Main Logo

Friday 2 April 2021

අවමංගල ආඩම්බරය

 

අවමංගල ආඩම්බරය

 

මේ රට පුදුම රටක්. රණවිරුවන් හා ජාතිය පාවා දීම ජයග්‍රහණයක් කියල කියන්න පුළුවන් අමනයන් ඉන්න රටක්. ඒ ගැන තමයි අද කතා කරන්න ඕන. ඒකෙන් වෙන්නෙ සංස්කෘතික දෙබිඩ්ඩන් ගැන කියන එක කල් යන එක. ඒ විතරක් නෙවෙයි බිම්ස්ටෙක් ගැනත් අද කතා කරන්න  බැරි වෙන එක. බිම්ස්ටෙක් ගැන හුඟක් දේ කියන්න තියෙනවා. මියන්මාහි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පූජා කරන්න සූදානම් ලංකාවෙත් මියන්මාහිත් ඉන්න ඇතැම් සිංහලයන්,(සිංහල බෞද්ධයන් වීමට ලොකු ඉඩකඩක් තියෙනවා) දිනේෂ් ගුණවර්ධන අනෙක් විදේශ ඇමතිවරුන්ටත් එක්ක මියන්මාරයෙ විදේශ ඇමතිට රැස්වීමට ආරාධනයක් යැවුව කියල අපටවත් ඉන්න දුන්නෙ නැහැ. දැන් ඔන්න බිම්ස්ටෙක් පවත්තල ඒ රටවල් හතේ ම විදේශ ඇමතිවරුන්ගෙ සහභාගිත්වයෙන්. ඒ කියන්නෙ ඉන්දියාවෙ විදේශ ඇමතිත් එක්ක. නරක ද ලංකාවෙ ඉන්දීය මහා කොමසාරිස්ගෙන් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලුවා නම්.

 

ඒ ප්‍රජාතන්ත්‍රවාදෙ දැනට පැත්තකින් තියමු. හැමදාමත් රටට අවමංගලයක් වූ මංගල පහුගිය දා කියා තිබුණා 2015 ජෙනීවා යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වූයේ නැහැ කියල. වාර්තා වෙන විධියට ඔහු කියා තියෙන්නෙ ඒ යෝජනාව ලංකාවෙ යෝජනාවක් බවත් එයට එංගලන්තය ඇතුළු රටවල් සම අනුග්‍රහකත්වය දැක් වූ බවත්. එය එහෙම කියල මා නම් හිතන්නෙ නැහැ. ඒහෙම කළත් ලංකාව කෙටුම්පත් කරන්න ඇත්තෙ එංගලන්තෙ වචනවලින්. අනෙක් අතට මංගල කියනවා සිරිසේන අද මොනව කිවුවත් 2015 දී යෝජනාව අකුරක් නෑර අනුමත කළා කියලා.

 

මා ඒක නම් පිළිගන්නවා. ඒ පාවා දීමේ යෝජනාව සම්බන්ධයෙන් එ ජා ප, ශ්‍රී ල නි ප, ජාතික හෙළ උරුමය, මුස්ලිම් පක්‍ෂ, ඇතුළු ජඩපාලකයන් සියල්ල වග කියන්න ඕන. ඒ විතරක් නොවෙයි ආණ්ඩුවත් එක්ක හිටිය රනිල්දාස යටත්විජිත හේරත් සහෝදරයන්ගෙ ජ වි පෙ, සම්බන්ධන් සුමන්තිරන් ඇතුළු දෙමළ ජාතික සංධානය, වගේ පක්‍ෂත් වග කියන්න ඕන. මෛත්‍රිපාලට ආර් ප්‍රේමදාසට තිබුණු පෞරුෂය ඒ දවස්වල තිබුණ නම් රට වෙනස් වෙන්න ඉඩ තිබුණ. ප්‍රේමදස වෝඩ් පෙදෙසෙ ජේ ආර් ජයවර්ධනගෙ නිවසට ගිහින් තදින් කතා කරළයි ජනාධිපති අපේක්‍ෂකකම ලබා ගත්තෙ. ඒ පෞරුෂය සජිත්ට ගෑවිලාවත් නැහැ.

 

සිරිසේනට 2015 දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් ජනාධිපති අපේක්‍ෂකකම කීයටවත් ලැබෙන්නෙ නැහැ. ඒත් ඔහු ශ්‍රී ල නි පක්‍ෂය ඇතුළෙ කළ යුතු ව තිබූ සටන කෙළේ නැහැ. ඔහු කළකිරිල සතුරු පිළට එකතු වුණු එකයි කෙරුවෙ. විජාතික බලවේග ඔහු යොදා ගත්ත. ශ්‍රී ල නි පක්‍ෂය ඇතුළෙ එවැනි සටනක් ගෙනි යන්න බැරි කමක් තිබුණ ද කියල මට කියන්න බැහැ. එහෙම නම් අද පොදු ජන පෙරමුණ ඒ ගැන හිතන්න ඕන.   

