Main Logo

Tuesday 3 April 2018

වකුගඩු සටන 3


වකුගඩු සටන 3



මා මේ ලිපි පෙළ ලියන්නේ කිසිවකු සමග ඇති වෛරයක් නිසාවත් මට තැනක් ගැනීමට අවශ්‍ය නිසාවත් නොවෙයි. මට තැනක් නැති බව මා දන්නවා. තැනක් ලැබීමට නම් එක්කෝ පිට කසා ගන්නා ව්‍යාපාරයකට එකතු වෙන්න ඕන. නැත්නම් ජනමාධ්‍යයෙ පිහිට ලබා ගන්න ඕන. මට කලක් දිවයින, දි අයිලන්ඩ් හා විදුසර   පුවත්පත්වල ලිපි පළ කරගන්න පුළුවන් වුණා. විවිධ හේතු නිසා දැන් බැහැ. මේ ලිපි කිසිවකුටවත් තර්ජනයක් නොවන්නේ ඒ ලිපි කියවන්නන් අඩු නිසා.




වකුගඩු සටන ගැන මා ලියන්නේ කරුණු දෙකක් නිසා. එකක් නාථ දෙවියන්ගෙන් (අදෘශ්‍යමාන බලවේගවලින්) වූ දායකත්වය අද නොසලකා හැරෙන නිසා. දෙවැන්න වකුගඩු රෝගයෙන් මිය යන ජනතාව ගැන කිසිවකු කතා නොකරන නිසා. අද වකුගඩු හා ග්ලයිෆොසේට් අනෙක් සෑම දෙයක් ම මෙන් ම  දේශපාලන ආයුධයක් බවට පත් කර ගෙන. එය දේශපාලනයෙහි යෙදෙන පුද්ගලයන් අතින් මෙන් ම දේශපාලන න්‍යාය පත්‍ර ඇති ජනමාධ්‍ය ආයතන අතිනුත් සිදු වෙනවා. වකුගඩු සටනෙහි මගේ ක්‍රියාදාම නව දැනුම නිර්මාණය ගැන හා රෝගීන් සුව කිරීම සමග බැඳී තිබුණා.



වකුගඩු රෝගය කලක සිට ම තියෙන එකක් නමුත් එයට ප්‍රසිද්ධියක් ලැබුණේ නාථ දෙවියන් සම්බන්ධ කර ගැනීමෙන් පසුව. නාථ දෙවියන් ආසනික් ගැන කීමෙන් පසුූව ජනමාධ්‍යයෙහි එයට ලැබුණෙ  අයහපත් ප්‍රතිචාරයක්. මතුගම සෙනෙවිරත්න ඒ ගැන හොඳින් දන්නවා. නාථ දෙවියන් දැනුම ලබා ගැනීමට සම්බන්ධ කර ගැනීමෙන් පසු මට චෝදනා තර්ජන එල්ල වුණා. ඒ සියල්ලට මුහුණ දුන්නේ මා බව දන්නෝ දන්නවා. එය හුදෙක් කැලණියේ ආසනික් පර්යේෂණවලට සීමා වුණේ නැහැ. චන්න ජයසුමන යම්තමින් තම පොතේ කැලණි පර්යේෂණ ගැන සටහනක් කර ලිස්සා යනවා. එය සටහනකට පමණක් සීමා කරන්න බැහැ. කැලණියේ පර්යේෂණ පමණක් නොව වකුගඩු රෝගය ජනතාවට යොමු කිරීම ද සිදු වූයේ නාථ දෙවියන් මැදිහත් වීම නිසයි. 



නාථ දෙවියන් නොවන්නට වකුගඩු රෝගයට ජනතාව අතර ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැහැ. අදෘශ්‍යමාන බලවේගවලින් දැනුම ලබා ගැනීමට විරුද්ධ ව ඊනියා යථාර්ථවාදීන්, ද්‍රව්‍යවාදීන් ආදී එකී නොකී බටහිර අනුකාරකයන් අවි අමෝරා ගෙන සටන් වැදුණා. එහෙත් ඔවුන්ට කිසිම තර්කයක් තිබුණේ නැහැ. ඔවුන් ඔවුන්ගේ ම වූ කිසිම අදහසක් මේ භවයේ ඉදිරිපත් කර නැහැ. ඔවුන් කරන්නේ ඉංගිරිසි ජර්මන් ප්‍රංශ ආදී බටහිර භාෂාවලින් ඇති සංකල්ප සිංහලට (ඇතැම් විට වැරදියට) පරිවර්තනය කර සිංහලෙන් ඉදිරිපත් කිරීම පමණයි.  අද්‍යශ්‍යමාන බලවේග අදෘශ්‍යමාන බව පමණයි ඔවුන් යොදා ගත් එක ම තර්කය. එහෙත් ගුරුත්වාකර්ෂණය ද අද්‍යශ්‍යමාන පංචේන්ද්‍රිය ගෝචර නොවන බව ඔවුන් තවමත් දන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණය ප්‍රත්‍යක්‍ෂ වූ කවුරුන්වන් නැති නමුත් අදෘශ්‍යමාන බලවේග ප්‍රත්‍යක්‍ෂ වූ අය ඉන්නවා. අදෘශ්‍යමාන බලවේගවල පැවැත්ම ගැන මතුගම සෙනෙවිරුවන් නම් ලිපි කිහිපයක් ලියා තිබුණා. ඒ ගැන ඔහුට කෘතඥ වෙනවා. එහෙත් චන්න ජයසුමනවත් බෞද්ධ භික්‍ෂුවක වූ රතන හිමිවත් එහි දී උපකාරී වූයේ නැහැ. ඔවුන්ට තිබුණේ දේශපාලන ව්‍යාපෘති.



