එකක් ම නොවන එක් බමුණු කතාවක්
පැරණි කතාවක එක් බමුණෙක් කියනවා මා අර බමුණන් ඒක භාර්යා සේවනයට කැමති
කරවා ගත්ත කියලා. ඒ බමුණන්ගෙන් එක් අයකු කියනවා ඔව් අපි ඒක භාර්යා සේවනයට කැමති
කියලා. ටික වෙලාවකට පස්සෙ තුන්වැනි බමුණෙක් දෙවැනි බමුණගෙන් අහනවා බ්‍රාහ්මණය ඔබ
ඒක භාර්යා සේවනය කියන්නෙ කුමකට ද කියල.
එතකොට දෙවැනි බමුණ කියනව මා ඔය ලේබල්වලට කැමති නැහැ. අපේ ගෙදර ඇවිල්ල බලන්න
වැඩ සිද්ධ වෙන ආකාරය. ඒක තමයි ඒක භාර්යා සේවනය කියන්නෙ කියල. යමක් තීරණය වෙන්නෙ
ලේබල් වලින් නොවෙයි වැඩවලින් කියල. තුන්වැනි බ්‍රාහ්මණයා දෙවැනි බ්‍රාහ්මණයගෙ ගෙදර
ගියේ නැහැ. තුන්වැනි බ්‍රාහ්මණය සමනල්ලු බලන්න ගියා.
මේ කතාවට අදාළ ශ්ලෝකයක් තියෙනවා. මට ශ්ලෝක තියා කවිවත් මතක තියාගන්න
බැහැ. දන්න කෙනකුගෙන් ශ්ලෝකය අහගන්න. ශ්ලෝකය තියෙන්නෙ මොන පොතේ ද කියල අහන්නත්
එපා. ඒක ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ නම් නැහැ. කවුරු හරි අහන්න බැරි නැහැ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පොතක් ද කියල. ඒකට ලේබල් ගහන්න ඕන නැහැ. පොතක් ද නැද්ද කියල
තීරණය වෙන්නෙ පෙරළන විධියට මිසක් ඒක පොතක්
ද නැත් ද කියල පෙරවදනෙ ලියල ද නැද්ද පෙරවදනක් තියෙනව ද නැද්ද කියන එක උඩ නො වෙයි.
කවුරු පොතක් කිව්වත් නැතත්
පෙරළන්න පුළුවන් නම් ඒක පොතක් හැටියටයි ගන්න වෙන්නෙ. පොතේ වැඩේ පෙරළෙන එක.
කවුද පෙරළන්නෙ කියල අහන්න ඕනත් නැහැ. කවුද ඇහැවුවෙ ඒක පොතක් ද වාර්තාවක් ද කියල.
ඔය තේරුමක් නැති ප්‍රශ්න අහන්න එපා. ඒ ගමන අහනවා කෙටුම්පතක් ද කියලා. ඇයි ඔය ලේබල්
පස්සෙ යන්නෙ. ඕන ම නම් ඒක වාර්තාවක් වූ කෙටුම්පතක් ද කෙටුම්පතක් වූ වාර්තාවක් ද
කියල තමන්ට ම තීරණය කරන්න පුළුවන්.
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ලේබල්වලට යට වෙන්නෙ නැති රටක්. කොටින් ම
කියනව නම් ලේබල් නැති රටක්. එතකොට මිනිසුන්ගෙ නම්. ඒවත් ලේබල් තමයි කියල ඉස්සර අය
කියල තියෙනවා. අර කපුරුහාමි ගැන තියෙන කතාව මතක් කර ගන්න. ඇත්තට ම ලේබල්වලින් ඇති
වැඩේ මොකක් ද නම්වලින් ඇති වැඩේ මොකක් ද? එතකොට ප්‍රජාතන්ත්‍රවාදී කියන එක. ඒකත් වැඩක් නැහැ.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියන එකේ තේරුමක් නැහැ.
