Main Logo

Sunday 11 April 2021

උගතුන්ගේ පරස්පර නැති නාභි

 

උගතුන්ගේ පරස්පර නැති නාභි

 

මෙරටට ලොකු ම ප්‍රශ්නය උගතුන් වැඩි වීම බව මා නොයෙක් වර කියා තියෙනවා. එමෙන් ම මා උගතකු වියතකු බුද්ධිමතකු නොවන බවත් මා කියා තියෙනවා. උගතුන් හා බුද්ධිමතුන් ඒ බව දන්නවා. ඔවුන් මා කියන කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. ජාතික කඳවුරේ ඉන්නවා දත් දොස්තරලා තුන් දෙනෙක්. ඔවුන් මා කී කිසි දෙයක් අගය කරන්නේ නැහැ. එහෙත් විවේචනය නම් කරනවා. නුවර ඉන්න දත් දොස්තර හිතන්නේ තමන් විද්‍යාඥයකු බව. දත් දොස්තරලා නොව දොස්තරලාවත් විද්‍යාඥයන් නො වෙයි. ඔවුන් තාක්‍ෂණික ශිල්පීන් පමණයි. මා නම් විද්‍යාඥයකු නොවන බව මාත් ඔවුනුත් දන්නවා. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු අයෙක් පමණයි. නුවර ඉන්න දත් දොස්තර කොළඹ ඉන්න ප්‍රසිද්ධ දත් දොස්තර නම් අගය කරනවා. ඔවුන් මා මෙන් නොව සාහිත්‍යකරුවන්, විද්‍යාඥයන්, දේශපාලන විශ්ලේෂකයන් උගතුන් බුද්ධිමතුන් හා තවත් අය.

 

මියන්මාහි මෙතරම් උගතුන් නැහැ. ලෝකයේ නැවත බෞද්ධ රාජ්‍යයක් පිහිටුවීමට හැකි පහසුම රට මියන්මා විය යුතුයි. දැන් මගෙන් අහන්න එපා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියන්නෙ බටහිරයන් වෙනුවෙන් බටහිරයන් සඳහා බටහිරයන් පවත්වාගෙන යන රාජ්‍යයක්. ඒ සඳහා බටහිරයන් නොයෙකුත් ආයතන ඒ ඒ රටවල ඇති කර තියෙනවා. පාසල්, විශ්වවිද්‍යාල, ජනමාධ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන, ඊනියා පර්යේෂණ ආයතන, සාහිත්‍යය ඉන් ප්‍රධානයි. ඊනියා සම්මාන උළෙල , ජාතික මෙන් ම ජාත්‍යන්තර, ඇත්තේ තම තමන්ගේ පිට කසා ගැනීමට. විශ්වවිද්‍යාලවල ඊනියා සම්මාන ආචාර්ය පදවි ලබා දෙන්නෙත් මහා උදාර අරමුණක් වෙනුවෙන් නො වෙයි. සම්මානිත මහාචාර්ය ධුරත් ලැබෙන්නේ තම තමන් වෙනුවෙන්. සම්මානිත මහාචාර්ය ධුර ආශ්‍රිත මහාචාර්ය ධුර දැරූවන්ටත් දුන් අවස්ථා තියෙනවා. එහි දී මාක්ස්වාදීන්ටත් ප්‍රශ්නයක් වී නැහැ.

 

