ජ වි පෙ පුස්වෙඩිල්ල
ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයා පසුගිය දා පුස්වෙඩිලි ගැන කියා තිබුණා. ඔහු එසේ කියා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට විරුද්ධ ව. ඔහු සැමදාමත් කතා කරන්නේ ශ්‍රී ල නි පක්‍ෂයට/පොදු ජන පෙරමුණට/ පොදු ජන එක්සත් සංවිධානයට විරුද්ධවයි. ඔහු රනිල්ට හරි සජිත්ට හරි ඒ ආකාරයෙන් විරුද්ධ වන්නේ නැහැ. අද අප කතා කරන්නේත් පුස්වෙඩිලි ගැන. එහෙත් ඒ පුස්වෙඩිලිවලින් මිනිසුන් ඝාතනය කෙරුණා. පසුගිය පස්වැනිදාට ඉන් පළමු පුස්වෙඩිල්ලට අවුරුදු පනහක් පිරුණා. ඒ පුස්වෙඩිලි ජනතා විමුක්ති පෙරමුණේ පුස්වෙඩිලි.
බොහෝ කාලයක සිට ලෝකයේ සාධාරණ සමාජ කියා ජාතියක්
නැහැ. සෝභිත හාමුදුරුවන්ටත් වැරදුණේ ඇති නොවන සාධාරණ සමාජයක් ඇති කරන්න ගිහින්.
සමසමාජ ලෝකයේ නැහැ. සමාජවාදී රජයන් ලෝකයේ ඇති වන්නෙත් නැහැ. රාජ්‍යය වියැකී යන
කොමියුනිස්ට් සමාජයක් ගැන කතා කරල වැඩක් නැහැ. අග්ගඤ්ඤ සූත්‍රයේ කියැවෙන්නේ ලෝකයේ
අසාධාරණය පටන් ගත්ත හැටි. මිනිසුන්ගේ තන්හාව ඇති තැන සාධාරණයක් නැහැ. තන්හාව නැති
කරන්න නිවන් සම්මාබෝධය අවශ්‍යයයි.
රාජ්‍යය නැති කිරීමටත් රාජ්‍ය බලය ලබාගන්න ඕන.
එතැන තමයි ප්‍රශ්නය තියෙන්නෙ. මෛත්‍රිය වඩල රාජ්‍යය ලබා ගන්න බැහැ. රාජ්‍ය බලය
ලබාගැනීමටත් යම් තන්හාවක් තියෙන්න ඕන. ඒ සඳහා පවතින රාජ්‍යය පරාජය කරන්න ඕන. ඒක
ආයුධවලින් මිසක් වෙන විධියකට කරන්න බැහැ. මාඕගේ සුප්‍රසිද්ධ බලය උපදින්නෙ තුවක්කු
කටින් කියන එක ඇත්ත. රාජ්‍යය නොවෙයි ආණ්ඩු පෙරලන්නත් සමහර විට ආයුධ ඕන. රාජ්‍යය
ආණ්ඩුව ආදිය හමුදාව සමග බැඳිල. හමුදාව ස්ථිර එකක් වෙන්නත් පුළුවන්, අවශ්‍ය
වෙලාවට කැඳව ගන්න එකක් වෙන්නත් පුළුවන්. කොහොමටත් රාජ්‍යයකට හමුදාවක් අවශ්‍යයි.
සමාජ අසාධාරණය නැති කරන්න ඉතිහාසයේ විවධ අය
විවිධ දේ කරල තියෙනවා. බුදුහාමුදුරුවන් ඒ ප්‍රශ්නයට අතගහල නැහැ. බුදුහාමුදුරුවන් ද
සමාජය වෙනස් කරන්න හදපු බවට ඇතැමුන් බොරු කතා හදනවා. ඒ ගැන පසුව විස්තර කරන්නම්.
ඊනියා සමාජවාදයක් ගැන කතා කළ පළමු තැනැත්තා කාල් මාක්ස් නොවෙයි. සෙන්ට් සයිමන්, ගණිතඥයකු
වූ ෆූරියර්, රොබට් ඕවන් වැන්නන් ඒ ගැන කියල තියෙනවා. ඔවුන් එක්තරා ආකාරයකින් සමාජ අසාධාරණය
සදාචාරාත්මක නැත කියන මතයක ඉඳලා කටයුතු කළ අය.
