සිංහල මාධ්‍යයෙන් ද ගම්වල පැතිර යෑමයි. බටහිර සංකල්ප සිංහලෙන් දැන ගැනීමේ දී බුදුදහම ඉංගිරිසියෙන් දැන ගැනීමේ දී මෙන් ම විකෘති තත්වයන් ඇති වෙනවා. රනිල් වික්‍රමසිංහ බුදුදහම ගැන කියන දේ සලකා බලන්න. විජේවීරගේ මාක්ස්වාදයත් එබඳුයි. ඔහුට ප්‍රොලිටේරියට් යන්න නිර්ධන පංතිය වූවා. ගුණදාස අමරසේකර මෙරට උගත් ගැමි තරුණයන් ගැන කියන විට මේ ගැන සැලකිලිමත් වූයේ නැහැ. උගත් ගැමි තරුණයන්ට බලය දීමෙන් රටට සිදුවන යහපතක් නැහැ.



මේ ඊනියා උගත් ගැමි තරුණයන්, එනම් බටහිර සංකල්ප යම් ප්‍රමාණයකටවත් නිවැරදි ව ග්‍රහණය කර ගැනීමට අසමත් වූ තරුණයන් සමාජ අසාධාරණය විඳීමෙන් (හැඟීමෙන්) දත් අය. ඔවුන්ට තමන්ගේ ම වූ ප්‍රශ්නවලට අමතර ව දෙමව්පියන් විඳි දුක් ගැහැට තම සහෝදරයන්ගේ විශේෂයෙන් ම සහෝදරියන්ගේ ප්‍රශ්න විඳීමෙන් ම දැනගන්න පුළුවන් වුණා. ඔවුන් මාක්ස්වාදය වෙත ආකර්ෂණය වූයේ තමන්ට නැති වූ සමාජ තත්වයන් වරප්‍රසාද ලබා ගැනීමට මිසක් තත්වය යන්නට නව අර්ථකථනයක් ලබා දීමට නො වෙයි. මාක්ස්වාදයත් ධනවාදය දෙස බැලූයේ අතික්‍රමණය කළ යුතු ව තිබූ ක්‍රමයක් ලෙස බවට මේ ගැමි තරුණයන්ට ඔවුන්ට ම සුවිශේෂ වූ  දැනුමක් තිබුණා. ඔවුන් ඉල්ලුවේ කැකිරි නොව කිරි දෙන්න කියා. ඔවුන් කැකිරි ප්‍රතික්‍ෂෙප කළා. ඔවුන්ට පංති වෛරයක් ඇති වුණා. එහෙත් පංතිය යන්න කුමක් දැයි හැදෑරීමට ඔවුන් උත්සාහ කෙළේ නැහැ. ඔවුන් ඊනියා නිර්ධන පංතියක වෛරක්කාරී දරුවන් වුණා.



ඔවුන් හා උගත් නාගරික තරුණයන් අතර වූ මූලික වෙනස එයයි. ඊනියා උගත් නාගරිකයන් අසාධාරණය වින්දේ නැහැ. ඔවුන්ට සමාජ අසාධාරණය ගැන බුද්ධියෙන් ලත් එතරම් නිවැරදි නොවූ සංකල්පීය දැනුමක් තිබුණා. එහෙත් ඔවුන්ට තිබුණේ විකෘත බටහිර දැනුමක්. ඔවුන්ට මෙරට ඉතිහාසය සංස්කෘතිය ගැන සිංහල බෞද්ධ සංස්කෘතියක නිර්මාණය වූ දැනුමක් තිබුණේ නැහැ. ඔවුන්ගෙන් ඇතැමකු මෙරට විප්ලවයේ ඊනියා අපිකේන්ද්‍රය (epicenter)   වතු කම්කරුවන් ලෙස සැලකීමට පුරුදුව සිටියා. එහෙත් ඔවුන් විප්ලවය වෙනුවෙන් ජීවිත කැප කිරීමට සූදානම් වූයේ නැහැ. වැඩිම වුවහොත් සිදු වූයේ ට්‍රොට්ස්කිවාදීන් හා ස්ටැලින්වාදීන් අතර වූ ඊනියා න්‍යායාත්මක සටන් පමණයි.



ඊනියා නව වමට විඳීමෙන් දැනගත් අසාධාරණයක් තිබුණා. ඔවුන්ට සංකල්ප ගැන පැරණි වමට තිබූ දැනුමවත් තිබුණේ නැහැ. ඔවුන් විජේවීර කී දේ පුනරුච්චාරණය කළ ගිරවුන් පමණක් වුණා. එහෙත් ඔවුන්ට ඊනියා විප්ලවයක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කිරීමට වූ සූදානමක් තිබුණා. ඔවුන් ඊනියා විප්ලවය වෙනුවෙන් අවි ගත්තා. මව්බිම නැත්නම් මරණය ඔවුන්ගේ සටන් පාඨය වුණා. එහෙත් මේ මව්බිම කැප්පෙටිපොල නිළමගෙ මව්බිම නො වෙයි. කස්ත්‍රොගේ මව්බිමයි (විකෘති සංකල්පීය දැනුමක් ලෙස). අවසන අවිගත්තන් අවියෙන් ම නැසී ගියා. ඔවුන්ට අවිය මිස, හැඟීම මිස, බුද්ධියක් තිබුණේ නැහැ.



අද ජ වි පෙරමුණක් නැහැ. අනුව දශකයේ මුල සිට ඇත්තේ රජයේ බුද්ධි අංශ මගින් ක්‍රියාත්මක කෙරෙන ජ වි පෙරමුණක් පමණයි. අද එය රනිල් වෙනුවෙන් දරදිය අදිනවා. පැරණි වමත් අද නැහැ. එය ජාතිකත්වය විසින් නැති කෙරුණා. අද පැරණි වමේ නෂ්ටාවශේෂ පෙරටුගාමින් අතර තියෙනවා. එහෙත් අවාසනාව ඒ එකක්වත් නොවෙයි. මෙරට ජාතිකත්වයටත් පදනමක් නැති වීමයි. ජාතික චින්තනය වැනි සංකල්ප ජාතිකත්වයට සුදු හුණු ගෑමක් පමණයි.