මාක්ස්වාදයත් මේ සමාජ ක්‍රමයෙහි ම තවත් අංගයක් පමණයි. ධම්මික වෙද මහතාට සම්මාන ආචාර්ය උපාධියක් ප්‍රදානය කළ යුතු යැයි මා යෝජනා කළොත් උගත් ජනමාධ්‍යවේදීන් කුමක් කියාවි ද? එසෙත් නැත්නම් අර කැලණියේ දී නාග ලෝකයට ගොස් ධාතුන් වහන්සේ වැඩම කළ අයට, මට මතක හැටියට ඔහු නමින් උදාර, ජාතික සම්මානයක් දීමට මා යෝජනා කළොත් උගත් විද්‍යාඥයන් කුමක් කියාවි ද? එහෙත් තව ටිකක් පරිසරය ගැන කතා කළොත් දේවානි ජයතිලක නොබෙල් සාම තෑග්ගට වුණත් නිර්දේශ වේවි. ඒ දවස්වල චන්ද්‍රිකාට නොබෙල් සාම තෑග්ග දීමට කතාවක් තිබුණා. මියන්මාහි සුචි නෝනට නොබෙල් තැග්ග දී ආපසු ගත්තා වගෙයි මගේ මතකය. චන්ද්‍රිකා හා සුචී සංසන්දනය කරමින් ලිපියක් ලිවීමේ වුවමනාව තිබුණත් තානාපති ධුරය දරණ තෙක් එයට ඉඩක් ලැබෙන්නේ නැහැ.

 

ඒ වුණත් ධම්මික වෙද මහතා හා අර කැලණියේ දී ධාතුන් වහන්සේ වැඩම කළ අය මෙරටට ඔය උගතුන්ට වඩා සේවයක් කර තියෙනවා. කළු කුහර යනු කුමක් දැයි ඇසුවොත් ඔය ඊනියා උගතුන් දෙන පිළිතුර මොකක් ද? ඔවුන් කළු කුහර දැක තියෙනවා ද? කළු කුහරවල ශබ්දයක් අහල තියෙනවා ද? කළු කුහර ස්පර්ශ කර එහි ගඳ සුවඳ රස බලා නැති බව නම් කියන්න පුළුවන්. කළු කුහර දැකපු අයකු ලෝකයේ නැහැ. එහෙත් අර ධාතුන් වහනසේ වැඳ පුදා ගත් අය ඉන්නවා.  ඒත් ඊනියා උගතුන් අර කිසිවකු දැක නැති පට්ටපල් බොරු සමීකරණ විද්‍යා කතන්දර මත පදනම් වෙච්ච කළු කුහර විශ්වාස කරනවා. කළු කුහරයක් ඇතුළට අංශු ගියොත් ඒවා ආපසු එන්නේ නැහැලු.  ඒ අංශු අර සිද්ධි ක්‍ෂිතිජය (event horizon) පහු කරල ගියොත් දකින්න බැහැ කියනවා. එහෙත් විද්‍යාඥයන් ඔය කළු කුහරවල ඡායාරූප සකස් කරනවා. ඒ කරන්නේ කොහොමද කියා කිසිවකු ප්‍රශ්න කරන්නේ නැහැ. මා වැනි නූගතකු පමණයි එවැන්නක් අහන්නෙ. ඡායාරූප සකස් කරන්න පුළුවන් නම් කළු කුහරයක් අඩු තරමෙන් යම් පෘෂ්ඨයක් අශ්‍රිත ව පවතින්න ඕන. එහෙම පෘෂ්ඨයක් ගැන කවුරුන්වත් කතා කරන්නෙ නැහැ. ඒකට අර කැලණි ගඟේ නාගයා ගැන අහන ප්‍රශ්න.

 

ලංකාවේ උගතුන් කිසි දෙයක් ගැඹුරින් හදාරන්නේ නැහැ. ඔවුන් ප්‍රශ්නයක් සමස්තයක් ලෙස දකින්නේ නැහැ. අපට සමස්තයක් ලෙස දකින්න මේ කසිකබල් අධ්‍යාපනයෙන් පුහුණුවක් ලැබෙන්නෙත් නැහැ. ඊනියා විශේෂඥයන් වීමට නාභිගත වීමට තමයි ඉගැන්වෙන්නෙ. මගේ ලිපි ගැන බොහෝ උගතුන් කියන දෙයක් නම් එහි නාභිගත වීමක් නැහැ කියා. ඒක ඇත්ත. මා මේ කසිකබල් අධ්‍යාපනයේ පෙකණිවැල කඩා ගෙන ඇවිත් බොහෝ කල්. මා නාභිගත වන්නේ නැහැ. මට අවශ්‍ය සමස්තය දැකීමට මිස නාභියෙන් එහාට කිසිවක් නොපෙනෙන ඊනියා විශේෂඥයකු වීමට නොවෙයි.

