Main Logo

Sunday, 27 January 2019

විපක්‍ෂය ගත යුතු මග


විපක්‍ෂය ගත යුතු මග



මා ඊයේ ලිපිය ලියන විට දැනගෙන හිටියේ නැහැ ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් යම් පිරිසක් පසුගිය සැප්තැම්බරයේ වෙනස් කෙරී ඇති බව. එබැවින් ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූ සභාවක් යැයි කීම වරදක්. ඒ වරද ගැන මා කණගාටු වෙනවා. එය දත්තයක් පිළිබඳ වරදක්.




එහෙත් ඒ ලිපියෙහි සඳහන් අනෙක් කරුණ, එනම් දැන් විපක්‍ෂ නායක මහින්ද බව, වැරදි නැහැ. බොහෝ දෙනකු අමතක කළත් මහින්ද විපක්‍ෂ නායක වීමත් ඔක්තෝම්බර් 26 පෙරළියේ ප්‍රතිඵලයක්. එතෙක් ශ්‍රී ල නි පක්‍ෂය හා ඒකාබද්ධ විපක්‍ෂය හිටියෙ කතානායකගේ දෙපැත්තක. ඔක්තෝම්බර් 26න් පසු ඒ කොටස් දෙක, අප්පච්චි මළෝ වැනි දෙතුන් දෙනකු හැරෙන්න කතානායකගෙ එක පැත්තක දකුණෙ හරි වමේ හරි වාඩි වෙන්නෙ. ඒ නිසා රනිල්ට ඊනියා නව ව්‍යවස්ථාව තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කර ගැනීම ප්‍රශ්නයක් වෙලා.



මහින්ද විපක්‍ෂ නායක ලෙස කතානායකට හා අගමැතිට බල කර සිටිය යුතුයි තමා දැන් විපක්‍ෂ නායක බවත් ඒ නිසා ව්‍යවස්ථා සභාවට අගමැතිත් විපක්‍ෂ නායකත් එකතු වී අලුතෙන් නාමයෝජනා ඉදිරිපත් කළ යුතු බව. වෙනත් කෙනකුටත් ඒ ඉල්ලීම කළ හැකි වුවත් මහින්ද ම ඒ ඉල්ලීම පාර්ලිමේන්තුවේ දී කිරීම ඉතා වැදගත් වෙනවා. ඔහු එය කළ යුතුයි. ඔහු එය නොකරන්නේ නම් ප්‍රශ්නයක්. ඒ ඉල්ලීමට පාර්ලිමේන්තුවේ ලැබෙන ප්‍රතිචාරය වැදගත් වේවි. එහි දී ජ වි පෙ කිනම් ස්ථාවරයක් ගනී ද ආදී කරුණු දැන ගැනීම වැදගත් වේවි. ඒවා ද්විතීයික කරුණු. මහින්ද ඒ ඉල්ලීම කළ යුත්තේ ප්‍රධාන වශයෙන අගමැති, කතානායක හා නිල නොවන අගමැති සුමන්තිරන් ඒ ගැන යම් ස්ථාවරයකට තල්ලු කිරීමටයි.



ඒ එසේ වුවත් සුමන්තිරන්ට විශ්වාසයක් තියෙනවා නව ව්‍යවස්ථාවක් හරි ව්‍යවස්ථා සංශෝධනයක් හරි තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කර ගැනීමට හැකිය කියා. ඔහු දෙරණ වාදපිටියේ දී ඒ බලාපොරොත්තුව  ප්‍රකාශ කළා. රනිල් සුමන්තිරන්ගේ රෑ පානේ කාරක සභා ප්‍රතිපත්තිය අනුව සංශෝධන ගෙනැල්ල ව්‍යවස්ථාව හරි ව්‍යවස්ථා සංශෝධනය හරි සම්මත කර ගන්න ඉඩ තියෙනවා.



