Main Logo

Monday, 9 April 2018

බංකොළොත් ජාතික රාජ්‍ය සංකල්පය


බංකොළොත් ජාතික රාජ්‍ය සංකල්පය



ජාතික රාජ්‍යය යනු කුමක් දැයි බවහිර දේශපාලන විද්‍යාවේ පැහැදිලිව නිර්වචනය කෙරී නැහැ. ජාතික රාජ්‍යයක් යනු ජාතියක රාජ්‍යයක් ද? එසේ නම් ජාතිය යනු කුමක් ද? පළමුව ඇතිවූයේ ජාතිය ද නැත්නම් ජාතික රාජ්‍යය ද? හොබ්ස්බෝම් කියා ඇත්තේ ප්‍රංශ ජාතික රාජ්‍යය ප්‍රංශ ජාතිය බිහිවීමට පෙර ඇති වූ බවයි. 1789 ප්‍රංශ විප්ලවය සමයේ දී ප්‍රංශ රාජ්‍යයේ ප්‍රංශ භාෂාව තරමකවත් කතා කර ඇත්තේ සියයට පනහකට අඩු පිරිසක්. ජර්මනිය ඉතාලිය වැනි රාජ්‍ය නිර්මාණය වී ඇත්තේ අනෙක් ක්‍රමයට. දහනවවැනි සියවසේ විවිධ රටවල විසූ ජර්මන් කතාකරන්නන් එක් වී ජර්මනිය නිර්මාණය කරගෙන තිබෙනවා.   බටහිර දේශපාලන විද්‍යාඥයන් මේ ගැන (පළමුව ජාතික රාජ්‍යය ද නැත්නම් ජාතිය ද) තීරණයකට එළඹීමට අසමත් ව සිටිය දී මෙරට සමාජයීය විද්‍යාඥයන් යැයි කියා ගන්නා අය ජාතික රාජ්‍යය යන්නට නිශ්චිත නිර්වචනයක් නැති බව සඟවනවා. ඒ සමහරවිට ඔවුන්ගේ නොදැනුම්කම නිසා ම වෙන්නත් පුළුවන්.




ජාතික රාජ්‍යය යන්න සාමාන්‍යයෙන් බටහිර දැනුමෙහි කියැවෙන්නේ ජනවර්ගයක රාජ්‍යය යන්නයි. මෙහි ජනවර්ගය යනුවෙන් පරිවර්තනය වී ඇත්තේ එත්නික් ගෘප් යන්නයි. එත්නිසිටි යනුවෙන් කියැවෙන්නේ ජනවාර්ගිකත්වය යැයි කියන්න පුළුවන්. ජනවර්ගය යන්න සංස්කෘතික කණ්ඩායමක්. බොහෝ විට ජනවර්ගයකට පොදු ඉතිහාසයක් ඇති අතර තවත් ජනවර්ගවලට පොදු ආගමක් භාෂාවක් තිබිය හැකියි. ජනවර්ගය යන්නත් නිරවුල් ව නිර්වචනය වූ සංකල්පයක් නො වෙයි.



මේ අතර වර්ගය යනුවෙනුත් සංකල්පයක් තියෙනවා. එයට ඉංගිරිසියෙන් රේස් කියා කියනවා. වර්ගය යන්න බොහෝ විට ජෛවීය ව තීරණය වනවා යැයි කියන්න පුළුවන්. වර්ගයකට පොදු ජාන ඇතැයි කියන්න පුළුවන්. එහෙත් මෙයත් නිරවුල් නැහැ. කෙසේ වෙතත් බටහිරයන්ට සාමාන්‍යයෙන් රේස් යන්නට ජෛවීය පදනමක් හා එත්නික් ගෘප් යන්නට සංස්කෘතික පදනමක් තියෙනවා.  බටහිර සමාජයීය විද්‍යාඥයන්ට ස්වාභාවික විද්‍යාඥයන්ට තරම්වත් නිරවුල් ව සංකල්ප ගොතන්න බැහැ. මෙරට අනුකාරකයන්ට නිරවුල් ව හිතනවා යන්න නුහුරු දෙයක්.  



දහඅටවැනි සියවසේ යුරෝපයේ තිබුණේ බහුජනවාර්ගික රාජ්‍ය කියා කියනවා. ඒ රාජ්‍යයක විවිධ ජනවර්ග ජීවත් ව තියෙනවා. ඇතැම් විට මේ රාජ්‍ය මාක්ස්වාදී නොවන අර්ථයකින් අධිරාජ්‍ය ලෙස ද නම් කෙරී තිබෙනවා. මේ අධිරාජ්‍යවල විවිධ ජනවර්ග වාසය කර තිබෙනවා. බිරිතානි අධිරාජ්‍යය ඒ සඳහා උදාහරණයක්. දහනවවැනි සියවසේ අපත් ඒ අධිරාජ්‍යයේ කොටසක් වූවා.



යුරෝපය එයට පෙර පාප්වහන්සේගේ ආධිපත්‍යය යටතේ තිබුණේ. බටහිර යුරෝපයෙ රජවරු පාප්වහන්සේගේ ආධිපත්‍යයට යටවුණා. දහසයවැනි සියවසේ අටවැනි හෙන්රි පාප්වහන්සේගේ ආධිපත්‍යයෙන් කැඩී ස්වෛරී රාජ්‍යයක් ඇති කර ගත්තා. ඒ තමයි බටහිර ජාතික රාජ්‍යයක උපත. ඒ් බටහිර අර්ථයකින් නොවෙයි. එහි තිබුණේ ස්වෛරිභාවය යන අදහසයි. එහෙත් ස්වෛරීභාවය තිබුණේ රජුට.  1648 වෙස්ට්ෆේලියා ගිවිසුමෙන් සිදු වූයේ දේශසීමාවලට ගරු කිරීම හා ස්වෙරීභාවය පිළිගැනීමයි. ඒ ගිවිසුමෙන් ද ඊනියා ජාතික රාජ්‍ය උපන්නා යැයි කියන්න බැහැ. එසේ කීම තම නොදැනුවත්කම ප්‍රකාශ කිරීමක්.