මාක්ස් එංගල්ස් ඒ සමාජවාදයට කිවුවෙ මනෝරාජික
සමාජවාදය කියල. ඔවුන් ඒ වෙනුවට ඊනියා විද්‍යාත්මක සමාජවාදයක් ඉදිරිපත් කළා. කාල්
පොපර් කාල් මාක්ස්ගෙ මාක්ස්වාදය විද්‍යාත්මක නෙවෙයි කිවුව. කොහොම හරි මාක්ස්ගෙ
අදහස් ඇතැමුන් පිළිගත්තා. ඒ අනුව ධනපති ක්‍රමය පෙරළලා කම්කරු පංති ආඥාදායකත්වය ඇති
කරන්න සමහරු ක්‍රියාත්මක වුණා. ලෙනින් රුසියාවෙ ඊනියා විප්ලවය කළා. ඒත් කම්කරු
පංතියක් (ප්‍රොලිටේරියට්) නැහැ. කම්කරු පංතියට විප්ලවීය අදහස නිසගයෙන් ම එන්නෙ
නැතිලු. ඒක ඊනියා බුද්ධිමතුන් කම්කරු පංතියට ගෙනි යන්න ඕනලු.
ලෙනින්ගෙ විප්ලවය රුසියන් ජාතික චින්තනයෙ මිස
මාක්ස්වාදයෙ ජයග්‍රහණයක් නොවෙයි කිවුව අයත් හිටිය. ඒ වගේ ම වෙනත් පංතියක් ගැන කතා
කළ අයත් හිටියා. කොහොමටත් බර්ලින් තාප්පය බිඳ වැටුණා. දැන් සෝවියට් දේශයත් නැහැ.
රුසියාවෙ පුටින් ඉන්නවා. ඔහුටත් දැන් ටික ටික අමාරු වගෙයි. චීනෙත් දැන් සමාජවාදයක්
නැහැ. කියුබාවෙ තිබුණෙ මොකක් ද කියන එක ට්‍රොට්ස්කිවාදීන්ට හැමදාමත් ප්‍රශ්නයක්
වුණා. දැන් නම් කාටවත් ප්‍රශ්නයක් නැහැ. එහෙත් ඇති සමාජවාදයක් නැහැ. මාක්ස්ගෙ
සමාජවාදය තරම් මනෝරාජික සමාජවාදයක් තිබිල නැහැ. ඊනියා බෞද්ධ සමාජවාද ව්‍යාජ
චින්තකයන්ගෙ ව්‍යාජ කතා පමණයි.
විජේවීරගෙ පුස්වෙඩිලි දෙක ම පත්තු කෙරුවෙ
බර්ලින් තාප්පය බිඳ වැටෙන්න කලින්. දැන් ජ වි පෙ නායකයන් ඒ වගේ පුස් වැඩ කරන්නෙ
නැහැ. ඔවුන් හොඳින් ඉන්නවා. විජේවීර අපරාදෙ කියන්න බැහැ ප්‍රොලිටේරියට් කියන සංකල්පයට කම්කරු පංතිය
කිවුවෙ නැහැ. ඔහුගෙ දැනුම අනුව ඔහු එය නිර්ධන පංතිය ලෙස හැඳින්නුවා. සමහර ට්‍රොට්ස්කිවාදීන්
නම් ඇහුව හිඟන්නොත් නිර්ධන පංතියට අයිති ද කියල. ඒත් ට්‍රොට්ස්කිවාදන්ගෙ කම්කරු
පංතිය බේතකටවත් හොයා ගන්න බැහැ.
ලංකාවෙත් පංති කතාවක් නැහැ. මේ රටේ තියෙන්නෙ
කුල ක්‍රමයක්. හරියට ම කියනව නම් කුල ක්‍රම දෙකක් හා එහි උප කුල. පැරණි කුල මෙරට
තියෙනවා. බත්ගම, වහුම්පුර,
ගොයිගම, කරාව, දුරාව, සලාගම, දේව සහ තවත් කුල හා උප කුල. ඒ සමග
තියෙනවා ඉංගිරිසින් ඇති කළ කුල ක්‍රමයක්. එය තරමක් සංකීර්ණයි. එක් පැත්තකින් ප්‍රභූ
පාසල්වල ඉගෙන ගත් ගැහැණුන් හා පිරිමින් ඉන්නවා. ඒ ප්‍රභූ පාසල් ක්‍රිස්තියානි, කතෝලික, බෞද්ධ
ආදී වශයෙනුත් උප කුලවලට බෙදිලා. දෙමළ සමාජයෙත් කුල ක්‍රම තියෙනවා. මෙතනදි අප කතා
කරන්නෙ සිංහල සමාජය ගැනයි.
