Main Logo

Tuesday 13 April 2021

ලංසාගේ හා ජේ ආර්ගේ පළාත් සභා හා එක එක්කෙනා

 

ලංසාගේ හා ජේ ආර්ගේ පළාත් සභා හා එක එක්කෙනා

 

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පළාත් සභා මැතිවරණය අපි ඉක්මනින් තියෙනවා. ඒ සඳහා නීති සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට එම අණපනත් ගෙන එනවා. පළාත් සභා ක්‍රමය මේ රටේ ස්ථාපිත වෙලා තියෙන ක්‍රමයක්. දැනට අහෝසි කරන්න විදියක් නැහැ. පළාත් සභා මැතිවරණය ඉක්මනින් තියලා ජනතාවගේ සර්ව ජන ඡන්දයට අයිතියක් ලබාදෙනවා.

 

පළාත් සභා මැතිවරණය තියන්න එපා කියලා එක එක්කෙනා කිව්වට, ප්‍රජාතන්ත්‍රවාදී රටක, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව අපිට කටයුතු කරන්න බැහැ. පළාත් සභා මැතිවරණය තියන එක ජනතාවගේ අයිතියක්. අපි කොට්ඨාස ක්‍රමය පළාත් සභාවට හඳුන්වා දෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ කොට්ඨාස ක්‍රමය. නමුත් සමහර අය, සමහර පක්ෂ පරණ ක්‍රමයට යමු කියනවා. කොට්ඨාසය තුළත් අපේක්ෂකයෝ තුන්දෙනෙක්, දෙදෙනෙක් දාන්න පුළුවන් වෙන්න ඕන. පක්ෂයට ඡන්දය දෙනවා. හැබැයි ඉල්ලන පුද්ගලයාට කැමති නැහැ. අකමැත්තෙන් මනාපය දෙනවා. එය ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී අපි දැක්කා. දැන් මෙම ක්‍රමය තුළත් සුදුස්සන් තෝරන්න පුළුවන්. එම අයිතිය ජනතාවට ලැබෙනවා.

 

මේ සඳහාත් සමහර අය විරුද්ධ වෙනවා. රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට දෙද්දී විරුද්ධ වෙන්න බැහැ. තමන්ට කැමති පක්ෂයකට ඡන්දය දෙන්න පුළුවන්. කැමති අපේක්ෂකයෙක් තෝරන්න පුළුවන්. එක එක අය කෑගැහුවට ජනතාවට තියෙන අයිතියක් අපිට නැති කරන්න බැහැ.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා කීය.”

 

ඉහත සඳහන් වන්නේ රාජ්‍ය ඇමති ලංසා කරන ලදැයි කියන ප්‍රකාශයක් ගැන ලංකා සී නිවුස් සමාජයිය මාධ්‍යයේ සටහන් වී තිබූ පුවතක කොටසක්. එය නිවැරදි යැයි අප විශ්වාස කරනවා. ඒ නිවැරදි නම් පමණක් පහත සඳහන් ප්‍රතිචාරය වලංගුයි.  මේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ ලංසාගේ නොදැනුවත්කම, උද්ධච්ඡකම, මහා සංඝායා වහන්සේට නොසැලකීම ආදී කරුණු රාශියක්. ඕනෑම දේශපාලනඥයෙක් කරන ආකාරයට ලංසා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ද එල්ලෙනවා.

 

1987 දී වයස දහතුනක් වූ ලංසා කළේ මොකක් ද ඔහුගේ දේශපාලනය කුමක් ද යන්න ආදිය ගැන මට වැටහීමක් නැහැ.  පළාත් සභා ඇති කෙළේ කාගේ වුවමනාවට ද, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකට අනුව ද, ඔය කියන මහජනයා පළාත් සභාවලට එකඟ වුණා ද ආදිය ගැන ලංසා දන්නේ මොනවාදැයි මා දන්නේ නැහැ. ලංසා කියන්න පුළුවන් පළාත් සභා කොහොම ඇති වුණත් ඒවා දැන් මෙරට ස්ථාපිතයි කියල. ඒ තර්කය අනුව අප 1815 දී කොහොම එංගලන්තයට යටත් වුණත් එය ස්ථාපිතයි කියල එහෙම ම ඉන්න තිබුණා. අප නිදහස වෙනුවෙන් සටන් කළා. ජ වි පෙ නම් සටන් කෙළේ නිදහසක් ගැන නොවෙයි. නොදන්නා අය නම් කියයි විජේවීරට විරුද්ධ ව නඩු පැවරුවේ රැජනට විරුද්ධව කැරළි ගැසීම කියා තිබූ පමණින් විජේවීර එලිසබෙත්ට විරුද්ධ ව සටන් කළා කියලා. ඔහුගේ ඊනියා සටන මාක්ස්ගේ ඊනියා පංතියක් වෙනුවෙන් මිස ජාතියක් වෙනුවෙන් නො වෙයි.

