කළු සුදු
ඊයේ මගේ අතින් වරදක් සිදු වුණා. මා අර සිංහල බෞද්ධ විරෝධී චිත්‍රපටි නිපදවා භාවනාවට ගිය බව කී විමුක්ති ඇතුළු කණ්ඩායම කළු නඩයක් ලෙස හැඳින්වුවා. ඒ රනිල් සමහර ජනමාධ්‍ය කළුමාධ්‍ය ලෙස හැඳින්වූවාට පස්සෙ. මා අර නඩය හඳුන්වන්න තිබුණෙ සුදු නඩයක් කියා. අප ඉතිහාසයේ යම් යුගයක කළු දුර්වර්ණයක් ලෙස හැඳින්වීමට පුරුදු වී තිබෙනවා. ඒ සීගිරියෙ නිල් කට්රොල් මල් ගැන ලිව්වට පස්සෙ ද කියල හරියට කියන්න බැහැ. ඒ කොයි කාලෙද කියල දැනගන්න උත්සාහයක් ගන්න අවශ්‍ය ද කියන එකත් දැන් නම් ප්‍රශ්නයක්. සමහරවිට නිල් කට්රොල් මල් ගැන ලියන්න ඇත්තෙ යක්‍ෂ ජනතාව වෙන්න ඇති.
අප සුදු යහපත් වර්ණයක් ලෙස සලකනවා. සුදු පුතා කියල කියනවා. මේ දවස්වල එක්තරා වෙළෙඳ දැන්වීමක එයා ඇත්තට ම සුදු කියලත් කියනවා. අපට සුදු වැදගත් වෙන්න ඇත්තෙ පෘතුගීසින්ගෙන් පස්සෙ ම වෙන්න බැහැ. මා සති කිහිපයකට පෙස ඝරසර්ප ගැන ලියූ ලිපියක කළුකුමාරයා ගැන ලිව්ව. එහි කළු හා කුමාරයා යන වචන එකට යෙදීම ගැනයි මා කතා කෙළේ. එක්තරා අයකු එහි නිරුක්තිය ගැන අසා තිබුණා. ඔහුට කළුකුමාරයා යන්න ගැන වැටහීමක් තිබුණෙ නැහැ. ඔහු ඝරසර්ප බැලුවද කියලා මා දන්නෙ නැහැ. ඔහුට වැදගත් වෙලා තිබුණෙ නිරුක්තිය. කොහොමටත් ඝරසර්ප ගැන මා ලියූ ලිපි ජයන්ත චන්ද්‍රසිරිවත් සත පහකට ගණන් ගෙන තිබුණෙ නැහැ. ඒ ලිපිවල ගත යුතු යමක් නොතිබෙන්න ඇති.
කළු යන්න අප නරක දෙයක් ලෙස සලකන්නෙ සමහරවිට ඊනියා ආර්ය සංක්‍රමණයෙන් පස්සෙ වෙන්න පුළුවන්. එසේ සැලකීම අවුරුදු දෙදහස් පන්සියකට පෙර ම සිදු නොවෙන්නත් ඇති. සිංහයන් විසින් යක්‍ෂයන් මුළුමනින් ම මෙන් යටපත් කරනු ලැබීමෙන් පසු සුදු හොඳ වෙන්නත් කළු නරක වෙන්නත් ඇති. එයින් කියන්නෙ මෙහාට වංගයෙන් හා කාලිංගයෙන් පැමිණි සිංහයන් සුදු කියන එක නො වෙයි. ඒ ප්‍රදේශවල ඊනියා ආර්ය සංස්කෘතිය අධිපති සංස්කෘතිය බවට පත්වීමෙන් පසු සුදු හොඳ වන්න ඇති.
ඒ කොහොම වුණත් රනිල් කළු මාධ්‍ය ගැන කියන්නෙත් බටහිරයන් හා ඔවුන්ගේ දාසයන් වූ පඬියන් කළු ජූලිය ගැන කතා කරන්නෙත් කළු සිකුරාදාවල් ගැන කියවන්නෙත් කළු නරක කියල හිතාගෙන. ඒ කාලෙ පර්සියාවෙන් (ඉරානයෙන්) භාරතයට පැමිණි අය සුදු වෙන්න ඇති. වර්ණ භේදය ඇති වුණෙත් එක් අතකින් මේ සුදු කළු ප්‍රශ්නය නිසාත් වෙන්න ඕනෙ. ඒ කොහොම වුණත් අප සුදු හොඳ හැටියට සලකන්නෙ පෘතුගීසීන් එන්න ඉස්සෙල්ල කියන එකයි මගෙ මතය.
විමුක්ති චාන්දනී ඇතුළු කණ්ඩායම අප හඳුන්වන්න ඕන සුදු කණ්ඩායමක් හැටියට. අපට කළු නරක් වෙන්න බැහැ. සුදු තමයි නරක. රනිල්ට හා පඬියන්ට කළු නරක වුණාවෙ. අප ඔවුන් අනුව යා යුතු නැහැ. අප බටහිර සංස්කෘතික ආධිපත්‍යයට හා ඊනියා ආර්ය සංස්කෘතික ආධිපත්‍යයට යට වෙලා. මා මෙහෙම කියනවට යක්‍ෂ ජනතාව අමනුෂ්‍යයන් ලෙස සලකන අය කැමති වෙන එකක් නැහැ. අප වාමනයන් ලෙස සලකන්නේ කාව ද? ඉසුරුමුණියේ හා වෙනත් තැන්වල වාමනයන් පහතට දමා ඇත්තේ ඇයි?