අද වන විට චන්නගේ පීඨාධිපති සිසිර සිරිබද්ධන කියන විධියට චන්න ආසනික් පිළිබඳ දැනුම ලබාගත් ආකාරය ප්‍රතික්‍ෂෙප කරනවා. රතන හිමියන් මේ ගැන කිසිවක් කියන්නේ නැහැ. අපට වැදගත් වන්නේ ආසනික් කතාවයි. ග්ලයිෆෝසේට් ආසනික් ගෙන යන වාහකයයි. අද ග්ලයිෆොසේට් තහනම ප්‍රධාන මාතෘකාව වෙලා. රතන හිමියන් ආරම්භයේ දී මේ ව්‍යාපෘතියේ සිටියේ නැහැ. උන්වහන්සේ කවදත් කරන පරිදි (චම්පකත් එසේ මයි) ප්‍රශ්නයක් ජනතාව අතරට යන විට මැදට පැන එය අල්ලා ගන්නවා. ජනමාධ්‍යයත් රතන හිමියන් චන්න ආදීන්ට තැනක් දෙනවා. ඔවුන් දේශපාලනික චරිත.



මේ සමග වැදගත් වන්නේ වකුගඩු රෝගයෙන් ජනතාව බේරා ගැනීම හා රෝගීන්ට ප්‍රතිකාර කිරීම. බටහිර වෛද්‍ය විද්‍යාවේ කෘෂිරසායනික වකුගඩු රෝගයට පිළියම් නැහැ. ඔවුන්ට රුධීර කාන්දුකරණය තිබෙනවා. එහෙත් එය ප්‍රතිකර්මයක් නො වෙයි. එමෙන් ම ඇතැම් පරීක්‍ෂණ මගින් රෝගීන් හඳුනා ගන්න පුළුවන්. මෙරට සංස්කෘතිය විනාශ කිරීමට සිරස සමග තරග කරන දෙරණ මෙහි දී ඊනියා මනුසත් දෙරණ මගින් සායන පවත්වනවා. එහෙත් පිළියමක් නැහැ. දෙරණට ප්‍රසිද්ධිය ලැබෙනවා. ඔවුන් කියන්නේ ප්‍රසිද්ධිය නොතකන බවයි. එහෙත් ප්‍රසිද්ධිය ලබා ගන්නවා.



අප කලකට පෙර සිංහල පාරම්පරික වෙදකමෙන් මේ වකුගඩු රෝගය සුව කරන්නට කටයුතු කළා. විලච්චියේ කරන ලද වෙදකමෙන් රෝගීන් සුව වුණා. අප ඒ බව දෙරණට කිව්වා. දෙරණ ඒ වාර්තා කිරීම සඳහා එක් අයකුට නියම කළා. අප ඔහු විලච්චියට ගෙන ගියා. ඔහු රෝගීන් හමු වී සාකච්ඡා කළා. පසුව දෙරණ අපෙන් ඉල්ලා සිටියේ රෝගීන් සුව වූ බවට බටහිර වෛද්‍ය සහතික. ඔවුන් අපේ දේ රැක ගන්නේ එපරිදියි. අප බටහිරට යටත්වීම ප්‍රතික්‍ෂෙප කළා. බටහිර වෛද්‍ය සහතික අපේ නිර්ණායක නො වෙයි. සමහර විට දෙරණ අලුත් දේ අරගන්නේ එසේ විය හැකියි.



අපේ මතවාද ප්‍රචාරය කිරීමට වැඩ සටහනක් දීමටත් දෙරණ ප්‍රතික්‍ෂෙප කළා. චරිත හේරත් ජනමාධ්‍ය ප්‍රධානියා වී සිටි අවධියේ රජයේ ජනමාධ්‍යත් අපේ මතවාද ප්‍රචාරය කිරීමට ඉඩ දුන්නේ නැහැ.  විවෘත විශ්වවිද්‍යාලයේ නෙම්සිරි ජයතිලක මෙයට සාක්‍ෂි කියනවා. මා දාර්ශනිකයකු වූ චරිත හේරත්ටත් දිලිත් ජයවීරටත් මාධව මඩවලටත් අභියෝග කරනවා දැනුම ලබා ගැනීම පිළිබඳ ව මා සමග විවාදයකට එළඹෙන ලෙස. ඒ සඳහා සූදානම් වීමට මා ඔවුන්ට මාස හයක් කල් දෙනවා. චතුර අල්විස්ට හා වාද පිටියේ නිෂ්පාදකට ඒ සඳහා වාද පිටියක් වෙන් කරන්න පුළුවන්.



අප වරක් ජංගම සායන අදහස ඉදිරිපත් කළා. එකල වයඹ සෞඛ්‍ය ඇමති හේරත් ඒ ගැන උනන්දුවෙන් කටයුතු කළා. එහෙත් ආණ්ඩු මාරුවත් සමග එය ඇණහිටියා. වකුගඩු රෝගය මගින් ප්‍රසිද්ධිය ලබා ගැනීම වෙනුවට කළ යුත්තේ රෝගීන් සුව කිරීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි.     



මේ ලිපිය හෙට පළවන්නේ නැහැ.