කොළඹින් පන්නා විසිපස් වසරයි
අදට විසිපස් වසරකට පෙර මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් පහකෙරුණා. එදින
ලලිත් ඇතුළත්මුදලි ඝාතනය කළ දවස. එදිනත් මා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති
සම්මේලනයේ සභාපති. එහෙත් නීත්‍යානුකුල ව නම් අස්කිරීමේ ලිපිය ලැබීමෙන් පසු මට සභාපතිකම
අහිමි වෙනවා. ඒ මා තවදුරටත් විශ්වවිිද්‍යාලයක ආචාර්යවරයකු නොවීම නිසා. විශ්වවිද්‍යාලයීය
ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජික කථිකාචාර්යවරුන් නැහැ. සම්මේලනය සමන්විත වන්නේ ඒ ඒ
විශ්වවිද්‍යාලවල, පීඨවල, ආයතනවල ආචාර්යවරුන්ගේ සංගම් එකතුවකින්. සම්මේලනයේ සාමාජිකයන් වන්නේ ඒ
සංගම් මිස පුද්ගලයන් නො වෙයි. ඒ ඒ සංගම්වල සාමාජිකයන් වන්නේ ආචාර්යවරුන්.
සම්මේලනයට ඒ සංගම් නියෝජනය කරන ආචාර්යවරුන් සහභාගි වෙනවා. ඒ අයගෙන් නිලධාරි
මණ්ඩලයක් තෝරා ගැනෙනවා. මා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ ආචාර්ය සංගමයේ සභාපති
ලෙස ඒ සංගමය සම්මේලනයේ නියෝජනය කළා.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් මා අස් කළ විගස මට විද්‍යා පීඨ ආචාර්ය සංගමයේ
සාමාජිකත්වයත් සභාපති පදවියත් අහිමි වෙනවා. එහෙත් එදින ආචාර්ය සමිති සම්මේලනයේ
නියෝජිත පිරිසක් මගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති
අර්ජුන අළුවිහාරේ හමුවීමට ගොස් සිටියා. ඒ වන විට ආචාර්යවරුන්ගේ වැටුප් සටන සාර්ථක
ව නිමවා තිබුණා. අප ප්‍රතිපාදන කොමිසමේ සිටින විට රාජගිරියේ දේශීය වෛද්‍ය ආයතනයේ
සිසුන් පිරිසක් කොමිසම වටළා සභාපති අත් අඩංගුවට ගත්තා. අප සභාපති තනිකර නොගොස් ඔහු
සමග රැඳී සිටියා. එසේ සිටින විට තමයි ලලිත් ඇතුළත්මුදලි ඝාතනය ගැන දැන ගැනීමට
ලැබුණේ. එමෙන් ම මා අස්කිරීම පිළිබඳ ලිපිය ලැබුණු බව මට මගේ භාර්යාව මට දැනුම් දුන්නේ එසේ ප්‍රතිපාදන කොමිසමේ සිටි
අවස්ථාවේ.
ඒ ලිපිය අප බලාපොරොත්තුවෙන් සිටිය එකක්. කොළඹ විශ්වවිද්‍යාලය මගේ වැඩ
තහනම් කෙළේ 1992 දෙසැම්බර් 02වැනි දා. එසේ කෙළේ හදිසියේ කැඳවනු ලැබූ සනාතන මණ්ඩල රැස්වීමකින් හා
පාලක මණ්ඩල රැස්වීමකින් පසු. එයට ටික දීනකට පෙර උප කුලපති ජී එල් පිරිස් මගෙන් අසා
තිබුණා මා ජාතික චින්තනය උගන්වන්නේ ඇයි ද කියාත් මට තව දුරටත් විශ්වවිද්‍යාලයේ සේවය
කිරීමට අවශ්‍ය ද බවත්. එය තර්ජනයක්. මා ඔහුට කියා සිටියේ අනෙක් සියල්ලන් ම විජාතික
චින්තනයක් උගන්වනනේ නම් මට ජාතික චින්තනය ඉගන්වීමට නොහැකි ඇයි ද කියාත් මට
තවදුරටත් විශ්වවිද්‍යාලයේ සේවය කිරීමට අවශ්‍ය බවත්.
මට විරුද්ධව ගෘහස්ථ පරීක්‍ෂණයක් රාජ්‍ය ලේඛනාගාර හිටපු අධ්‍යක්‍ෂ
හැරිස් ද සිල්වාගේ (ඇමති හර්ෂ ද සිල්වාගේ පියා) ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල
කමිටුවක් මගින් පැවැත්වුණා. එහි දී විශ්වවිද්‍යාලය වෙනුවෙන් සාක්‍ෂි මෙහෙයවූයේ වී
කේ සමරනායක. මා වෙනුවෙන් සාක්‍ෂි මෙහෙයවූයේ අර්ජුන සොයිසා. ඔහු මා වෙනුවෙන් කැප වී
කටයුතු කළා. ඔහු ආචාර්ය සමිති සම්මේලනයේ උපසභාපතිවරයකු ද වූවා. පරීක්‍ෂණය
පැවැත්වූයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කුලියට ගත් කාමරවල. එහි කුලිය කීයද
කියා මා අදත් දන්නේ නැහැ. ජී එල් පීරිස්
හිතුවේ මා පර්ක්‍ෂණය සඳහාවත් විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයට නොකැඳවිය යුතු බව. සාමාන්‍යයෙන්
පරීක්‍ෂණ පැවැත්වෙන්නේ විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ. ජී එල් පීරිස් මා
වෙනුවෙන් මහජන මුදල් සෑහෙන ප්‍රමාණයක් වියදම් කර තියෙනවා. එකල මූල්‍ය අපරාධ
විමර්ෂණ කොට්ඨාසයක් තිබුණේ නැහැ. පරීක්‍ෂණය අවසානයේ මා විශ්වවිද්‍යාලයෙන් අස්
කෙරුණා.
