Main Logo

Thursday 8 April 2021

සමාජවාදය හා ඇතැම් පඬි නැට්ටන්

 

සමාජවාදය හා ඇතැම් පඬි නැට්ටන්

 

මාක්ස්වාදී සමාජවාදය යනු තවත් මනෝරාජික සමාජවාදයක් පමණක් බව කීම බොහෝ දෙනාගේ අසතුටට හේතු වන බව මා දන්නවා. ජ වි පෙ පළමු පුස්වෙඩිල්ලට අවුරුදු පනහක් පිරුණේ ඊයේ පෙරේදා. එකල මාක්ස්වාදීන්  දැන සිටි පැරිස් කොමියුනයට අවුරුදු එකසිය පනහක් පිරුණේ සති කිහිපයකට පෙර. පැරිස් කොමියුනය මාක්ස්වාදයේ කියැවෙන්නේ කම්කරු පංතිය බලය අතට ගත් පළමු අවස්ථාව ලෙසයි. පැරිස් කොමියුනය වැඩි කල් තිබුණේ නැහැ.

 

ලෙනින්ගේ සෝවියට් රුසියාව නම් අවුරුදු හැත්තෑපහක් පමණ තිබුණා. එහෙත් එය කම්කරු පංති රාජ්‍යයක් නම් වූයේ නැහැ. එයට ප්‍රධාන ම හේතුව ලංකාවේ පමණක් නොව ලෝකයේ කොහේවත් කම්කරු පංතියක් නොමැති වීමයි. කම්කරු පංතියට පංති විඥානය පිටින් ගෙන යෑමට සිදුවීමෙන් කියැවෙන්නේ කුමක් ද? විඥානය කියන්නෙ  වැරදි ඥානය . පටිච්චසමුප්පදායේ විඥානය ඇති වන්නේ චක්‍රයක. විඥානයත් ඇති වන්නේ අවිද්‍යාවත් හේතුකොටගෙන. අවිද්‍යාවත් නිසා ඇතිවන ඥානය හරි ඥානයක්  වෙන්න බැහැ. අප විඥානයත් බැහැර කළ යුතුයි.

 

අද බටහිර විද්‍යාඥයන් කොන්ෂස්නස් කියන එක ඇති වන්නෙ කොහොමද කියල භෞතික ආකාරයකට හොයන්න හදනවා. එයට සාමාන්‍යයෙන් විඥානය කියනවා. එය තමා ගැන හැඟීමක් ඇති වීම, සිහිය ඇති වීම ආදී වශයෙන් කියැවෙනවා. ඒ මොකක් වුණත් ඒක විඥානයක්. වැරදි ඥානයක්. යමකු තමන් යනුවෙන් කෙනකු ඇතැයි සිතීම තමයි විඥානය. වැරදි ඥානය. බටහිර විද්‍යාඥයන් ඔය කොන්ෂස්නස් කියන එක මොළේ මොකක් හරි කොටසකට මාට්ටු කරාවි. ඒ ඔක්කොම විඥාන තමයි. අවිද්‍යාව නිසා හටගන්නා විඥාන.

 

ඒ කුමක් වුවත් කම්කරු පංතියට පංති විඥානය පිටින් ගෙනියන්න ඕන. එය ගෙනියන්නෙ ඊනියා බුද්ධිමතුන්. මේ බුද්ධිමතුන් බිහිවන්නේ ධනපති සමාජ ක්‍රමයෙන්. ධනේෂ්වර අධ්‍යාපනයකින්. ඔවුන් ඒ සියල්ලෙන් කැඩෙනවා වෙන්න පුළුවන්. ඒත්  ඔවුන්ට විඥානයෙන් කැඩෙන්න බැහැ. ඔවුන් නැති කම්කරු පංතියකට නැති විඥානයක් බාහිරින් ගෙන යන්න හදනවා. ඒකෙන් වෙලා තියෙන්නෙ සාමාන්‍ය මිනිසුන් ටිකක් නැති විඥානයක් මවාගෙන මැරෙන්න යන එක විතරයි. එහෙම මැරුණ සංඛ්‍යාව ලංකාවෙ වුණත් සෑහෙන ගණනක්.

 

සිංහල සමාජය ගැන ඉංගිරිසියෙන් ලියන පඬි නැට්ටන් කිහිප දෙනකු ඉන්නවා. ඔවුන් ඊනියා සමාජවාදයක් ගැන බොහොම උනන්දුවෙන් ලියනවා. ඒත් කරන ඉටි ගෙඩියක් නැහැ. ඔවුන් අර රුසියන් සමාජයෙ කියැවෙන ඉන්ටෙලිජන්ෂියාවට අයත් අය. ඔවුන් ලියනවා, කතා කරනවා, කරන වැඩක් නැහැ. ඒකට කමක් නැහැ. ඊනියා ඉන්ටෙලිජන්ෂියාව පවත්ව ගෙන යනවා. ඔවුන් බුද්ධිමතුන් ද කියා අහන්න එපා.

