Main Logo

Wednesday 2 January 2019

චන්ද්‍රිකාගේ වෛරය


චන්ද්‍රිකාගේ වෛරය



මා කියන්නේ නැහැ චන්ද්‍රිකා රනිල්ට වඩා ප්‍රතිපත්ති ගරුකයි කියලා. ඒ වුණත් චන්ද්‍රිකා නව ව්‍යවස්ථාවක් ගේන්න හරි දාසනායකගෙ පෙරමුණෙ විස්ස සංශෝධනය කරන්න හරි රනිල්ට සහාය දෙනවා. රනිල් චන්ද්‍රිකාගෙ පැකේජයට එහෙම සහාය දුන්නෙ නැහැ. ජී එල් නම් චන්ද්‍රිකාට සහාය දුන්නා. ජී එලුත් මංගලත් තවත් අයත් සුදු නෙළුම් අරගෙන අවලම් තවලම් ගියා. ඔවුන්ගෙන් සමහරකු තවම ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයන් හා මන්ත්‍රීවරුන්. තවත් සමහරු පොහොට්ටුවේ. ජී එල් හා කෙහෙළිය සමගාමී ලැයිස්තුව අස්කර ගන්නම් කියලා මහින්දලා වෙනුවෙන් ලිපියක් දීල තාම වැඩිකලක් නැහැ. 





එකල රනිල් චන්ද්‍රිකාගෙ පැකේජයට විරුද්ධ වුණා. අද දකුණු පළාත් සභාවේ එ ජා ප මන්ත්‍රී කෙනකු වෙච්ච නිළමෙ එදා නාලක හාමුදුරුවොත් කස්සප හාමුදුරුවොත් එක්ක කළුතර සිට කතරගමට පයින් ගියා. අප ජාතික ඒකාබද්ධ කමිටුව පිහිටෙව්ව ම එ ජා පක්‍ෂෙ අය බොරුල්ල තරුණ බෞද්ධ සංගම් කාර්යාලයෙ කාමරයක් ලබා දුන්න. අප රැස්වුණෙ තරුණ බෞද්ධ සංගම් මාණ්ඩලික කාමරයෙ. ජාතික ඒකාබද්ධ කමිටුව මගින් සිංහල කොමිසම පත් කෙරෙනු ලැබුවා. කොමිසම සමග අපත් රට වටේ ගියා සාක්‍ෂි විභාග කිරීමට. අවසානයේ දී කොමිසම වාර්තාවක් ඉදිරිපත් කළා සන්ධීය (ෆෙඩරල්) රාජ්‍යයක් නිර්දේශ කරමින්! නාලක හාමුදුරුවන් කස්සප හාමුදුරුවන් හා මා ඒ වාර්තාවට විරුද්ධ වුණා. අප ජාතික ඒකාබද්ධ කමිටුවෙන් නෙරපනූ ලැබුවා. රතන හාමුදුරුවො ඒ කාලෙත් අපට විරුද්ධ ව ජාතික ඒකාබද්ධ කමිටුවෙ වැඩ කළා.  එකල අද ජාතික ව්‍යාපාරයේ වැඩ කරන බොහෝ දෙනකු ඊනියා ප්‍රගතිශීලීන්, සමාජවාදීන් පමණක් වුණා. ඔවුන් ජාතිකවාදීන් වූයේ බොහෝ කලකට පසුව. 



මා මේ කෙටි ඉතිහාසය මතක් කෙළේ එ ජා ප එදා වැඩ කළ ආකාරය පෙන්වීමට. එ ජා ප හා එහි හිතවතුන් එදත් සන්ධීය රාජ්‍යයකට පක්‍ෂ ව හිටියේ. චන්ද්‍රිකාත් හිටියෙ පක්‍ෂව. එහෙත් රනිල් චන්ද්‍රිකාට පැකේජය සම්මත කර ගැනීමට සහාය දුන්නෙ නැහැ. ඔහුට ඕන වුණෙ  චන්ද්‍රිකා පරද්දන්න. ඔහු පාර්ලිමේන්තුවේ දී පැකේජය ඉරා දැම්ම. එහෙත් චන්ද්‍රිකා රනිල් සුමන්තිරන් අනුර ව්‍යවස්ථාවට සහාය දෙනවා.