මෙහි දී විජාතික පක්‍ෂ වූ එ ජා ප හා දෙමළ ජාතික සංධානය එක ම ප්‍රතිපත්තියක් අනුගමනය කරාවි. මේ පක්‍ෂ දෙක ම මූලික වශයෙන් එංගලන්තය විසින් මෙහෙයවෙන පක්‍ෂ. ඒ පක්‍ෂවල දයා ගමගේ වැනි සුපිරි බෞද්ධයන් ඉන්න පුළුවන්. එහෙත් ඔවුන්ගේ ප්‍රතිපත්ති තීරණය වන්නේ ඉන්දියන් සාගරයේ අපේ දූපතේ නොව අත්ලන්තික් සාගරයේ දූපතෙන්. අත්ලන්තික් සාගරයේ දූපතේ දූපත් මානසිකත්වය මුළු ලොව ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආර්ථික දේශපාලනික ආධිපත්‍යයට ගැනීමයි.



මෙරට දෙමළ ජාතිවාදයේ ආරම්භය හා විකාශය අප නිතර නිතර පැහැදිලි කර දී තිබෙනවා. එහෙත් සිංහල බෞද්ධයන්ට තමන්ගේ ම වූ ප්‍රවාද නිර්මාණය කර ගැනීමට ශක්තියක් නැහැ. අද බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයට මුහුණ දීමට පස්වැනි සියවසේ ක්‍රමවලින් බැහැ. අප සීතාවක රාජසිංහ විමලධර්මසූරිය ආදීන්ගෙන් ගත යුතු පාඩම නම් බටහිර ඇතැම් දැනුම් අපේ කර ගන්නේ කෙසේ ද යන්නයි. රාජසිංහ රජු පෘතුගීසි තාක්‍ෂණය යොදා ගනිමින් පෘතුගීසීන් අභිබවා යන තුවක්කු හැදුවා. අපට අපේ ප්‍රවාද හදන්න පුළුවන් විය යුතුයි. මෙරට පඬියන් කරන්නේ බටහිර දැනුමේ වාටියේ හිඳ එය අනුකරණය කිරීම පමණයි.



දෙමළ ජාතිවාදය ගැන අප කර ඇති විශ්ලේෂණය අනුව නනදිකඩාල් ජයග්‍රහණයෙන් පසු දෙමළ පක්‍ෂ සමග කිසිදු කතාවක් අවශ්‍ය නැහැ. නන්දිකඩාල් හි දී විජාතික බලවේග විසින් මෙහෙයවනු ලැබූ ලබන දෙමළ ජාතිවාදය පරාජය කෙරුණා. ඒ බව සිංහලයන්ට වැටහෙන්නේ නැත්තෙ ප්‍රවාදාත්මක ව සිතන්න බැරි නිසා. සිංහලයන් ප්‍රවාදාත්මක ව හිතන්න පුරුදු වෙන්නෙ නැහැ. අප ජීවත් වන්නේ පස්වැනි සියවසේ නො වෙයි. බටහිරයන් ප්‍රවාදාත්මක දැනුමකින් ලෝකය පාලනය කරන යුගයක. අපට එයට මුහුණ දෙන්න වෙනවා. අද සිංහල බුද්ධාගම ආරක්‍ෂා කරන්න අශෝක බුද්ධාගමේ ක්‍රමවලින් බැහැ.



