ථෙරවාද රටවල් එකතු කරන අවුරුද්ද
ඉර ගමන් කරන බව දන්න අයට සුබ අලුත් අවුරුද්දක් වේවා.
සූර්යයා ක්‍රාන්ති වලයය (ecliptic) දිගේ සිදු කරන තම වාර්ෂික චලිතයෙහි එක්තරා අවස්ථාවක් සලකමිනුයි අප අවුරුද්ද පවත්වන්නෙ. එහෙමත් නැත්නම් අවුරුද්ද පටන් ගැනීම ලෙස සලකන්නෙ. අද අපට තවත් අවුරුද්දක් උදා වෙනවා. එය යම්කිසි සිද්ධියක් මුල් කරගෙන සිදු වන්නෙ. ජනවාරි පළමුවැනි දා වගේ නො වෙයි. ජනවාරි පළමුවැනි දා සිදුවන දෙයක් නැහැ. අවශ්‍ය ම නම් එය ක්‍රිස්තු උපතින් සත්වැනි දා කියා ගත හැකියි.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යෑම තමයි
සාමාන්‍ය විධියට අවුරුද්ද සනිටුහන් කරන සිද්ධිය. සූර්යයා චලනය වන්නේ පෘථිවියට
සාපේක්‍ෂ ව. හඳේ ඉඳල සූර්ය ගමන නිරීක්‍ෂණය කළොත් වෙනත් ආකාරයකට පෙනේවි. සෑම
චලිතයක් ම සාපේක්‍ෂයි. නිරපේක්‍ෂ චලිත ලෝකයේ නැහැ. ඒ කොහොම වුණත් මගේ විශ්වාසයක්
තියෙනව අපේ අවුරුද්ද සූර්යයා රේවති නැකතින් අස්විද නැකතට යන දිනය කියා. මේ ගැන මට
තවමත් විධිමත් හැදෑරීමක් කරන්න ලැබුණේ නැහැ. නැකත් කියන්නෙ සිංහලයන්ගෙ සංස්කරණයක්
(නිර්මාණයක්). නැකැත් කියන වචනෙන් නක්‍ෂත්‍ර කියන සංස්කෘත වචනය හැදිල තියෙන්නෙ.
නක්‍ෂත්‍ර කියන වචනයට සංස්කෘත භාෂාවෙන් නිරුක්ති නැහැ. නැකැත් අපේ නාගයන්ගෙ, නකයන්ගෙ, නාවිකයන්ගෙ
සංස්කරණයක් වෙන්න ඕන. අස්විද රෙහෙණ වගේ වචන සිංහල වචන මිස වෙනත් බසකින් තනාගත් වචන
නො වෙයි.
සිංහලයන් යම් යම් දේ ලෝකෙට දීල තියෙනවා. අපේ
අවුරුද්දත් ඉන් එකක්. අපි අස්විද කතාව පැත්තකින් තියල මේෂ කතාව ගත්තත් අපට කියන්න
පුළුවන් මේ සූර්ය සංක්‍රාන්තියක් කියල. සංක්‍රාන්තියක් කියන්නෙ සූර්යයා එක්
රාශියකින් තවත් රාශියකට සංක්‍රමණය වීම, නැත්නම් ගමන් කිරීම. එ විධියට ගත්ත ම
අවුරුද්දකට සංක්‍රාන්ති දොළහක් තියෙනවා.
අද මේෂ සංක්‍රාන්තිය නම් මකර සංක්‍රාන්තිය
සිදුවන්නේ ජනවාරි 14 වැනි දා පමණ. එය නිරායන ක්‍රමයට. ඒ
කියන්නෙ පෘථිවි අක්‍ෂයෙ අයනය, නැත්නම්
අවුරුදු විසිහයදාහක් පමණ අරගෙන යම් දිශාවක්
වටා එක් වරක් කැරකවීම (භ්‍රමණය වීම, බමරයක අක්‍ෂය වගේ) නොසලකමින් කරන ගණන්
බැලීමේ ක්‍රමයට, සිදුවන්නක්. සූර්යයාගේ මකර සංක්‍රාන්තිය
කියන්නෙ සූර්යයා ක්‍රාන්ති වලයයෙහි තම වාර්ෂික චලිතයෙහි දකුණට ගොස් ආපසු උතුරට
හැරීම. එයට උත්තරායනය කියාත් කියනවා. මකර සංක්‍රාන්තිය තමයි හින්දුන්ගෙ අවුරුද්ද.
තෛපොන්ගල් උත්සවයත් ඒ හා සම්බන්ධයි.