එක අතකට ඒක එහෙම තිබුණත් කමක් නැහැ. සමාජවාදී රටවල් ලෝකෙ තියෙනවා ද? මාක්ස් හරි ට්‍රොට්ස්කි හරි හිටිය නම් අහගන්න
තිබුණ. අපි ඉස්සර වාද කරනව කියුබාව සමාජවාදී ද නැද්ද කියල. ඒ ලේබලෙන් වැඩක් නැති බව
තේරෙන්නෙ දැන්. අපි මොන තරම් මෝඩ වැඩ කරල තියෙනව ද? මෝඩ කියන්නෙත් ලේබලයක් ද?
මේක ප්‍රජාතන්ත්‍රවාදී ද ? මොකක් ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ? ඒකත් ලේබලයක් පමණයි. අපට ඕන වැඩේ පමණයි. වැඩ ගැන තීරණය කරන්නෙ
කතානායක. ඒ වුණාට කතානායක කියන්නෙත් ලේබලයක්. ඒක වැඩක් නැති ලේබලයක්. කතානායකට
වැඩත් බැහැ. කතාත් බැහැ. එතකොට වැඩෙන්
හඳුන ගන්නෙ කොහොම ද? වැඩකට නැති ප්‍රශ්න අහන්නෙ නැතිව ඉන්නව
නම් හොඳයි. මේක ජනරජයක් ද? ජනරජයක් කියන්නෙත් ලේබලයක්. අපි
ජනරජයක් වුණෙ මැයි 22 කියල කියනවා. ඒ වුණාට එදාට නිවාඩු
නැහැ. නිවාඩු මොනවට ද වැඩ තමයි අවශ්‍ය.
එතකොට පෙබරවාරි හතර නිවාඩු දෙන්නෙ අහවල් දේකට ද? ඒකත් වැඩකට නැති ප්‍රශ්නයක් ද? ඒක ජාතික දිනය කරලා. නිදහස් දිනය නොවෙයි. ඒක
විජාතික දිනය ද? ඔය ලේබල්වලින් වැඩක් නැහැ. වැඩ තමයි
යමක් තීරණය කරන්නෙ. වැඩ කරන දවසක හා නිවාඩු දවසක වෙනස මොකක් ද? නිවාඩු දවසෙ ගෙදර වැඩ තියෙනවා. වැඩ කරන දවසෙ
කන්තෝරුවෙත් වැඩ නැහැ. මේව නිකම් ලේබල් පමණයි. විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙ මං කරපු
වැඩක් නැහැ. දැනුත් කරන වැඩක් නැහැ. එකම වෙනස ඒ කාලෙ පඩියක් ලැබුණු එක විතරයි. ඒක
පිං පඩියක් වෙන්නැති. පිං පඩියක් ලබාගෙන මං පවු කර ගත්ත ද?
කොහොමටත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් කියන එක දිග
වැඩි ලේබලයක්. ඕකට ලංකාව කිව්ව ම මදැයි. ඒකත් ඕන්නම් වෙනස් කරන්න. දැන් ඔය හැම තැනම අහනව යූසර් නේම් එක මොකක් ද
කියලා. මේ රටටත් යූසර් නේම් එකක් දාගමු ද? එහෙම බැහැ. ඒක යූස් කරන අයට කියන්න ඕන. මේ රට යූස් කරන්නෙ කවු ද?
කොහෙන් ද? පුටින් ද පිටින් ද? එතකොට
පාස්වර්ඩ් එක. ඒකත් ලේබලයක් නිසා ඕන එකක් කමක් නැහැ. මේ රටට ඇතුල් වෙන්න පාස්වර්ඩ්
අවශ්‍ය නැහැ. ඕනෑම අයකුට පාස්වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමදාමත් පේල්. පාස් පේල්
කියන්නෙත් වචන විතරයි. වැඩේ තමයි අවශ්‍ය.
මේ වැඩකට නැති කතාවලින් වැඩක් නැහැ. අර බමුණාගෙ ඒක භාර්යා සේවනය
කොහොම ද? මගෙන් කුණුහරුප දෙකක් අහගන්න එපා.
කුණුහරුපත් වචන විතර ද? ඒකත් බමුණගෙ වැඩවලින් ම දැන ගන්න ඕන ද?