මියන්මා අවුරුද්ද
ලංකාව හා බුරුමය අතර ඉතා සමීප සම්බන්ධකම් තිබුණේ දහසයවැනි සියවස පමණ වන තෙක්. මා හිතන විධියට සංස්කෘතික වශයෙන් අපට වඩාත් ම සමීප රට බුරුමය නැත්නම් අද කියන විධියට මියන්මා. එහෙත් මියන්මා දේශය ගැන සිංහලයන් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මියන්මා බටහිර සිරිත් විරි්ත්වත් ඉන්දියාවවත් අනුකරණය කරන රටක් නො වෙයි. එහෙත් කලක් ලංකාව සමග නම් ඉතා කිට්ටුවෙන් කටයුතු කර තියෙනවා.
මියන්මාහි කටයුතු කරන එක පහසු වැඩක් නො වෙයි. රාජ්‍ය සේවයේ කටයුතු කෙරෙන්නේ වෙනත් රටවල ආකාරයෙන් නො වෙයි. ධීවරයන්ගේ ප්‍රශ්නයේ දී අපට ඒ බව හොඳ හැටි වැටහුණා. මෙරට බොහෝ දෙනා විශේෂයෙන් ම ජනමාධ්‍යවේදීන් තානාපති කාර්යාලය විවේචනය කළේ අප කිසිවක් නොකරන ලෙස සලකමින්. දෙරණේ ප්‍රධාන ජනමාධ්‍යවේදියකු තානාපති සේවය තම කාර්යය නොකරන බවට රාජ්‍ය ඇමති තාරක බාලසූරියට කිවුවා. එහෙත් තාරක බාලසූරිය තානාපති සේවය වෙනුවෙන් කිසිවක් කිවුවේ නැහැ. දෙරණේ ප්‍රධානීන්ට අනුව එකී ජනමාධ්‍යවේදියා ප්‍රබුද්ධයෙක්!
සිංහලයන්ගේ හැටි මා හොඳහැටි දන්නවා. අවුරුදු සමයේ නොයෙක් සමගි කතා කිවුවත් අප බලා ඉන්නේ අනෙකාගේ වැරදි සෙවීමට හා කීමට. කොට්ටපොර තරගයෙන් වැටෙන එකාට හිනහවෙන්න. ගෙදර වැඩක් කර ගැනීමට මේසන් බාසුන්නැහැ කෙනකුට කතා කළ විට ඔහු ඇවිත් බලා පළමුව කරන්නේ කලින් වැඩ කළ බාසුන්නැහැගේ වැරදි කීමයි. මියන්මාහි තානාපති කාර්යාලයේ වැරදි ගැන බොහෝ දෙනා කතා කරාවි. ධීවරයන් වෙනුවෙන් අප කිසිවක් නොකළ බවත් කියාවි. ධීවරයන් හිරේ ඉන්දැද්දී තානාපති කිසිවක් නොකර ලංකාවට පැමිණ ඇති බවත් කියාවි. මා ධීවරයන් වෙනුවෙන් කුමක් කෙළේ දැයි කීමට මට අවශ්‍ය නැහැ. කිසිවක් කර නැතැයි සිතා ගන්න. මා මේ තානාපතිකම කරන්නේ ජනාධිපතිතුමා හා විදේශ ඇමතිතුමා වෙනුවෙන්. මට තව අවුරුද්දක් වැඩ (නො)කරන්න තියෙනවා. මා නම් හිතන් හිටියේ මෙවර ම අස් වී පැමිණෙන්න. මුහුණු පොතේ කවුදෝ කියා තිබුණලු වැඩ බැරි තානාපති කියා.
අවුරුද්ද සිංහලයන්ගේ උත්සවයක් වුණත් අප එය සූූර්යයා රේවති නැකතින් අස්විද නැකතට හරි මීනෙන් මේෂයට හරි සංක්‍රමණය වීම පදනම් කරගෙන පටන් ගත්තත් එහි ප්‍රධාන කාර්යය හිස තෙල් ගා ස්නානය කිරීම වුවත් අප සුපුරුදු පරිදි ඉන්දියාවේ හින්දු ආභාසය නිසා අද සූර්යයා මීනයෙන් මේෂයට යෑම පදනම් කරගෙන අවුරුද්ද පවත්වනවා. තෙල් ගාන උත්සවය අද පන්සලට ඕන නිසා කෙරෙන්නක් බවට පත් වෙලා. තවමත් තෙල් ගෑම සඳහා අවශ්‍ය නානු ආදිය පන්සලෙන් සැපයෙනවා. පැරණි සිංහල සංස්කෘතිය හැඳින ගැනීමට මියන්මා සංස්කෘතිය අපට උදවු වෙනවා.