මේෂ සංක්‍රාන්තිය ථෙරවාද බෞද්ධයන්ගෙ අවුරුද්ද
පටන් ගැනීම. මියන්මා, කාම්බෝජය, ලාඕ, තායිලන්තය
යන රටවල පමණක් නොව චීනයේ යුනාන් ප්‍රාන්තයේත් එය පැවැත්වෙනවා. කවුරු මොන බයිලා
කිවුවත් මෙරට හින්දුන් බෞද්ධයන් අවුරුද්ද
පවත්වන ආකාරයට පවත්වන්නෙ නැහැ. මෙය අපේ පිරිසක් යාපනයට ම ගොස් දැනගත් කරුණක්. මෙය
තවමත් සිංහල දෙමළ අවුරුද්දක් නොවෙයි.
එහෙත් හින්දුන් ද බෞද්ධයන් මෙන් අවුරුද්ද පවත්වන ව නම් මා කැමතියි.
අවුරුද්ද නිසා දැනට පඬි නැට්ටන් හැර සිංහලයන් එක දවසකට නැත්නම් සතියකට හරි එකතු
වෙනවා. ජාතියක් ලෙස හිතනවා. දෙමළ ජනයා ද එදින අප සමග එකතු වෙනවා නම් ඔවුන්
තවදුරටත් ජාතියට අවශෝෂණය කරන්න පුළුවන් වේවි.
ඊයේ දෙරණ,
දෙරණ අරුණ හා චතුර අල්විස් කාටවත්
නොසිතෙන දෙයක් කළා. ඔවුන් ගිය අවුරුද්දේ සිදු වූ දේ ගැන ආපසු හැරී බැලුවා. ඒ ගැන
දෙරණ අරුණ නිෂ්පාදක කණ්ඩායමට අප කෘතඥ විය යුතුයි. සාමාන්‍යයෙන් බොහෝ දෙනා ආපසු
හැරී බලන්නේ දෙසැම්බර් තිස්එක්වැනි දා. අප අවුරුද්ද පටන් ගන්නෙ අද වගේ දවසක. ඒ
නිසා ආපසු හැරී බැලීම ඊයේ සිදු කළ එක හරි. අප පාසල් වර්ෂ ජනවාරියේ නොව බක් මහ
අවුරුද්දෙන් පසු ආරම්භ කරන්න ඕන. ඒ ඒ රටවල පාසල් වර්ෂ පටන් ගන්නෙ ඒ ඒ රටවලට ආවේණික
ආකාරයට. එංගලන්තය එක්සත් ජනපද ආදී රටවල සැප්තැම්බර් ඔක්තෝම්බර් මාසවල, ඕස්ත්‍රේලියාවෙ
නවසීලන්තයෙ පෙබරවාරි මාර්තු මාසවල. ඒ ශීත සෘතුව සමග බැඳිණු දින. අපට අවුරුද්දට
තරමක දිර්ඝ නිවාඩූවක් දීල වෙසක් මාසෙ පාසල් වසර අරඹන්න පුළුවන්. සාමාන්‍ය පෙළ උසස්
පෙළ ආදී විභාග දුරුතු නවම් මාසවල පවත්වන්න පුළුවන්. කොවිඩ් 19
සමනය වුණාට පසු ඒ ගැන හිතන්න පුළුවන් ද?
ථෙරවාද රටවල මේ දිනවල අවුරුද්ද පැවැත්වෙනවා.
තායිලන්තය කාම්බෝජය ලාඕ රටවල එය සංක්‍රමණය දක්වන සොන්ක්‍රමණ ආදී නම්වලින්
හැඳින්වෙන්නෙ. සමහර විට මෙය මකර සංක්‍රාන්තියෙන් බිඳුණු වචනයක් වෙන්න පුළුවන්. ඒ
රටවල හින්දු සංස්කෘතියෙ ඉතුරු බිතුරු දකින්න පුළුවන්. රාමායනය තවමත් ඔවුන් අතර
ජනප්‍රියයි. මට හිතෙන්නෙ ඒ රටවල් ථෙරවාද වුණාට පස්සෙ සංක්‍රාන්තිය කියන වචනයත්
අරගෙන ම මකර සංක්‍රාන්තියෙන් මේෂ සංක්‍රාන්තියට
සංක්‍රමණය වුණා කියා.
මියන්මාහි අවුරුදු උත්සවයට කියන්නෙ තියන්ග්‍යා
කියා. ඔවුන් සතියක් පමණ උත්සවය පවත්වනවා. ථෙරවාද රටවල අවුරුද්දේ ප්‍රධාන තැන
ලැබෙන්නෙ ස්නානයට. ඒ වතුර ඉහ ගැනීමක් ද වෙනවා. මියන්මාහි ප්‍රධාන උත්සවය
පැවැත්වෙන්නෙ අප්‍රේල් දහහත්වැනි දා. මෙය අපේ තෙල්ගාන අවුරුද්ද සමග සංසන්දනය කරන්න
ඕන. ලංකාවෙ සමහර පළාත්වල තෙල් ගාන අවුරුද්ද වැදගත් වෙනවා. මියන්මා තියන්ග්‍යා ගැන
විස්තරයක් හෙට.