 

අපේ පැරණි අධ්‍යාපනය සමස්තය දැකීමට උපකාර කළා. ගුත්තිල පඬිතුමාට හිටියේ එක් මූසිලයකු පමණයි. මට මූසිලයන් සිය ගණනක් ඉන්නවා. ගුත්තිල පඬිතුමාට ශක්‍රයා ආධාර කළා. වීණාවේ තත් කඩන්න කිව්වා. අර ගුලි වගයක් අහසට විසි කරන්න කිවුවා. ඒ සුරඟනන් එදා දුන් රඟ බලන්නට අපට අද බැහැ. ඒ සඳහා සුරලොව යන්න ම වෙනවා. ඇත්තට ම සුරලොවට කැලණියේ ඉඳන් කොයි තරම් දුර ද? නාග ලොවට වඩා නම් දුර වෙන්න ඕන. ඒ කුමක් වුණත් ශක්‍රයා කළ වැඩේ හරි ද? එක් තරග කාරයකුට පමණක් උදවු කිරීම හොඳ ද?

 

කැරොලයින් ජූරි කරපු වැඩේ හරි ද? පුෂ්පිකා ද සිල්වා විවාහක ද නැත් ද? නීිතිය අනුව තවම දික්කසාද වී නැහැ. ඒත් වෙන් වෙලා. නීතිය බම්බුවක් ද? විවාහක කඩවසම් රජුන් තෝරන්නෙ නැත් ද? මට ඉදිරිපත් වෙන්න නො වෙයි. අයින්ස්ටයින්ගේ සමීකරණ අනුව නොපෙනෙන කළු කුහර තියෙනවා ද? ඒ නොපෙනෙන කළු කුහරවල ඡායාරූප සකස් කරන්නෙ කොහොමද? අයින්සටයින් සමීකරණ පට්ටපල් බොරු ද? සිද්ධිකා සේනාරත්න කී දෙයෙහි අති වැරැද්ද මොකක් ද? ඇය කටයුතු කරන්නෙ පවතින නීති රාමුව ඇතුළෙ. ඇය දන්නා හැම දෙයක් ම ජනතාවට කීමට ඇය බැඳිලා නැහැ. ජනමාධ්‍යවේදීන්ට කියන්න කොහොමටවත් බැඳිලා නැහැ. ජනමාධ්‍යවේදීන් කියන්නෙ යම් ආයතනයක සේවය කරන්නන් නැත්නම් ස්වයං රැකියාවක් කරන අය වෙන්න පුළුවන්. ඔවුන්ට ජනතාව වෙනුවෙන් කතා කරීමට බලයක් දීල තියෙන්නෙ කවුද? ඔවුන් ෆෝත් එස්ටේට් (estate) ලෙස ප්‍රංශයෙදි නම් කාලයක් හැඳින්වුවා. ජනමාධ්‍යවේදීන් සමහරු හිතන් ඉන්නෙ ඔවුන් ෆෝත් ස්ටේට් (state)  කියල. මියන්මා ධීවරයන් ගැන ජනමාධ්‍යවේදීන් අහන හැම ප්‍රශ්නයකට ම මා නම් පිළිතුරු දෙන්නෙ නැහැ. අප කර ඇති දේ විදේශ අමාත්‍යාංශයට දන්වනවා. සමහර වෙලාවට විදේශ අමාත්‍යාංශයට දන්නන්නෙ නැතිව ඇමතිතුමාට හා ජනාධිපතිතුමාට පමණක් දන්වලත් මා වැඩ කරනවා. නඩු නැති නීතිඥයන් කතුකම් කරන පුවත්පත්වල මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් ද? මේ ලිපියට නාභියක් නැත් ද? පරස්පර නැති නාභියක් තියෙන්න පුළුවන් ද?           

 


               /