ඊනියා නව  ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡාවක්වත් ඇරඹිය යුතු නැහැ. එහෙත් ඒ බව නිකම් කීමෙන් වැඩක් නැහැ. අප එසේ කියන්නේ ඇයි දැයි පැහැදිලි කිරීමට අවශ්‍යයි. අප දෙමළ ජාතිවාදයේ විකාශය හදාරන්න ඕන. අප නිතර කියන ප්‍රභාකරන්ට තුවක්කුවෙන්  බැරි වණු දේ සුමන්තිරන් පෑනෙන් කරනවා යන්න වැරදි කතාවක්. රාමනාදන්ලා, අරුණාශලම්ලා, ජී ජී පොන්නම්බලම්ලා, නාගනාදන්ලා, චෙල්වනායගම්ලා, අමිර්තලිංගම්ලා කෙළේත් අද සුමන්තරන් කරන දේ. ඒ අය ප්‍රභාකරන් කෙනකු බිහි කළා. ප්‍රභාකරන් පරාද කළ  විට ඒ සියල්ලන් ම හා එ ජා පක්‍ෂයත් එංගලන්තයත් පරාජය වුණා. ඉහත කී දෙමළ ජාතිවාදීන් කටයුතු කෙළේ එ ජා පක්‍ෂය සමගයි. අද සුමන්තිරන් වැඩ කරන්නේත් එ ජා පක්‍ෂය සමගයි. මෙය අලුත් දෙයක් නොවෙයි. සුමන්තිරන් එදා වාදපිටියෙහි තර්ජනය කෙළේ තමන් චෙල්වනායගම් මෙන් ප්‍රභාකරන් කෙනකු බිහි කරන බව කීමෙන්. සුමන්තිරන් කරන්නේ අලුත් දෙයක් නො වෙයි. අප ඔහුට ඉඩ දී ඇත්තේ දෙමළ ජාතිවාදය නන්දිකඩාල් හි පරාජය වූ බව තේරුම් නොගෙනීම නිසා. සිංහලයන්ට ප්‍රවාදාත්මක ව සිතන්න බැරි නිසා.



ඊනියා කුමන්ත්‍රණ ගැන කතා කිරීම  කිසිසේත් ම ප්‍රමාණවත් නැහැ.  එකල ඒකාබද්ධ විපක්‍ෂයත් ශ්‍රී ල නි පක්‍ෂයත් කළ විශාල ම වරද වූයේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතුවලට සහභාගි වීමයි. මුළු පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කළ අවස්ථාවේ එය වර්ජනය කළා නම් අද මේ ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. නන්දිකඩාල් ජයග්‍රහණය තේරුම් ගැනීමට එ ජ නි සංධානයටත් පොදුවේ සිංහලයන්ටත් තවමත් බැහැ.



සුමන්තිරන්ගේ අරමුණ කාරක සභා අවස්ථාවේ දී සංශෝධන කිහිපයක් ගෙනැවිත් එ ජ නිදහස් සංධානයේත් ඡන්දය ගැනීමයි. එක්සත් ජනතා සංධානය කිසිම සංශෝධනයකට ඡන්දය දිය යුතු නැහැ. මහා සංඝයා වහන්සේගේ අනුශාසනය මේ අවස්ථාවේ දී කිසි ම ව්‍යවස්ථාවක්වත් ව්‍යවස්ථා සංශෝධනයක්වත් අවශ්‍ය නැහැ කියා. එ ජ නි සංධානය එ ජා පක්‍ෂය මෙන් ම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බව කියමින් මහා සංඝයා වහන්සේගේ අනුශාසනය බැහැර කරනවා ද?



එ ජ නි සංධානය (මහින්ද) යෝජනාවලියක් ගෙනෙන බවක් කියැවෙනවා. කිසිම යෝජනාවලියක් ගෙන ආ  යුතු නැහැ. මේ යෝජනාවලි අවසානයේ දී සුමන්තිරන් හා දෙමළ ජාතිවාදය වෙනුවෙන්. විජාතික බලවේග ජී එල් පීරිස් වැන්නන් මගින් එ ජ නි සංධානයේ ද ක්‍රියත්මක වෙනවා. මේ බලපෑම පොහොට්ටුවේ වැඩියි. එ ජ නි සංධානයේ ඊනියා යෝජනාවලි සකස් කරන්නේ කවුද? සමගාමී ලැයිස්තුව අස් කර ගැනීමට යෝජනා කළ ජී එල් පීරිස් ද? එ ජ නි සංධානය නව ව්‍යවස්ථාවක්, ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ කිසි ම කාර්යයකට සහභාගි විය යුතු නැහැ.