 

මේ පඬි නැට්ටන් හිතන් ඉන්නෙ ඊනියා මාක්ස්වාදී සමාජවාදය කවද හරි ඇති වෙයි කියල. අර මොකක් ද එක වැටෙනකම් බලා හිටිය නරියා වගේ. ඒකටත් කමක් නැහැ.  ඔවුන් හිතන්නෙ අප වැනි ජාතිකවාදීන් ද්‍රෝහීන් කියා. ඊනියා සමාජවාදය ඇති වන්නෙ නැහැ කිවුව ම ඔවුන් හිතන්නෙ අප සමාජවාදයට විරුද්ධ ධනවාදීන් කියා. ඔවුන් හිතන්නෙ අප අර ඊනියා ලිබරල්වාදයෙ දෙවැනි ඉනිමට පක්‍ෂය කියා. ඒ ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටිනවා කියා.

 

මෙරට පමණක් නොව ලෝකයේ වෙනත් රටවලත් මිනිසුන් දුක් විඳිනවා අප දැක තියෙනවා. එය නැති කිරීමට ඇති ඒකායන මාර්ගය මාක්ස්වාදය කියා අපත් කලක් හිතුවා. ඒ වෙනුවන් පඬි නැට්ටන් මෙන් නොව මාක්ස්වාදී පක්‍ෂවලට බැඳී කටයුතු කළා. ඒ තරුණ කාලයෙන් අවුරුදු දහඅටක් විතර. එහෙත් එය කෙරෙන්නෙ නැති මගුලක් කියල දැනට අවුරුදු හතළිහකට ඉස්සර තේරුම් ගත්තා. මේ පවතින ක්‍රමයට අපේ කැමැත්තක් නැහැ. ඒත් අප කියන්නේ ඊනියා මාක්ස්වාදී සමාජවාදයට එය නැති කරන්න බැහැ කියලයි. ඒ සඳහා දැනට විකල්පයක් නැහැ.

 

එයින් කියැවෙන්නේ අප ධනපති ක්‍රමය අනුමත කරන බවවත් ඒ ආර්ථික ප්‍රතිපතති අපේත් ආර්ථික ප්‍රතිපත්ති කියන එකවත් නො වෙයි. ඒ සංවර්ධනය අපෙත් සංවර්ධනය කියන එකවත් නො වෙයි. අපටත් ඊනියා මාක්ස්වාදී සමාජවාදයක් ගැන ලියමින් කියචමින් බොරු වීරයන් වෙන්න පුළුවන්. මාධ්‍යයේ දේශපාලන විචාරකයන් විශ්ලේෂකයන් වෙන්න පුළුවන්. අප ධනවාදයට විකල්පයක් ගැන හිතනවා. එය බෞද්ධ සංස්කෘතිය මත පදනම් විය යුතු ය කියාත් අප හිතනවා. ඒත් අප මුසාබස් කියන්නෙ නැහැ බුදුහාමුදුරුවන් සමාජයීය වෙනස් කිරීමක් ගැන කිවුව කියලත්. එහෙම කියන අයට ඉල්ලුමක් තියෙන බවත් අප දන්නවා.

 

දැනට අපට කරන්න පුළුවන් මේ ක්‍රමයෙන් දුකට පත් වී ඇති ජනයාට යම් සහනයක් දීමට කටයුතු කිරීමයි. එහෙත් එය ඊනියා වෘත්තීය සමිති සටන් එක්ක ගැට ගහන්න අපට අවශ්‍ය නැහැ. වෘත්තීය සමිති විසිනුත් යම් ආකාරයකට ග්‍රාමීය ජනතාව සූරාකෑමකට ලක් කෙරෙනවා. නිකමට වෘත්තීය සමිති නායකයන්ගේ වැටුප හා ගමක ජීවත්වන අහිංසක ගැමියකුගේ ආදායම සංසන්දනය කරන්න. එහෙමත් නැත්තන් කොළඹ ඉඳන් වනජීවීන් ගැන කතාකරන්නන් ගමේ වනජීවීන් සමග ජීවත්වන ගැමියන් සංසන්දනය කරන්න. පුළුවන් නම් කොළඹට වල් අලි දෙතුන් දෙනෙක් ගෙනත් දාමු ද? මේ ක්‍රමය යටතේ නගරය විසින් ගම සූරාකනු ලබන්නේ බටහිර රටවල් අප වැනි රටවල් සූරාකන ආකාරයට සමාන්තර ආකාරයට.         

 

සිංහලෙන් ලියන දේ ඉංගිරිසියට ඕන විධියට අර්ථකථනය කිරීමෙන් පඬි නැට්ටන් ස්වයං වින්දනයක් ලබනවා වෙන්න පුළුවන්. අප ඔවුන්ට අනුකම්පා කරනවා.

 

හෙට (අප්‍රේල් 9) ලිපිය පළ නොවන බව කරුණාවෙන් සලකන්න.