Main Logo

Wednesday 1 July 2020

කොවිඩ් ට්‍රම්ප් හා බටහිර විද්‍යාව

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9


කොවිඩ් ට්‍රම්ප් හා බටහිර විද්‍යාව

ඇතැමුනට අනුව එක්සත් රාජ්‍යවල (ඇමරිකාවේ) කොවිඩ් 19 පාලනය කර ගැනීමට නොහැකි වී ඇත්තේ ට්‍රම්ප් (බටහිර) විද්‍යාව නොසලකා හැරි නිසයි. මේ කියන අය ඊනියා විිද්‍යාඥයන් ද කියා මා දන්නේ නැහැ. එහෙත් මොවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වන කරුණක් නම් මොවුන් බටහිර විද්‍යාව වුවත් ඉගෙන ගෙන නැති බවයි. පඬි නැට්ටකු සුපුරුදු පරිදි කියන්න පුළුවන් මා ඉන් කරන්නේ බටහිර විද්‍යාව අගය කිරීමක් බව. මා එයින් කියන්නේ ඔවුන් අගය කරන බටහිර විද්‍යාවවත් ඔවුන් ඉගෙන ගෙන නැති බවයි. බටහිර විද්‍යාවේත් අද නිව්ටන්ගේ කාලයේ තරම්වත් සාධාරණ (general) පරීක්‍ෂණ කෙරෙන්නේ නැහැ. සමහර විට එක් නිරීක්‍ෂණයකින් පමණක් නිගමනවලට එනවා. ඇතැම් පරීක්‍ෂණවලට විශාල මුදලක් යන බැවින් ඒ පරීක්‍ෂණ නැවත නැවත කිරීමේ හැකියාවක් නැහැ. 


සමහර විට අපේ සමහරුන් ට්‍රම්ප් හා බටහිර විිද්‍යාව ගැන කියන විට මෙන් මෙන් එක් නිරීක්‍ෂණයකින් නිගමනවලට එන්නේ නූතන බටහිර විද්‍යාව අනුකරණය කරමින් වෙන්න පුළුවන්. මේ ඇතැමුන් ඉගෙන ගෙන තියෙන්නේ රුසියාවේ. සමහර විට සෝවියට් දේශය පැවති කාලයේ වෙන්නත් පුළුවන්. ඔවුන්ට එහි දී විද්‍යාත්මක විධික්‍රමය ඓතිහාසික ද්‍රව්‍යවාදයත් සමග ඉගෙන ගන්න පුළුවන් වෙන්නත් ඇති. අද රුසියාවේත් කොවිඩ් 19 පාලනය කෙරී නැහැ. එයට හේතුව පුටින් විද්‍යාව නොසලකා හැරීම ද? අද වන විට එංගලන්තයේ ලෙස්ටර් නගරය වසා දමලා. එහි නගරාධිපති බටහිර විිද්‍යාව ගණන් ගෙන නැද්ද? 

එතකොට අපේ මහා අසල්වැසියා ඉන්දියාව. එහි කොවිඩ් 19 භයානක ආකාරයකින් පැතිර යන්නේ අපටත් තර්ජනයක් වෙමින්. මෝදි බටහිර විිද්‍යාව ගැන සැලකිල්ලක් දක්වන්නේ නැද්ද? අනෙක් අතට කොවිඩ් 19 යම් ආකාරයකින් හරි සාර්ථක ව පාලනය කරල තියෙන රටවලට බටහිර විිද්‍යාවෙන් ලැබුණු උපකාරය කුමක් ද? ලංකාවේ කොවිඩ් 19 පාලනය කෙරුණේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් ද?

අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති එක් එක් ප්‍රකාශ කරනවා. එහෙත් ට්‍රම්ප් කියන්නාක් මෙන් කොවිඩ් 19 පාලනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කර ඇති ඉටිගෙඩියක් නැහැ. ඔවුන් කර ඇත්තේ මාධ්‍ය ප්‍රකාශන නිකුත් කිරීම පමණයි. මීටරයේ දුර තබා ගැනීම, වැඩි පිරිසක් එකතු වීමේ ආදීනව, කහින කොට කිවිසුම් යන විට කට වසා ගන්නා හැටි, මුව ආවරණ පැළඳීම ආදිය කීම හැරෙන්න ඔවුන් කර ඇති දේ මොකක් ද?   ලෝක සෞඛ්‍ය සංවිධානය කියන එකක්වත් ප්‍රතිකාර නො වෙයි. එන්නතකුත් නො වෙයි. ට්‍රම්ප් නොසලකා ඇත්තේ කුමක් ද? එසේ කර ඇත්තේ ඇයි? 

