කොළඹින් පන්නා විසිපස් වසරයි
අදට විසිපස් වසරකට පෙර මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් පහකෙරුණා. එදින
ලලිත් ඇතුළත්මුදලි ඝාතනය කළ දවස. එදිනත් මා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති
සම්මේලනයේ සභාපති. එහෙත් නීත්‍යානුකුල ව නම් අස්කිරීමේ ලිපිය ලැබීමෙන් පසු මට සභාපතිකම
අහිමි වෙනවා. ඒ මා තවදුරටත් විශ්වවිිද්‍යාලයක ආචාර්යවරයකු නොවීම නිසා. විශ්වවිද්‍යාලයීය
ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජික කථිකාචාර්යවරුන් නැහැ. සම්මේලනය සමන්විත වන්නේ ඒ ඒ
විශ්වවිද්‍යාලවල, පීඨවල, ආයතනවල ආචාර්යවරුන්ගේ සංගම් එකතුවකින්. සම්මේලනයේ සාමාජිකයන් වන්නේ ඒ
සංගම් මිස පුද්ගලයන් නො වෙයි. ඒ ඒ සංගම්වල සාමාජිකයන් වන්නේ ආචාර්යවරුන්.
සම්මේලනයට ඒ සංගම් නියෝජනය කරන ආචාර්යවරුන් සහභාගි වෙනවා. ඒ අයගෙන් නිලධාරි
මණ්ඩලයක් තෝරා ගැනෙනවා. මා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ ආචාර්ය සංගමයේ සභාපති
ලෙස ඒ සංගමය සම්මේලනයේ නියෝජනය කළා.