 

2015 දි සිරිසේන ජඩපාලනයෙ හිරකාරයෙක්. ඔහු එදා රනිල්ට සර් කියන්නත් චන්ද්‍රිකාට මැඩම් කියන්නත් අවසර ඉල්ලවා. ආර් ප්‍රේමදාස එහෙම කළෙ නැහැ. ඔහුගෙ දේශපාලනය අප අනුමත නොකළත් සමහර ඇවතුම් පැවතුම් කාටත් ආදර්ශයක්. 2015 මංගලගෙ අවමංගල යෝජනාව සිරිසේන එක පයින් අනුමත කරන්න ඇති ඒත් ඒකෙන් කියන්නෙ නැහැ සිරිසේන යෝජනාව පිළිගත්ත කියල. ඔහු තම ස්වාමීන්ට කීකරු වුණා පමණයි. ඔහුට ස්වාමීන්ට විරුද්ධ වන්න ශක්තිය අවශ්‍ය වුණා. කල් යෑමේ දී ඒ ශක්තිය ජාතික ව්‍යාපාරයේ කොටසක් විසින්  සැපයුණේ ජාතික ව්‍යාපාරයේ ම ඇතැමුන්ගේ අවඥාව මධ්‍යයේ. ඒ ඇතැමුන් අදත් අපට මයිලෝ පොවන්න ලැහැස්තියි. ඔවුන් දන්නෙ නැහැ ඒ ශක්තිය 2018 ඔක්තෝම්බරයෙ කොපරම් පිහිට වුණා ද කියල ජඩපාලනය එලවන්න. ඒක ඊට පස්සෙ ගෝඨාභයට පිහිටක් වුණා ද කියන එකත් ඔවුන් දන්නෙ නැහැ.

 

ඒ කොහොම වුණත් සිරිසේන අද ශ්‍රී ල නි පක්‍ෂයත් සමග අවමංගල යෝජනාවට විරුද්ධයි. ඔහුගෙ ප්‍රතිපත්තියෙ දියාරු බවක් වැනෙන සුළු බවක් තිබුණා. කොටි පැරදවීම සම්බන්ධයෙන් 2005 ආණ්ඩුවටත් මුල දි හිතපු දේට වෙනස් දෙයක් 2008 - 2009 දි කරන්න සිද්ධ වුණා.  ප්‍රතිපත්තිවල සංගත බවක් දේශපාලනඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. අවමංගල කියන්නෙ ජඩපාපලනයට ලෝකෙ ප්‍රධාන රටවල් ඔක්කොම හිටියා නමුත් මේ ආණ්ඩුවට ඇත්තෙ රටවල් කිහිපයක් පමණයි කියල. අවමංගලට එංගලන්තයට හා අනෙක් බටහිර රටවලට වඳින්න පුදන්න ඔවුන් ළඟ දණ ගහන්න වුවමනාව තියෙන බව පැහැදිලියි. ලක්‍ෂ ගාණක් මිනිසුන් මරපු එංගලන්තෙට තියෙන වැදගත්කම මොකක් ද? ඔවුන් අපේ රටෙත් කී දෙනකු මැරුවාද? අප එංගලන්තය වගේ රටවල් එක්ක ඉන්නව කියන්නෙ ආඩම්බරයට කාරණයක් නොවෙයි. ලජ්ජාවට කාරණයක්. ඔවුන් තමයි අපේ රටේ දී නම් දෙමළ ජාතිවාදයට අනුග්‍රහය ආධාරය හා ආශිර්වාදය ලබා දෙන්නෙ. අවමංගලටත් සිංහල බෞද්ධ සංස්කෘතියත් සමග  කෝන්තරයක් තියෙනවා. ඒකට හේතුව මා දන්නෙ නැහැ. ඔහු එංගලන්තයත් දෙමළ ජාතිවාදයත් සමග එකතු වී සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා. සිංහල බෞද්ධයන්ගෙ සහනශීලී ගතිය නිසා මංගලට ලංකවෙ ප්‍රශ්නයක් නැහැ. ඒත් පාර්ලිමේන්තුවට තේරී පත්වීම නම් ප්‍රශ්නයක්.

 

මේ අතර කරු ජයසූරිය කියල තිබුණ ජෙනීවා යෝජනාවෙන් අප පැරදීම භයානක ප්‍රතිඵල අත්කර දේවි කියා. එංගලන්තෙට හා අනෙක් බටහිර රටවලට වැඩිම වුණොත් කරන්න පුළුවන් තහංචි පනවන්න විතරයි. ඔය කියන භයානක ප්‍රතිඵල මොනවා ද? කරු ජයසූරියල අවමංගලල විතරක් නොවෙයි රනිල්දාසලත් හිතන් ඉන්නෙ බටහිර රටවල් හරි බලවත් කියල. ඔය හැමෝම කොවිඩ්වලින් වැටිල. ඔවුන්ට ලෝකයේ තියා තම රටවලවත් කරන්න පුළුවන් දේ ඉතා සීමිතයි. කරු ජයසූරියලට අවමංගලලට ඕන රණවිරුවන්ට දඬුවම් කරන්න. මොන බෞද්ධ වේශයෙන් පෙනී සිටියත් ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වයට විරුද්ධයි.  ජඩපාලනය හා මේ ආණ්ඩුව මූලික වශයෙන් වෙනස් වන්නෙ ඒ කරුණෙ දි.