Main Logo

Saturday 24 April 2021

අධර්මය රජයන ලොවක කොවිඩ්

 අධර්මය රජයන ලොවක කොවිඩ්


රටේ බොහෝ දේ සිදුවෙමින් පවතිනවා. මා කියන්නේ හරීන් ප්‍රනාන්දු ගරු මන්ත්‍රීතුමා රෝහල්ගත වීම හා විපක්‍ෂ නායක ඔහු බැලීමට රෝහලට යෑම ගැන නො වෙයි. රිෂාඩ් බද්‍යුද්දීන් අත් අඩංගුවට ගැනීම හොඳයි. එය කෙළවරක් දක්වා ම යාවි කියා පතනවා. පාස්කු ප්‍රහාරය ගැන පමණක් කොටි ප්‍රහාර හා ජෙනීවා ප්‍රහාර ගැනත් කෙළවරක් දක්වා හොයන්න ඕන. මේ සියල්ල පිටුපස සෞදි ප්‍රහාර ලන්ඩන් ප්‍රහාර හා දිල්ලි ප්‍රහාර තියෙනවා. අප කිසිවක් බාගෙට නවත්තන්න හොඳ නැහැ. විපක්‍ෂ නායකතුමා වැන්නකු ලැබීමට ආණ්ඩුව පින් කර තියෙන්න ඕන. පෙම්බ්‍රෝක් කිරිඇල්ලත් එහෙමයි. ඒ අය ආණ්ඩුවේ පිනට උපන් අය. 


ජනාධිපතිතුමා තවත් වැදගත් තීරණයක් අරන් තියෙනවා. ඒ  පොහොර හා පලිබෝධ නාශක සම්බන්ධයෙන්. ඒ ගැන අප කලක සිට කතා කළා. එහෙත් අතන මෙතන පනින රතන හිමියන් ප්‍රශ්නය තම අතට ගෙන සුපුරුදු පරිදි අතහැරීයා. සියල්ල අත්හරින්න නේ කියා තියෙන්නෙ. රතන හිමියන් ගැන දන්න සමහරු කියන්න උන්වහන්සෙ මහායානයෙ කියල. ඒ කුමක් වුණත් උන්වහන්සෙ මන්ත්‍රීකම අත්හරින්නෙ නැතුව විතරක් නොවෙයි පක්‍ෂ නායක රැස්වීම්වලට සහභාගි වීමටත් සටනක් කරලා. අනෙක් අතට ලංකාවෙ බුද්ධාගම් කීයක් තියෙනවා ද? රහතන් වහන්සේ කී නමක් වැඩ ඉන්නවා ද? 


ජනාධිපති තීරණයට මෙරට බටහිර විද්‍යාඥයන් විරුද්ධ වේවි. අපි ඒ ගැන පස්සෙ කතා කරමු. ඔය බටහිර විද්‍යාඥයන් කියන්නෙ බටහිර විද්‍යාවෙ පරිධියෙ කුරුටු ගගා ඉන්න අය මිසක් කේන්ද්‍රයට පනින්න පුළුවන් අය නො වෙයි. බටහිර වෙද මහත්වරුනුත් එහෙමයි. ඔවුන් බටහිරින් එන දත්ත  හා වෙනත් කරුණු කියන විට අප අහගෙන ඉන්නවා. මට සමහර වෙලාවට හිතෙනවා පවිත්‍රා වන්නිආරච්චිත් බටහිර වෙද නෝනා කෙනෙක් කියලා. 


විපක්‍ෂයෙ අකිල විරාජ් කියනව ආණ්ඩුව අවුරුද්ද හරියට කළමනාකරණය කෙළෙ නැහැ කියල. ඇත්ත ආණ්ඩුව ඉන්දියාවෙ උත්සවත් කළමනාකරණය කරල නැහැ. ඉන්දියානුවන් කොරෝනා පැත්තක තියල ගංගා නම් ගඟේ නාන්න ගිහිල්ල. මහින්ද රාජපක්‍ෂ ආගමික කටයුතු භාර ඇමති හැටියට මොකද කෙළෙ. ඒ මොනව වුණත් මට නම් හිතෙන්නෙ අප වාසනාවන්තයන් කියල. ඒ වෙන එකක් නිසා නොවෙයි මේ කොරෝනා කාලෙ අකිල විරාජ්ලගෙ සජිත්ලගෙ කිරිඇල්ලලගෙ හිරාන්ලගෙ ආණ්ඩුවක් නොතිබීම ගැන. තිබුණ නම් අප සියල්ලන්ට ගංගා නම් ගඟේ නැතත් නාගන්න තිබුණ. 


එත් මේ ආණ්ඩුව බටහිර වෙදකමට දක්වන සැලකිල්ල ඉතා වැඩියි. කොරෝනා මර්දනය කරන්න බටහිර වෙදමහත්වරුන් මොනව ද කරල තියෙන්නෙ. මා කියන්නෙ බටහිර ඉන්න බටහිර වෙද මහත්තුරු. එන්නත් නම් ඕනවටත් වඩා තියෙනවා. ඒත් අප වැනි රටවලට එන්නත් ලැබෙන්නෙ අඩුවෙන්. සජිත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙවත් හිටිය නම් මොකුත් කර ගන්න තිබුණ. එන්නත් ගැනත් එක එක කතා තියෙනවා. මේ සියල්ල පිටුපස ඩොලර් සංචරණය වෙනවා. අපට ස්වයං සංරචනයක් අවශ්‍යයයි. 


