කොළඹින්
පන්නා විසිපස් වසරයි 2
විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් තමන්ට ලබා දී ඇති පුහුණුව අනුව කටයුතු
කරනවා. එය එක් පුහුණුවක් පමණක් බවත් තවත් පුහුණු තිබිය හැකි බවත් ඔවුන් විශ්වාස
කරන්නේ නැහැ. දැනුම් පද්ධති ඇත්තේ එකක් පමණක් බව ඔවුන් සිතනවා. ඒ දැනුම්
පද්ධතියෙහි විවිධ කුල තිබෙනවා. එහෙත් කුල ඇත්තේ එකම ක්‍රමයක. ඔවුන් හිතනවා කුල
තිබෙන නිසා විවිධ මත තිබෙනවා කියා. විවිධ මත කියන්නේ එකක්. ඒ මත පදනම් වෙලා ඇත්තේ
කුමන චින්තනයක යන්න තවත් එකක්.
ඇතැම් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු කූන්ගේ සුසමාදර්ශය ගැන අසා
තිබෙනවා. එහෙත් සුසමාදර්ශයක් යනු කුමක් දැයි ඔවුන් දන්නේ නැහැ. බටහිර ඇතැමුන්ට
අනුව කූන් සුසමාදර්ශය යන්නට තම පොතෙහි අර්ථකථන විසිහයක් දී තිබෙනවා. ඕනෑම
සංකල්පයක් සූත්‍රගත කිරීමේ මුල් අවධියෙහි එහෙම වෙන්න පුළුවන්. කල්යන විට එක් එක්
අය තම තමන්ට ආවේණික ආකාරයකින් ඒ සංකල්පය යොදා ගන්නවා. ඒහෙත් මෙරට පඬියන් මා දන්නා
තරමින් කිසිම ආකාරයකින් ඒ සංකල්පය යොදා ගන්නේ නැහැ. ඔවුන් සුසමාදර්ශය යන වචනය
වමාරනවා. සුසමාදර්ශය ගැන මොන යම් හෝ අදහසක් ඇති කර ගන්න නිව්ටන්ගේ යාන්ත්‍රිකය හා
අයින්ස්ටයින්ගේ යාන්ත්‍රිකය අතර වෙනස දැන ගන්න ඕන.
ෆෙයරාබන්ඩ් බටහිර විද්‍යාවට විශේෂිත වූ ක්‍රමවේදයක් නැතැයි කිව්වා.
මා මේ අදහස් හා මගේ ම අදහස් සිසුන්ට ඉගැන්නුවා. එයට විද්‍යා පීඨයේ ආචාර්යවරු කැමති
වූයේ නැහැ. මා සිංහල වෙදකම, සිංහල සංගීතය, සිංහල නාට්‍යය ආදිය ගැන ද ගණිතය හා භෞතික විද්‍යාව
උගන්වන අතර කියා දුන්නා. සමහරුනට අනුව සිංහල සංගීතයක් සිංහල නාට්‍යයක් ඇති වුණේ
යුරෝපීයයන් මෙරටට පැමිණීමෙන් පසුව! එය එතරම් ප්‍රශ්නයක් නො වෙයි. සමහරුන්ට අනුව
සිංහල ජාතිය ඇති වී තිබෙන්නේ ම ඉංගිරිසින්ගෙන් පස්සෙ. ඒත් ඉංගිරිසින්ට, බටහිරයන්ට තවමත් ජාතිය කියන්නේ මොකක් ද කියලා
කියන්න බැහැ. ඊනියා ජාතික රාජ්‍යය කියන්නෙ ලේබලයක් පමණයි. පඬියන්ට ඕන ලාංකික කියලා
ලේබලයක් අළවා ගන්න පමණයි. ඔය ජාතික විඥානය එක්සත් රාජ්‍යවල ඉන්න රටවැසියන්ට
තියෙනවා ද? ඊයේ පෙරේදා එංගලන්තයෙ රැජිනට උපන්
මුණුබුරාට එක්සත් රාජධානියෙ රටවැසියන් සලකන්නෙ කොහොම ද?
මේ පඬියන්ට මට විරූද්ධ වෙන්න ඕන තරම් කරුණු තිබුණා. ඒ මදිවට
ඇතැමුන්ගෙ මහජන මුදල් කොල්ලකෑම් ද තිබුණා. වරක් මේ නැවැත්වීමට මා විද්‍යා පීඨයේ
පීඨාධිපති තනතුරට තරග කළා. කොල්ලකරුවන් කලබල වුණා. ඔවුන් මා පරදවන්න කළ හැකි
සියල්ල කළා. පීඨාධිපති නිලවරණයට ඔවුන් ප්‍රසූත නිවාඩු ලබාගෙන තිබූ
කථිකාචාර්යවරියන් ද කැඳවා ගත්තා. පීඨ මණ්ඩලය සූතිකාගාරයක් ද කියන ප්‍රශ්නය ඇති
වුණා. මා පැරදුණා. කොල්ලකෑම දිගට ම ගෙන ගියා.