ඉංගිරිසින් ඇති කළ කුල ක්‍රමයෙ එක් ශාඛාවක්
තමයි වෘත්තීය කුල ක්‍රමය. බටහිර වෙද මහත්තුරු එහි ඉහළින් ම ඉන්නවා. ඉන් පසු ඉංජිනේරු
කළමනාකාර නීතිඥ විශ්වවිද්‍යාල ගුරු සහ තවත් වෘත්තීයකයන් ඉන්නවා. ව්‍යාපාරිකයන් ද
ඉන්නෙ එතැන. ඉංගිරිසින් ඇති කළ කුල පාසල්
හා වෘත්තීයික ලෙස හඳුන්වන්න පුළුවන්. මේ එක කුල ක්‍රමයක්. ඒකෙත් විවිධ උප කුල
තියෙනවා. ක්‍රිස්තියානි පාසල් ඉහළින් ම තියෙනවා. ඉන්පසු කතෝලික පාසල්. බෞද්ධ පාසල්
ලෙස හැඳින්වෙන පාසල් ටිකක් පහළින් අදී වශයෙන්. රාජකීය විදුහල රජයේ පාසලක්.
එහෙත් එහි සම්භවය ක්‍රිස්තියානි.
අද රටේ බලයේ ඉහළින් ඉන්නෙ සිංහල කුල ක්‍රමය
අනුව නම් ගොයිගම කුලය. ඉංගිරිසි කුල ක්‍රමය අනුව නම් නීතිඥයන් බටහිර වෙද මහත්තුරු, හා ක්‍රිස්තියානි පාසල්වල ඉගෙන ගත්
ගැහැණුන් හා පිරිමින්. විසාකා විදුහල බෞද්ධ වුණත් එය ධුරාවලියේ ඉහළින් තියෙනවා.
ආනන්ද විදුහලට නැති තැනක් විසාකා විදුහලට තියෙනවා. එයට හේතුව පස්සෙ කතා කරන්න ඕන.
පනස්හයේදි මිනිසුන්ට ඕන වුණෙ මේ ක්‍රමය වෙනස් කරන්න. විශේෂයෙන් ම ඉංගිරිසි කුල ක්‍රමය
වෙනස් කරන්න. සඟ වෙද ගුරු ගොවි කියන එකේ අරුත එයයි. එය යම් ප්‍රමාණයකට වුණා. නමුත්
තවත් බොහෝ දේ සිද්ධ වෙන්න තියෙනවා.
සමසමාජ කොමියුනිස්ට් නායකයන්ට අවශ්‍ය වුණෙ
ධනේෂ්වරය පෙරළන්න. ඔවුන්ගෙ ව්‍යාපාරයෙ යටත්විජිත විරෝධී කතාවක් තිබුණ නිසා අර
ඉංගිරිසි කුල ක්‍රමයට විරුද්ධ අයත් එහි හිටියා. ඒත් ශ්‍රී ල නි පක්‍ෂය බිහිවුණාට
පස්සෙ ඒ නායකයන්ට ඒ පක්‍ෂය සමග සංධානගත වීම හැර වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ. අද
නම් ඔවුන්ට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. සමසමාජ කොමියුනිස්ට් නායකයන් ශ්‍රි
ල නි ප සමග සංධානගත වීමට විරුද්ධ ව නිර්මල මාක්ස්වාදය වෙනුවෙන් පක්‍ෂ පිහිටුවාගත්
අය ගැන අද අහන්නවත් නැහැ. ඔවුන්ට වොයිස්කට් නැහැ. වොයිස් කොහොමත් කට් වෙලා.
විජේවීරත් ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට විරුද්ධව
ෂන්මුගදාසන් හැදුව චීන කොමියුනිස්ට් පක්‍ෂයෙන් බිහි වූ අයෙක්. ඒ නිසා ම ජ වි
පෙරමුණේ උපතින් ම ශ්‍රී ල නි ප විරෝධයක් තිබුණා. ඒ අතර ඉංගිරිසි කුල ක්‍රමයට
විරුද්ධවත් ක්‍රියාත්මක වුණා. එය යටත්විජිත විරෝධයක් ලෙසයි කියැවෙන්නෙ. සමසමාජ
කොමියුනිස්ට් නායකයන්ට යටත්විජිත විරෝධයක් තිබුණ. ඔවුන්ට අධිරාජ්‍යවාදය කියන්නෙ
ධනේශ්වරයෙ ඉහළ ම වර්ධනය. එය වියුක්ත සංකල්පයක්. ඒත් විජේවීර වියුක්ත ව හිතපු අයෙක්
නො වෙයි. ප්‍රොලිටේරියට් නිර්ධන පංතිය වුණෙත් එහෙමයි. කම්කරු පංතියට වඩා නිර්ධන
පංතිය සංයුක්තව හිතන අයට ගෝචරයි. ඉංගිරිසි කුල ක්‍රමයට විරුද්ධ වීම නිසාත් සංයුක්ත
ව හිතපු නිසාත් ජ වි පෙරමුණට යම් ජාතිකත්වයක් ආරෝපණය වුණා. එහෙත් ජ වි පෙ සිංහල
කුල ක්‍රමයටත් විරුද්ධ ව ක්‍රියා කළා. ජ වි පෙ ක්‍රියාත්මක වුණෙ මේ සියල්ල එක්ක. ඒ
ඒ අවස්ථාවෙ ඒ ඒ කතාව ඉස්මතු වුණා.