පාප්වහන්සේගේ ජාත්‍යන්තරයෙන් කැඩී රාජ්‍ය බිහිවීම බටහිර අර්ථයකින් නොවූවත් ජාතික රාජ්‍ය බිහිවීම ලෙස හඳුන්වන්න පුළුවන්. එහි දී ජාතික යන්න යෙදෙන්නේ ජාත්‍යන්තරයට එරෙහි යන අර්ථයකින්. එහෙත් බටහිර බුද්ධිමතුන් (මෙරට අනුකාරකයන් මිස බුද්ධිමතුන් නැහැ) ජාතික රාජ්‍ය කියන්නේ එක් ජනවර්ගයක් බහුතරය වූ රාජ්‍යවලට. බටහිර ඊනියා පූර්ව ජාතික රාජ්‍යවල හා ඊනියා ජාතික රාජ්‍යවල ඇත්තේ එකම එක වෙනසයි. පූර්වයෙහි දී රාජ්‍යයක විවිධ ජනවර්ග තිබෙන්න ඇති. ඒවා ජනවර්ග ද යන්නත් ප්‍රශ්නයක්. මා හිතන විධියට ජනවර්ගයක් වීමට අදාළ විඥානයක් ද තිබිය යුතුයි. මිනිසුන් සමූහයක් එක් භාෂාවක් කතා කළ පමණින් හෝ එක් ආගමක් ඇදහූ පමණින් හෝ ජනවර්ගයක් වන්නේ නැහැ. මෙරට දෙමළ ජනයා මෑතක් වන තුරුම ජනවර්ගයක්වත් වූයේ නැහැ.



ඒ කෙසේ වෙතත් ඊනියා ජාතික රාජ්‍යවල පෙර මෙන් නොව එක් ජනවර්ගයක් ආධිපත්‍යයක් දරනවා. ඒ සංස්කෘතිය ඒ රාජ්‍යයෙහි අධිපතිවාදී සංස්කෘතියයි. බටහිර රාජ්‍යයක් පිහිටුවන්නේ ඒ සඳහා ඇති ඊනියා සාමූහික දේශපාලන අභිලාෂයක් නිසා නො වෙයි. බටහිර එදත් අදත් රජු හා රදළයන් හෝ වෙනත් පිරිසක් හෝ තමන් වෙනුවෙන් රාජ්‍යයක් පිහිටුවා ගෙන. ඒ පෙරළන්න පුළුවන් චින්තන විප්ලවයක් මුල් කරගත් දේශපාලන විප්ලවයකින්. හුදු කැරළිවලින් රාජ්‍යයක් පෙරළන්න බැහැ. මැතිවරණවලින් කරන්න පුළුවන් ආණ්ඩු වෙනස් කිරීම මිස රාජ්‍ය පෙරළා දැමීම නො වෙයි.



ලංකාවේ සිංහල බෞද්ධ රාජ්‍යය ඇතිවුණේ බුද්ධාගමේ චිරස්තිථිය පදනම් කරගෙන. ගැමුණු රජුගේ සිට අද දක්වා මෙරට ඉතිහාසයෙන් කියන්නේ මේ චිරස්තිථියයි. එහි දී ඉතා හොඳ නිදර්ශනයක් තියෙනවා මහාමේඝවර්ණ ඇමති රජුට විරුද්ධව ථෙරවාදය වෙනුවෙන් කරන ලද සටන. එය ඊනියා කැරැල්ලක් හෝ විප්ලවයක් හෝ නො වෙයි. පනස්හයේ වැනි පෙරළියකටත් මුල් වූයේ බුදු සසුනේ චිර්ස්තිථියයි. බුද්ධ ශාසන කොමිසම ඒ පිටුපස තිබුණා. රනිල්ට විරුද්ධව ජනතාව පෙළ ගැසනේනේත් බුදු සසුනේ චිරස්තිථිය වෙනුවෙන්. එය සාමූහික ක්‍රියාවක්. එය ගිහියන්ගේ පමණක් නොව භික්‍ෂූන් වහන්සේගේ ද සාමූහික ක්‍රියාවක්.  ඒ ඉතිහාසය මකා දාන්න උත්සාහ ගන්නේ  බටහිරයන්ගෙන් වල්බූත ඉතිහාසයක් ඉගෙන ගත් පඬියන්.    



බටහිර රටවල ඇති ජනවාර්ගික ආධිපත්‍යය සැඟවීමට බටහිර පඬියන් විවිධ සංකල්ප ගොතනවා. ඊනියා ජාතික රාජ්‍යය ද එවැන්නක්. බටහිරයන් තම මතවාද අපට පටවන්නේත් මේ සංස්කෘතික ආධිපත්‍යය උපයෝගි කරගෙන. මෙරට විශ්වවිද්‍යාල, විශේෂයෙන් ම සමාජයීය විද්‍යා විෂය උගන්වන පීඨ මේ ආධිපත්‍යය පවත්වා ගෙන යෑමට බටහිරයන්ට කඩේ යනවා.