අප තවමත් දන්නේ නැහැ කොවිඩ් 19 පැතිර ගියේ කෙසේ ද කියා. දැනට දන්නා එකම දේ වූහාන් හි එය පළමුවෙන් ඇති වූ බවයි. මේ අර පළමු තැන  හොයන රේඛීය චින්තනය. කොවිඩ් 19 තැම තැන සමගාමී ව මෙන් ඇති වීමක් ගැන හිතන්නෙ නැත්තෙ ඇයි? 

ට්‍රම්ප්ගේ රටේ දකුණේ ඇතැම් ප්‍රදේශවල මුව ආවරණ පැළඳීමට විරුද්ධයි. එරට පෞද්ගලිකත්වය ඔඩු දුවා ගොස් තියෙන්නෙ. කතෝලික සාමූහික චින්තනය හා මුස්ලිම් සාමූහික චින්තනය පරදවා පෞද්ගලිකත්වය අන්තයට වර්ධනය වූ රට ලෙස එකසත් රාජ්‍ය හඳුන්වන්න පුළුවන්. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මාටින් ලූතර් පියතුමා හරහා පෞද්ගලිකත්වය ඔරොත්තු නොදෙන ලෙස එහි වර්ධනය කෙරිලා. අද එක්සත් රාජ්‍යවල ඇතැමුන් මුව ආවරණ,  පිරිස් එකතු වීම ආදිය රජයෙන් පාලනය කෙරිය යුතු දේ ලෙස ඔවුන් සලකන්නේ නැහැ. එය පෞද්ගලික නිදහසට බාධාවක් ලෙසයි ඔවුන් සිතන්නේ. ඔවුන් රජය කිව්වත් ඒ කියන දේ නොසලකා එකට එකතු වෙනවා. බටහිර ක්‍රිස්තියානි චින්තනය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වන්නේ මේ පෞද්ගලිකත්වය අනවශ්‍ය අයුරින් වර්ධනය වීම බව අප කලින් කියා ඇති.

හන්ටින්ග්ටන් සභ්‍යත්ව ගැටුම් ගැන කියන දේ යම් ප්‍රමාණයකට හරි වැඩ කරනවා. අද ලෝකයේ සභ්‍යත්ව තුනක් අතර ගැටුමක් තියෙනවා. එකක් බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය. දෙවැන්න මුස්ලිම් සභ්‍යත්වය. තුන්වැන්න චීන සභ්‍යත්වය. කතෝලික සභ්‍යත්වය පරාජය වී බොහෝ කල්. ඉන්දියාවේ හින්දු සභ්‍යත්වයට ලෝක ආධිපත්‍යයක් සඳහා තරග කරන්න ශක්තියක් නැහැ. බෞද්ධ සභ්‍යත්වයක් කියල එකක් නැහැ. හැබැයි මේ සියල්ල බටහිර සංකල්ප හා ඔවුන් ඒ යොදා ගන්නා තේරුම් අනුව. එය හරියට අප බටහිර විද්‍යාවෙ සංකල්ප යොදා ගන්නව වගේ. අප තනාගෙන තියෙන සංකල්පය චින්තනය යන්නයි. 

කොවිඩ් 19 නිසාත් ඒ ගැටුම සිද්ධ වෙනවා. දැනටත් ට්‍රම්ප් චීනයට විරුද්ධ වෙන්නෙ ඔහුට ඒ ගැන යම් අවබෝධයක් ඇති නිසයි. මා කියන්නේ ට්‍රම්ප් කියන ආකාරයට චීනය කොවිඩ් 19ට වග කිව යුතු ය යන්න නො වෙයි. කෙසේ වෙතත් පෞද්ගලිකත්වය ඔඩු දුවපු සමාජයක කොවිඩ් 19 පාලනය කිරීම පහසු නැහැ. අනෙක් පැත්තට ඉන්දියාව වගේ රටකටත් පෞද්ගලිකත්වය අඩු වීම නිසාත් කොවිඩ් 19 පාලනය කිරීමේ අපහසුතාවක් තියෙනවා. 

මෙය විද්‍යාව සැලකිල්ලට ගැනීම නොගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නො වෙයි. කොවිඩ් 19 පාලනය කිරීමට බටහිර විිද්‍යාවෙන් ලැබෙන ආධාරයක් නැහැ. ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ සඳහා කිසිවක් කෙරී නැහැ කියන එක ඇත්තක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට ඒ සඳහා කළ හැකි දෙයක් ඇත්තෙත් නැහැ. කොවිඩ් 19 පාලනය කිරීම සෞඛ්‍ය ප්‍රශ්නයකට වඩා පරිපාලන හා සංස්කෘතික ප්‍රශ්නයක්. අප සාර්ථක වී ඇත්තේ ජනාධිපතිතුමා ප්‍රශ්නය නිසි ලෙස තේරුම් ගෙන සිටින නිසාත් හමුදාවෙන් හා සෞඛ්‍ය පරිපාලනයෙන් ලැබුණු සහාය නිසාත්.