ඊයේ මා අහගෙන හිටියා එක් පඬියකු ඩෙනිම් කලිසම් ගැන කියවනවා. ඔහු නොදන්නවාට ඩෙනිම් බටහිර ඊනියා කම්කරු පංතියේ ඇඳුමක් නො වෙයි. එයට දහනවවැනි සියවසේ මුලට යන අතීතයක් තියෙනවා. කැලිෆෝනියාවේ රත්තරන් හමුවීමත් සමග කපු රෙදිවලින් වියන ඩෙනිම් ජනප්‍රිය වූ බවට මතයක් තියෙනවා. කලකට පසුව එය බටහිර කම්කරුවන් අඳින ඇඳුමක් බවට පත් වී තිබෙනවා. එය ඊනියා ප්‍රති-සංස්කෘතියක ඇඳුමක් බවට පත් වී ඇත්තේ පසුව. එහෙත් අද එයින් ප්‍රති-සංස්කෘතියක් නිරූපණය වන්නේ නැහැ. අද දණහිස ඉරුණු ඩෙනිම් කලිසම් ඇඳීම විලාසිතාවක් වෙලා. ඩෙනිම් අප රටේ තරුණයන් ඇන්දේ ප්‍රති-සංස්කෘතික විප්ලවයක් වෙනුවෙන් නො වෙයි. මෙරට කම්කරුවන් ඩෙනිම් ඇන්දේ නැහැ. ඔවුන් එකල ඇන්දේ සරම, අඩුම තරමෙන් දැන් විලාසිතාවක් බවට පත් වී ඇති කොට කලිසමවත් නො වෙයි. ඩාලි බට්ලර් වැනි සමාගම්වල නම් එකල කම්කරුවන්ට කොට කලිසම් ඇන්දුවා මට මතකයි. ඒ අවුරුදු හැට හැත්තෑවකට පෙර.
පඬියන් පුහු වීරයන් බවට පත් වීමට ව්‍යාජ ප්‍රති-සංස්කෘතික කතා කියවනවා. ලංකාවේ තරුණයන් ඩෙනිම් ඇන්දේත් අඳින්නේතත් විලාසිතාවක් ලෙස. ඒ බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යට වෙලා. මා බොහෝ කලකට පෙර කියා ඇති අප කොණ්ඩය කපන්නේත් වවන්නේත් බටහිරයන් අනුකරණය කිරීමෙන් බව. මා කුඩා කල අපේ මහප්පා කෙනකු අපට කිව්වේ මහේස්ත්‍රාත් ආදීන් මෙන් කොණ්ඩය කපන ලෙසයි. මහේස්ත්‍රාත්වරු හා විනිසුරුවන් කොණ්ඩය කැපුවේත් ව්‍යාජ කොණ්ඩ පැළඳුවේත් සුද්දන් අනුකරණය කිරීමෙන්. අද සමහරුන් කොණ්ඩය වවන්නේ අපේ පැරන්නන් කොණ්ඩය වැවූ නිසාවත් ප්‍රති-සංස්කෘතික විප්ලවයක් නිසාවත් නො වෙයි. මේ ඔක්කොම බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙහි ලක්‍ෂණ.
කලකට පෙර කලිසම් අඳින විට බඳ පටියක් බඳින්න පුරුදු වුණා. ඒ අපේ සංස්කෘතික කටයුත්තක් නොවෙයි. අපත් බඳ පටි බඳින්නේ බටහිරයන් අනුකරණයෙන්. අද නම් තරුණ හැමෝම වගේ කලිසම් අඳිනවා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව. අප සරසවි ශිෂ්‍යයන් ලෙස සිටි කාලයේ ඇතැම් ශිෂ්‍යාවන් සාරි ඇඳ දේශනවලට සහභාගි වුණා. අද තරුණ කථිකාචාර්යවරියන් ද ඩෙනිම් ඇඳ දේශන පවත්වනවා. දේශනයත් ඇඳුමත් දෙක ම බටහිර අනුකරණ. අනුකරණය නොකර දේශන පැවැත්තුවොත් ජී එල් පීරිස් වැනි අය ඉන්නවා ජාතික චින්තනය උගන්නන්නෙ මොකද කියල අහන්න.
පඬියන් ව්‍යාජ වීරයන් වන්නේ බටහිරින් අප මෙහෙයවන නිසා. කවුදෝ ලියල තිබුණා රුසියාව පාලනය කරන්නෙ පුටින් ලංකාව පාලනය කරන්නෙ පිටින් කියලා. ඔය පඬියන් මහා සාහිත්‍යකරුවන් සංගීතඥයන් විද්‍යාඥයන් ලෙස පෙනී සිටියත් ඔවුන් බටහිර ඒ ක්‍ෂෙත්‍රවල ඉහළ මට්ටමේ උදවිය නො වෙයි. පඬියන් ඊනියා කොදෙව් මානසිකත්වයක් ගැන කිව්වත් ඔවුන් ගැන මේ දූපතෙන් පිට දන්නේ කවුද? අපි කළු ද කියා අහන්නෙත් කළු අපම තමයි.