ජ වි පෙ නායකයා කරාව කුලයට අයත් කෙනෙක්. කොටි
නායක ප්‍රභාකරනුත් කරෙයිවර් කුලයට අයත් අයෙක්. මේ දෙතැන ම ගොයිගම හා වෙල්ලාල
කුලවලට විරුද්ධ සටනකුත් තිබුණා. ජ වි පෙ සාමාජිකත්වය බොහෝ විට ඊනියා අඩු කුල
අයගෙන් සමන්විත වුණා. එමෙන් ම එහි සාමාජිකයන් ප්‍රභූ පාසල්වල, විශේෂයෙන්
ම ක්‍රිස්තියානි කතෝලික පාසල්වල, උගත් අයත් නො වෙයි. ප්‍රභූ පාසල්වල
උගත් අයට සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂවලට බැඳීමේ ප්‍රශ්නයක් වුණෙ නැහැ. බොහෝ විට ඒ
පක්‍ෂවල නායකයන් ප්‍රභූ පාසල්වල උගත් අය. ඔවුන්ගේ විරුද්ධත්වය වියුක්ත ධනපති
පංතියකට, කම්කරු පංති ආඥාදායකත්වයක් සඳහා. ක්‍රිස්තියානි
කතෝලික ප්‍රභූ පාසල්වල උගත් අය පොදුවේ ගත්තොත් ජ වි පෙරමූණට බැඳුනේ නැහැ. විජේවීර
විරුද්ධ වුණෙ හැමදා ම සංයුක්ත ව දකින අධිපතිවාදයට. සිංහල ඉංගිරිසි කුල ක්‍රමවලට. ඒ
දැකිය හැකි නිර්ධනයන් වෙනුවෙන්. ඔහු ඒ කොටස්වලට මාක්ස්වාදී රෙදිකඩක් ඇන්දුවා.
විජේවීරගේ නිර්ධන කතාව අනුව ඔහු ඊනියා කම්කරු
පංතියක් සංවිධානය නකරන්න මහන්සි ගත්තෙත් නැහැ. වෘත්තීය සමිති ව්‍යාපාරයෙ කැඳ කෝප්ප
සටන්වලට ඔහු අපහාස කළා. ඔහු නිර්ධනයන් සංවිධානය කළා. ඒ බොහෝ විට සාමාන්‍ය පාසල්වල
උගත් අඩු කුල යැයි සම්මත තරුණ තරුණියන්. ඒ තරුණ තරුණියන් පනස්හයෙන් යමක් නොලැබූ
අය. ඔවුන්ට ඒ නිසා ශ්‍රී ල නි පක්‍ෂය සමග වඩාත් විරුද්ධතාවක් තිබුණා. විජේවීර එය
තේරුම් ගත්තා. හැත්තැවේ ආණ්ඩුව ඇති වී අවුරුද්දක් ගත වීමට පළමු ඔහු ඒ ආණ්ඩුවට
විරුද්ධ ව ඊනියා සමාජවාදයක් වෙනුවෙන් එක් රැයේ විප්ලවයක් සංවිධානය කළා. ඔහුගේ තක්සේරුව
වුණෙ ආයුධ නැති හමුදා හා පොලීිසිිය එක් රැයකින් දිවයිනේ හැම ප්‍රදේශයකින් ම එකවිට
පහර දීල පරාජය කරන්න පුළුවන් කියල. සංයුක්ත ව සිතූ විජේවීරට එතනින් එහාට පෙනුනේ
නැහැ. හමුදාවට හා පොලීසියට එකල එතරම් ආයුධ නොතිබූ බව ඇත්ත. ඒත් බණ්ඩාරනායක
මැතිණියගේ විදේශ ප්‍රතිපත්තිය නිසා ඇයට හැම රටකින් ම පාහේ ආයුධ ලැබුණා. විජේවීරට ඒ
ටික දකින්න බැරි වෙන්න ඇති. ඔහුගේ විප්ලවය පුස්වෙඩිල්ලක් වුණා. ඒත් ඒ
පුස්වෙඩිල්ලෙන් දහස් ගණනක් ඝාතනය කෙරුණා.