චන්ද්‍රිකා එසේ කරන්නේ ප්‍රතිපත්තියක් මත පිහිටා ම නොව ඇගේ වෛරය නිසා වෙන්න පුළුවන්. ඇයට අද මහින්ද සමග මෙන් ම මෛත්‍රිපාල සමගත් ගණුදෙනු බේරා ගැනීමට අවශ්‍යයි. ඇය මහින්දත් මෛත්‍රිපාලත් බලයෙන් පහ කරන්න දේශපාලනික ව කළ හැකි සෑම දෙයක් ම කරනවා. අද ඇය රනිල් සමග ඇති සියලු කෝන්තර අමතක කරලා මහින්දට හා මෛත්‍රිපාලට එරෙහි ව රනිල් මෙහෙයවනවා. රනිල් හා චන්ද්‍රිකා යන දෙදෙනා ම සිංහල බෞද්ධ විරෝධීන්. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ සිහිපත් කරමින් රනිල් පන්සල් යනවා, කප්රුක් පූජාවන් කරනවා.



චන්ද්‍රිකා පැහැදිලි ව ම ශ්‍රී ල නි ප මන්ත්‍රී කණ්ඩායමක් මෙහෙයවනවා. ඇය තවමත් පක්‍ෂයේ අනුශාසකවරියක්. ඇගේ අනුශාසනා ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධවයි. ඇය බණ්ඩාරනායක යුවළගේ දේශපාලන දියණියක නො වෙයි. එහෙත් ජන්ම උරුමය මත ඇය දේශපාලන උරුමයක් ඉල්ලනවා. ඇයට හැකියාවක් තිබෙනවා නම් ඇය මෛත්‍රිපාල පක්‍ෂ සභාපති කමෙන් ද රෝහන ලක්‍ෂමන් ලේකම් කමෙන් ද නෙරපා හැර පක්‍ෂයත් මූලස්ථානයත් අල්ලා ගන්නවා. මෛත්‍රිපාල මහින්ද එකතුව චන්ද්‍රිකාගේ ඇහැට කටු ඇණීමක් වූවා.



අද ඇය ඊනියා ජාතික ආණ්ඩුවක් හදන්න රනිල්ට සහාය දෙන්න සූදානම්. එහෙත් ඇයට පක්‍ෂ නායකත්වයක්වත් ලේකම් කෙනකුවත් නැහැ. දුමින්ද දිසානායක දැන් ලේකම් කෙනකු නො වෙයි. මෛත්‍රිපාලට එවැනි කරුණු සම්බන්ධයෙන් ඉවක් තියෙනවා. ඔහු 2015 පාර්ලිමේන්තු මැතිවරණයට කලින් ශ්‍රී ල නි පක්‍ෂයේ මෙන් ම එ ජ නි සංධානයේ ද ලේකම්වරුන් වෙනස් කළා. ඔහු දැන් පළාත් සභා ආණ්ඩුකාරයන්ට ඉල්ලා අස්වෙන්න කියලා. ඒ චන්ද්‍රිකාට සහාය දෙන ආණ්ඩුකාරයන් ඉවත් කරන්න බව පැහැදිලියි. ජනාධිපති පළාත් සභා සමග කටයුතු කරන්නේ විවිධ ආණ්ඩුකාරවරුන් මගින්. ඔහුට එහි දී චන්ද්‍රිකාගේ ඉත්තන් පත් කරගෙන බැහැ.



චන්ද්‍රිකාට අද දේශපාලන පක්‍ෂයක් නැහැ. මන්ත්‍රීවරුන් විසිඑක් දෙනකු ඉන්නවාය කීවත් ඔවුන්ට ඔවුන්ගේ ම වූ පක්‍ෂයක් නැහැ. ඔවුන් ශ්‍රී ල නි ප සාමාජිකයන් ලෙස රෝහන ලක්‍ෂමන්ගේ අණසකට යටත්. කොහොමටත් ශ්‍රී ල නි පක්‍ෂයක් අද පාර්ලිමේන්තුවේ නැහැ. ශ්‍රී ල නි ප සාමාජිකයන් පාර්ලිමේන්තුවේ ඉන්නේ එ ජ නි සංධානයේ මන්ත්‍රීවරුන් ලෙස මිසක් ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ලෙස නො වෙයි. චන්දිකාට හිතවත් කියන මන්ත්‍රීවරුන් විසිඑක් දෙනාට ජාතික ආණ්ඩු හදන්න බැහැ. ජාතික ආණ්ඩු හදන්න පුළුවන් පාර්ලිමේන්තුවේ පිළිගත් පක්‍ෂ සමග පමණයි.