අප ඉන්දියාවත් එංගලන්තයත් අනුකරණය කළත් බුරුමය එසේ කෙළේ නැහැ. එහෙත් එය තව කොපමණ කාලයකට ද කියන්න බැහැ. බුරුමයේ (මියන්මාහි) රාජ්‍ය සේවය අපට වඩා වෙනස්. අප හැකිතාක් ඉංගිරිසින් හා ඉන්දියයන් අනුකරණය කරනවා. එහෙත් මියන්මා දේශයෙහි එසේ වන්නේ නැහැ. එහි අලුත් අවුරුද්දේ් තවමත් ස්නානය වැදගත්. ජනතාව ගෙවී යන වසරේ සියලු විපත් අපල උපද්‍රව දුරු කිරීමට මෙන් දින කිහිපයක් වතුර ඉහගන්නවා. ඔවුන්ගේ වැදගත් දිනය දාහත්වෙනි දා. පැරණි රජ කෙනකු එදින හිස තෙල් ගෑ කතාවක් ජනප්‍රවාදයේ තියෙනවා. එදින මියන්මාහි පොදු සමාව දෙන දිනයක්. අපත් ඒ ගැන බලාපොරොත්තුවෙන් කතා කර තියෙනවා. තෙරිඳු (නිරිඳු මෙන්) අප වෙනුවෙන් අනුශාසනා කර තියෙනවා.
බුරුමයේ අවුරුද්ද හඳුන්වන්නෙ තින්ග්‍යාන් කියා. ඒ උච්චාරණය හරිද කියා මා දන්නේ නැහැ. සමහරවිට එය සින්ක්‍යාන් වෙන්නත් පුළුවන්. කොහොමටත් එහි තේරුම වෙනස බව කියැවෙනවා. මේ හා සම්බන්ධ කතා තියෙනවා. එහි පොදු අර්ථයට අනුව එක් කලක ශක්‍රයා මහා බ්‍රහ්මයා සමග කළ සටනින් පසු බ්‍රහ්මයාගේ හිස කඳින් වෙන් කර තියෙනවා. ඒ හිස වැටුණොත් එතැන ගිනි ගන්න පුළුවන්. ඒ නිසා ශක්‍රයා දිව්‍යාංගනාවන් හත්දෙනකුට පවරල අවුරුද්දක් බැගින් හිස තියාගෙන අතින් අතට දෙන්න. මේ ශක්‍රයා මඝ මානවකයාට සම්බන්ධ කරන පුවත් මියන්මාහිත් තියෙනවා.
මට මේ ශක්‍ර-බ්‍රහ්ම ගැන මගේ ම කතාවක් තියෙනවා. මෙය වෙනසක්. මහා බ්‍රහ්මයාගෙන් ශක්‍රයාට මාරු වීම පිළිබඳ වෙනසක්. බුරුමයේත් අනෙක් වත්මන් ථෙරවාදී රටවල මෙන් ම කලක් ජනවාරියේ සිදුවන මකර සංක්‍රාන්තිය (තෛපොන්ගල්) අවුරුද්ද වෙන්න ඇති. එහෙත් සිංහල බුද්ධාගමේ ඇසුරෙන් මේ සංක්‍රාන්තිය මේෂ (අස්විද) සංක්‍රාන්තියට වෙනස් වෙලා තියෙනවා. මෙහි ඇති වෙනස එය වෙන්න ඕන. වෛදික මහා බ්‍රහ්මයා වෙනුවට බෞද්ධ ශක්‍රයා පැමිණ තියෙනවා. ශක්‍රයා බ්‍රහ්මයා පරාද කර ඝාතනය කිරීම තමයි වෙනස. වෛදික ඇදහිලිවලින් බෞද්ධ ක්‍රමයට වෙනස් වෙලා. ශක්‍රයා බ්‍රහ්මයාගේ කඳට ඇත් හිසක් සවි කළ කතාවකුත් තියෙනවා. එය අර ගණ දෙවි කතාව වගේ.
මේ කතා සිංහලයන්ට වැඩක් නැති බව මා දන්නවා. සිංහලයන් ථෙරවාදය ගැන කියෙවුවත් ඊයේ ලිපිය දහසක් දෙනාට පමණක් කියවන්න ලැබිලා. ඒ සජිත් ගැන ලිපිය හත්දහසක් අතටත් ලංසා ගැන ලිපිය පන්දහසක් අතටත් පත් වෙද්දී. අපේ ථෙරවාදය නමට පමණක් ද?