මා අද උදේ ධමිමික පැනිය බීමට පටන් ගත්තා. ලංකාවට ආපු එකේ ඒකවත් බොන්න ඕන. බටහිර වෙද මහත්තුරු තම ආධිපත්‍යය පතුරවල ධම්මික පැනිය අයින් කරා. රෝගීන් ඊනියා පරීක්‍ෂණයට අකමැතියි කිවුවලු. ධම්මික පැනිය විතරක් නොවෙයි තවත් ඔසු දේශීය වශයෙන් නිපදවල තියෙනවා. බටහිර වෙද මහත්තුරු කොහේවත් නැති විද්‍යාත්මක ක්‍රමයක් ගැන කියමින් ඒ ඔසු අයින් කරලා. 


කොවිඩ් 19ට බටහිර වෙද කමේ බෙහෙත් නැහැ. එහෙත් අපට සෞඛ්‍ය වාර්තාවලින් කියනවා 95%ක් ආසාදිතයන් සුව වෙලා කියල. මේ සුව වීම කියන්නෙ මොකකට ද? මෙරට බටහිර වෙද මහත්තුරුන්ට බැරි ද ඔය සුව කරන ක්‍රමය බටහිර වෛද්‍ය සඟරාවකට ලියන්න. වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් තෑග්ග ලංකාවට ලැබේවි. කාටද ආඩම්බරේ. මේ ක්‍රමය කාලෝ ක්‍රමය ද? කාලෝගේ නමට නොබෙල් තෑග්ග ප්‍රදානය කරන්න බැරි යැයි. 


බටහිර වෙදකම කරන්න එපා කියල නොවෙයි අප කියන්නෙ. අනෙක් වෙදකම්වලටත් තැනක් දෙන්න. එමගින් ඩොලර් සංචිතය අඩුවීම අඩු කර ගන්නවත් පුළුවන් වේවි. අපේ දේට තැන දෙන විට රුපියලටත් තැනක් ලැබේවි. කෘෂිරසායන ගැනත් එහෙමයි. නිකවැරටිය පැත්තෙ උපන් පුංචි බණ්ඩා ජයසුන්දර ඒක දන්නෙ නැහැ කියල හිතන්න අමාරුයි. කොළඹින් ලැබුණු ආර්ථික විිද්‍යා උපාධියත් බොස්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආචාර්ය උපාධියත් ටිකකට පැත්තකින් තියමු. 


ඒ මොනව වුණත් අපේ විනය ගැනත් කියන්න ඕන. එදා අප අවුරුදු සිරිත් විරිත් පැවැත්තුවා. වන්දනාවෙ ගියා. විශ්‍රාම ශාලාවල නැවතුණා. අද අප අවුරුද්දට කනවා අඳිනවා බොහෝ පිරිමි බොනවා. අද අප ට්‍රිප් යනවා. හෝටල්වල නවතිනවා. ආතල් ගන්නවා. තෙල් බෙදනවා. ඒ සමග කොවිඩුත් බෙදනවා. අද සමාජයේ නීතිය කඩන්නන් වීරයන් වෙලා. පොලීසිය නැත්නම් රතු මාර්ග සංඥාව නොතකා යෑම වීරකමක් වෙලා.  අප අනුරාධපුරේ යන්නෙත් වන්දනාවෙ නොවෙයි. ට්‍රිප් යෑමක් තමයි වෙන්නෙ. අවුරුදු හැත්තෑවකට පමණ උඩ අප අනුරාධපුර වන්දනාවෙ ගිය වෙලාවක අප සමග වැඩම කළ හාමුදුරුනමක් මගේ අත බලලා අනාවැකියක් කිවුවා. එය කිරිගහට ඇන්න වගේ. අවුරුදු පනහකට ඉහත සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ මගේ ගුරුවරයා වූ මහාචාර්ය මැක්රෙ මගේ වැඩ බලලා අනාවැකියක් කිවුව. එය නම් හරි ගියේ නැහැ. පසුව ඒ ගැන කතා කරමු. 


අපි අවුරුද්දට ආතල් ගත්තා. ඒ එක්ක කොවිඩුත් ගත්තා. අප ධර්මයෙන් ඈත් වෙලා. අප ධර්මයට හිනහ වෙනවා. අප සලකන්නේ විහාර මහා දේවිට නොව ඩයනා ගමගේට. විහාර මහා දේවිට නයිට් ලයිෆ් තිබුණෙ නැහැ. කොවිඩ් ආරම්භ වෙන කාලයෙ අප ආධ්‍යාත්මක ශක්තියක් ඇති හාමුදුරුනමකින් ලැබුණු පණිවුඩයක් කිවුව. කොවිඩ් මගින් ලෝකය ම අධාර්මික වීමට විරුද්ධ ව පණිවුඩයක් දෙනවා. එහෙත් එය ගණන් ගන්න කෙනෙක් නැහැ. අපත් අධාර්මික වෙලා. අප ඒ දිනවල කිවුවෙ සිද්ධස්ථාන දහසයක පින්කම් පවත්වන්න. පිරිත් දේශනා කරන්න. අපට පඬි නැට්ටන් හිනහවුණා. බුදුහාමුදුරුවො කළෙත් රතන සූත්‍රය දේශනා කිරීම. ඒත් බුදුහාමුදුරුවො කවුද? එහූ රටක අප කියන දෙයක් ගණන් ගන්නෙ කවුද?