ඒ විසිඑක් දෙනාට ශ්‍රී ල නි පක්‍ෂයෙන් අස්වෙලා වෙන ම පක්‍ෂයක් හැදුවත් එ ජා පක්‍ෂයට ගියත් වැඩක් නැහැ. ඒ කිසිම පක්‍ෂයකින් නොවෙයි ඔවුන් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින්නේ. ඔවුන්ට 99(13)(අ) අනුව්‍යවස්ථාව යටතේ එසේ අස් වී මසක් ගිය තැන මන්ත්‍රිකම් අහෝසි වෙනවා. අර පොහොට්ටුවට ගියැයි කී මන්ත්‍රීවරුන්ට තිබූ ප්‍රශ්නයත් එයයි. එහෙත් ඔවුන් තවමත් එ ජ නි සංධානයේ මන්ත්‍රීවරුන් බව මහින්ද අමරවීර සංධානයේ ලේකම් ලෙස කතානායකට දන්වා තියෙනවා.



චන්ද්‍රිකාගේ විසිඑක් දෙනාගේ සූදානම මොකක් ද කියන එක පැහැදිලි නැහැ. අද රනිල්ට සුමන්තිරන්ට හා දාසනායකට ඇති මූලික ප්‍රශ්නය ව්‍යවස්ථාවට තුනෙන් දෙකේ බහුතරයක් ලබා ගැනීම. විසිඑක් දෙනකු හිටියත් තුනෙන් දෙකක් නැහැ. එහෙත් මන්ත්‍රීවරුන් අද විකිණෙනවා. අද තුනෙන් දෙක හදා ගැනීමට පමණයි මන්ත්‍රීවරුන් එකතු කරන්න වෙන්නෙ. ඊනියා ජාතික ආණ්ඩුවක් නැති නිසා ඇමතිකම් තිහට වඩා තියෙන්න බැහැ. අනෙක් අතට ශ්‍රී ල නි පක්‍ෂයෙන් කැඩී යන අයට මෛත්‍රිපාල ඇමතිකම් දෙන්නෙත් නැහැ. ඇමතිවරුන් පත් කිරීමේ දී පමණයි ජනාධිපති අගමැති විමසන්න ඕන. අගමැති නිර්දේශ කරන සමහරුන්ට ඇමති පදවි නොදී ඉන්නත් ජනාධිපතිට පුළුවන්. අප්පච්චි මළෝට දැන් ආණ්ඩුව පැත්තෙ ඉඳලා වැඩක් නැහැ.



එහෙත් චන්ද්‍රිකා හොරගල් අහුලන්නෙ තුනෙන් දෙක ගැනීමට බව පැහැදිලියි. ඇගේ වෛරය සිංහල බෞද්ධයන් සමගයි. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ඇගේ පාසල් මිතුරියන් අතර 1947 දී දැන් දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිදහස් විය යුතු යැයි කී නාගනාදන්ගේ දියණියත් හිටියා. චන්ද්‍රිකා ප්‍රශ්නවලට මුල තම දෙමව්පියන් යැයි කියනවා.  ව්‍යවස්ථා විරෝධී පෙරමුණක අවශ්‍යතාව එන්න එන්න දැඩිව මතුවෙනවා. ඒත් තාමත් ඇතැමුන් කතා කරන්නේ පොහොට්ටුවෙන් මැතිවරණ තරග කිරීම ගැනයි. මහා මොළ කාරයන් කියන අය 2015 සිට ගෙන ඇති තීරණවලින් සිදු වී ඇත්තේ එ ජා පක්‍ෂය ශක්තිමත් වීම පමණයි. ඉන් පෙරත් ඔවුන් කටයුතු කර ඇත්තේ චන්ද්‍රිකා මෙන් ම සිංහලත්වයට එරෙහිව.