එකල තිබුණේ එ ජා ප ආණ්ඩුවක්. ජනාධිපති ප්‍රේමදාස. උසස් අධ්‍යාපන ඇමති
හමීඩ්. එහෙත් මා අස් කෙරුණේ පක්‍ෂ දේශපාලනයක් නිසා නො වෙයි. මා හමීඩ් සමග ආචාර්ය
සම්ති සම්මේලනයේ සභාපති ලෙස වැටුප් ප්‍රශ්නය ගැන සාකච්ඡා වට කිහිපයකට ම සහභාගි වී
තිබුණා. ඔහු අප ගෙන ආ තර්ක සියල්ල ම පාහේ පිළිගත්තා. විශ්වවිද්‍යාල විවෘත කිරීම ප්‍රශ්නයේ
දී ප්‍රේමදාස මා කැඳවා උපදෙස් පතා තිබුණා. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය
විසඳීමට මා දුන් සියළු උපදෙස් ඔහු පිළිගත්තා. මා අස් කිරීමට හමීඩ් එකඟ වුණේ නැහැ.
එහෙත් ජී එල්ට හා ඇතැම් ගුරුවරුන්ට මා අස් කිරීමේ තදබල අවශ්‍යතාවක් තිබුණා.
භීෂණ සමයේ වසා තිබූ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමත් සමග කොළඹ විද්‍යා
පීඨයේ ප්‍රශ්නයක් පැන නැගුණා. සිසුන්ට කඩිනම් පාඨමාලාවක් හඳුන්වා දුන්නා. සිසුන්
එයට අකමැති නැති වුවත් ඔවුන් ඉල්ලා සිටියා පැරණි නිර්ණායක මත පරීක්‍ෂණ පවත්වන ලෙස.
පීඨයෙන් නව නිර්ණායක හඳුන්වා දී තිබුණා. සිසුන් කීවේ නව නිර්ණායකත් කඩිනම්
පාඨමාලාවත් දෙක ම එකට ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන්ට අසාධාරණයක් වන බව. ඔවුන්ගේ
ඉල්ලීම සාධාරණ බව මා සහ ආචාර්යවරු කිහිප දෙනකු පිළිගත්තා. එහෙත් බහුතරය සිසුන්ගේ
ඉල්ලීමට එකඟ වුණෙ නැහැ. සිසුන් පංති වර්ජන, උපවාස කළා. එකල විපක්‍ෂයේ සිටි එස් බී දිසානායක, මංගල සමරවීර, බර්ටි දිසානායක (දුමින්දගේ පියා) උපවාස කර සිටි සිසුන් බැලීමට
පැමිණියා.
විශ්වවිද්‍යාල ගුරුවරන්ගෙන් බහුතරය බල ඒකාධිකාරයක් දැරීමට කැමතියි.
ඔවුන්ට බලාධිකාරයක් පවත්වා ගෙන ගිය හැක්කේ සිසුන් සම්බන්ධයෙන් පමණයි. එය පීඨ මණ්ඩල,
සනාතන සභා හා පාලක මණ්ඩල යොදා ගෙන කෙරෙන්නක්.
ශිෂ්‍ය ප්‍රශ්නය තිබූ දිනවල මා ගුරුවරු බොහොමයක් සමග සිසුන්ගේ ඉල්ලීම වෙනුවෙන්
තර්ක කළා. ගුරුවරුන් කිහිප දෙනකු එය දුටුවේ ඔවන්ට තර්ජනය කරන්නක් ලෙස.
එ ගුරුවරු නොයෙකුත් හේතු මත මට විරුද්ධ වුණා. අර ජී එල්ගේ ජාතික
චින්තන කතාව එයින් එකක්. එකල මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව දැන සිටියේ නැහැ.
එහෙත් බටහිර විද්‍යාවේ හා දැනුමේ ඇතැම් කරුණු මගේ අතින් විවේචනය වුණා. විශ්වවිද්‍යාලවල
ඉගැන්වෙන්නේ බටහිර දැනුම. බුදු දහම හා සසුන ගැන ඉගැන්වෙන්නේත් බටහිර ඇසකින්. සියළු
දැනුම් නූතනත්වයට යටවෙලා. බටහිර යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වයට යට නොවී තනතුරු
රැකගන්න බැහැ. ආචාර්යවරු තම වැටුප් වැඩි කර ගැනීමේ සටනේ දී මට සහාය දුන්නත් අනෙක්
බොහෝ කරුණුවල දී විරුද්ධ වුණා. (මතු සම්බන්ධයි)