සිසුන්ගේ ඉල්ලීම දඩමීමා කරගෙන ඇදුරන් මට විරුද්ධව චෝදනා ඉදිරිපත්
කළා. ජී එල් කඩිමුඩියේ සනාතන සභා රැස්වීමක් හා පාලක මණ්ඩල රැස්වීමක් කැඳවලා මගේ
වැඩ තහනම් කරලා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ගෘහස්ථ පරීක්‍ෂණයක් ඇටෙව්වා. මාස
හතරකට විතර පස්සෙ මා අස් කළා. එහෙත් ආචාර්ය සම්ති සම්මේලනය ඒ අස්කිරීමට විරුද්ධව
කිසිවක් කෙළේ නැහැ. වැඩ තහනමට ලක්වෙලා තියෙන කාලෙ මා ආචාර්ය සමිති සම්මේලනයෙ
වෘත්තීය අරගලයට නායකත්වය දුන්නා. ඉතිහාසයේ නොවූ විරු වැටුප් වැඩිකිරීමක් ලැබුණා. ඒ
සමග මට ගෙදර යන්න වුණා. වැටුප් වැඩිවීම මට අහිමි වුණා. ආචාර්ය සමිති සම්මේලනයේ අය
කිව්වෙ ඔවුන්ට පැත්තක් ගන්න බැහැ කියලා. මගේ පැත්ත ද මට විරුද්ධ ආචාර්යවරුන්ගෙ
පැත්ත ද යනුවෙන් ඔවුන් තර්ක කෙළේ. ගත යුත්තේ මගේ පැත්ත ද පාලක මණ්ඩලයෙ පැත්ත ද
යන්න ඔවුන් අමතක කළා. සමහරවිට හිතුව ද දන්නෙ නැහැ පාලක මණ්ඩලයෙත් ආචාර්යවරුනුත්
ඉන්නවා කියලා.
මගේ වැඩ තහනම් කරලා තියෙද්දි මට කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල්වීම තහනම්
කරලා තිබුණා. එහෙත් එකල ආචාර්ය සමිති සම්මේලනයෙ ලියා පදිංචි කාර්යාලය තිබුණෙ කොළඹ
විශ්වවිද්‍යාලෙ. ආචාර්ය සමිති සම්මේලනයෙ රැස්වීම් පැවැත්වුණෙත් විශ්වවිද්‍යාලයෙ.
ජී එල් කිව්වා මගේ සභාපතිත්වය යටතෙ සම්මේලනයෙ රැස්වීම් විශ්වවිද්‍යාල පරිශ්‍රයෙ
පවත්වන්න බැහැ කියලා. අපට වෙන රැස්වෙන්න තැනක් තිබුණෙන නැහැ. අප කුමාරතුංග මුණිදාස
මාවතේ මාරගහක් යට රැස්වීම් පැවැත්වුවා.
අර්ජුන අළුවිහාරෙ ඒ බව දැනගෙන අපට ප්‍රතිපාදන කොමිසමේ මාණ්ඩලික ශාලාවෙ
රැස්වීම් පවත්වන්න අවසර දුන්න. අර්ජුනට අඩු තරමෙන් ආචාර්ය සමිති සම්මේලනයට ජී එල්ට
තිබුණෙ නැති ගෞරවයක් තිබුණා. අපේ සටන ජයගන්න හමීඩි මෙන් ම අර්ජුන ද උපකාර වූ බව
කෘතඥතා පුර්වක ව සටහන් කළ යුතුයි. අදටත් ආචාර්යවරුන්ගේ වැටුප් ව්‍යුහ අප සකස් කළ
ව්‍යුහ බව තරුණ කථිකාචාර්යවරුන් නො දන්නවා ඇති. ඒ වගේ ම ඔවුන්ට ලැබෙන විවිධ දිමනාවල ආරම්භය කෙසේ විණි ද යන්නත් ඔවුන්
නොදන්නවා ඇති.
ආචාර්ය සමිති සම්මේලනය වගේ ම ශිෂ්‍යන් ද මගේ අස්කිරීම ගැන ව්‍යාජ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. එවකට කොළඹ
විශ්වවිද්‍යාලයෙ බලය තිබුණෙ ජාතික චින්තන
කණ්ඩායමට. එහි නායකයන් අතර කරුණාත්න පරණවිතාන, මාලක වික්‍රමසූරිය, රොෂාන්
ගුණවර්ධන ආදීන් සිටියා. ඔවුන් සිටියේ චම්පක හා රතන හිමියන් සමග. අදත් ඔවුන් ඉන්නේ
චම්පක සමග. ඔවුන් කිසිවක් කළ යුතුව තිබුණා කියා මා කියන්නේ නැහැ. මා නම් අවුරුදු
දහයක් නඩු කිව්වා. එස් එල් ගුණසේකර, කණිෂ්ක
විතාරණ, තිස්ස යාපා යන නීතිඥවරු කොළඹ විශ්වවිද්‍යාලයට
විරුද්ධව මා වෙනුවෙන් කම්කරු උසාවියේ සිට ශ්‍රෙෂ්ඨාධිකරණය දක්වා නොමිළේ පෙනී සිටියා. මා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
කොමිසමේ අභියාචනා මණ්ඩලයේ මා සේවයට බඳවා නොගැනීම පිළිබඳ අනෙක් විශ්වවිද්‍යාලවලට
විරුද්ධ ව නඩු කිව්වා. නඩුවලින් දිනුවට පස්සෙ ටික කාලයකින් ප්‍රතිපාදන කොමිසමේ
බාධක මැද 2003 ජනවාරියේ මා කැලණිය විශ්වවිද්‍යාලයට
බඳවා ගත්තා. එහි දී බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බවත් අපේ දැනුම අදෘශ්‍යමාන
බලවේගවලිනුත් ලබා ගෙන ඇති බවත් ලබා ගත හැකි
බවත් දැන ගත්තා.