 

ලංසාට අමතක ඇති ජේ ආර් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ හැටි. එහෙමත් නැත්නම් මන්ත්‍රීවරු හෝටල්වල හිරකරගෙන දහතුන්වැනි සංශෝධනය ශ්‍රෙෂ්ඨාධිකරණයට එරෙහිව ගොස් ජනමතවිචාරණයක් නොවත්වා සම්මත කරගත් හැටි. දහතුන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකට අනුව සම්මත කරගත් එකක් නො වෙයි. ලංසා එය ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන්නේ ඔහු ජේ ආර් පාක්‍ෂිකයකු නිසා ද? එහෙමත් නැත්නම් එකල ඔහුට වයස දහතුනක් පමණක් වූ නිසා ද? දන්නෙ නැත්නම් විජේමුනි  විජිත රෝහණ ද සිල්වාගෙන් දැන ගන්න.

 

අනෙක් අතට පළාත් සභා ඇති කෙළේ කාගේ ප්‍රශ්නයක් විසඳන්න ද? ලංකාවේ දෙමළ ජනයාගෙන් බහුතරය ඉන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට. පළාත් සභා පිහිටුවීමෙන් ඔවුන්ගේ ඇතැයි කියන ප්‍රශ්නය විසඳෙනවා ද? රණවිරුවන් ජීවිත පූජාවෙන් සටන් කෙළේ අහවල් දේකට ද? පළාත් සභා පවත්වාගෙන යනවා කියන්නේ රණවිරු ජීවිත පූජාව සතපහකට ගණන් නොගැනීමක්. ලංසාට චන්ද්‍රිකා ජීඑල් මංගල සමග එක් වී ඊනියා සාම සාකච්ඡා මගින් ඔය කියන ප්‍රශ්න විසඳා ගැනීමට බැරි වුණේ මොකද? ඉන්දියාවෙ වුවමනාවට අප මත බලෙන් පැටවූ පළාත් සභා ලංසාගේ ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ ද? අද අපේ නිදහස වෙනුවෙන් නම් කරන්න ඕන ඉන්දියාවට යට නොවී පළාත් සභා අහෝසි කිරීමයි. ලංසා පක්‍ෂ ලංකාවට නො වේ ද?

 

පොදුජන පෙරමුණේ ජාතිකත්වයක් නැති අය ඉන්නවා. ඔවුන් හිතන්නේ ජාතිකත්වයක් ඇති අය ජාතිවාදීන් කියා. ජාතිකත්වවාදීන් නිසා තමයි ඊනියා සාම සාකච්ඡා බිඳ වැටුණේ. ලංසාලා ක්‍රියා කරන්නේ ජාතිකත්වයට විරුද්ධ ව. පළාත් සභාවලින් කසිකබල් දේශපාලනඥයන් කිහිප දෙනකුගේ රැකියා ප්‍රශ්නය හැරෙන්නට විසඳෙන වෙනත් ප්‍රශ්නයක් නැහැ.

 

ලංසා කියන්නේ එක් එක්කෙනා කීවාට පළාත් සභා මැතිවරණ නොතියා ඉන්න ලංසාගේ ප්‍රජාතන්ත්‍රවාදය, එ කියන්නේ ජේ ආර්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව බැහැ කියා. මේ කියන එක එක්කෙනා කවුද? මෙරට මහා සංඝයා වහන්සේත් ලංසාට අනුව එක එක්කෙනා ද? මහා සංඝයා වහන්සේ ඉල්ලා සිටින්නේ පළාත් සභා මැතිවරණ නොතියා ඉන්න පමණක් නොවෙයි. ජේ ආර්ගේ හා රජිව් ගාන්ධිගේ පළාත් සභා අහෝසි කරණ ලෙසටයි. මෙරට මහා සංඝයා වහන්සේ ලංසාට අනුව එක එක්කෙනා වෙන්න පුළුවන්. ඒ ලංසාට මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හා ඉතිහාසය ගැන දැනුමක් නැති නිසා වෙන්න පුළුවන්. මට නම් ඔය මන්ත්‍රීවරුන් එක එක්කෙනාවත් නො වෙයි. අපි නොදන්න ප්‍රජාතන්ත්‍රවාදය.