Main Logo

Saturday, 7 April 2018

ආසනික් කතාව


ආසනික් කතාව



රජරට වකුගඩු රෝගය ගැන මට දැනගන්නට ලැබුණෙ බටහිර වෛද්‍යවරයකු වූ චන්න ජයසුමනගෙනි. ඔහු එවකට චින්තන පර්ෂදය හා සම්බන්ධ වු සිටියා. මා දෙවියන් සමග සංනිවේදනය කළ ප්‍රියන්තා සේනානායක මැතිණියට චන්න යොමු කළා. චන්නට ප්‍රියන්තාගෙන් යමක් දැන ගැනීමට හැකි වේ යැයි මා සිතුවා. ප්‍රියන්තා සේනානායක තමන් නාථ දෙවියන් සමග සංනිවේදනය කරන බව කියා තිබීමත් මගේ ඇතැම් අසනීප දෙවියන් මගින් සුව කර තිබීමත් එයට හේතු වුණා.



ප්‍රියන්තා ගැන මට කියා තිබුණේ ඇගේ ස්වාමි පුරුෂයා වූ කිත්සිරි සේනානායක. ඔහු ද මා ද එකල කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ සේවය කළා. එකල කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය ද ප්‍රියන්ත සේනානායකගෙන් යම් යම් ප්‍රතිකාර ලබා ගත්තා. ප්‍රියන්තා චන්නට කියා තිබුණේ එතෙක් හේතුව නොදත් යැයි සැලකුණු රජරට වකුගඩු රෝගයට හේතුවක් වූයේ ආසනික් බවයි.



මෙය රජරට වකුගඩු රෝගය ලෙස හැඳින්වුණු නමුත් එය වෙනත් පෙදෙස්වල ද දක්නට ලැබුණා. රෝගයට හේතුව කුමක් දැයි බටහිර වෛද්‍යවරුන් හෝ විද්‍යාඥයන් හෝ දැන සිටියේ නැහැ. අදත් දන්නේ නැහැ. හේතුව කුමක් ද යනු දැන ගැනීම පහසු කාර්යයක් නො වෙයි. අනෙක් අතට හේතුව යනු කුමක් ද යන්න ම ප්‍රශ්නයක්. හේතුව යන සංකල්පය ම වියුක්තයි. අප එය සංයුක්ත එකක් ලෙස සලකනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව හේතුව දැන ගැනීමට නිර්ණායක රාශියක් සැපයිය යුතු වෙනවා. ඒ නිර්ණායක සියල්ල සැලකුවහොත් රෝගයකට හේතුව කීමට බැහැ. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවේ කෙරෙන්නේ වඩාත් ම හොඳ යැයි සැලකෙන හේතු සැලකිල්ලට ගැනීමයි.  



රෝග ඇතිවන්නේ ශරීරයෙහි මිස ශරීරයෙන් පිට නො වෙයි. රෝග වැළඳීම  ඒ ඒ තැනැත්තා මත බලපානවා. එකම පරිසරයක ජීවත්වුණත් එක් අයකුට වැළඳෙන රෝගයක් තවත් අයකුට වැළඳෙන්නේ නැහැ. සිංහල වෙදකමේ වෙදකම් කරන්නේ රෝගියාට මිස රෝගයට නො වෙයි. මේ කරුණු අප අවුරුදු විසිපහකට පමණ ඉහතත් සාකච්ඡා කර තිබෙනවා. මුහුණු පොතේ පඬියන් ඒ බව නොදන්නේ නම් අපට කරන්න දෙයක් නැහැ. අද මුහුණු පොත හා සමාජයීය ජාල  පාලනය කිරීමට නොහැකි තත්වයකට පත් වී තිබෙන බව කියනවා. එහි ව්‍යාජ ගිණුම් ලක්‍ෂ ගණනක් තිබෙනවා. මුහුණු පොතට මුහුණක් නැති පොත යැයි මා කීවේ කලකට ඉහත.



රෝගයකට හේතුව බටහිර විද්‍යාවේ දැන ගැනීමට නම් ශරීරය තුළ ඒ හේතුව ක්‍රියාත්මක වන ආකාරය දැනගත යුතුයි. එහෙත් එය කරන්න බැහැ. ඒ නිසා බටහිර විද්‍යාවේ මීයන් වැනි සතුන් ඒ සඳහා යොදා ගන්නවා. ඒ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ සිදුවන්නක්. සිංහල බෞද්ධ සංස්කෘතියේ සතුන්ට හිංසා කරමින් එය කරන්න බැහැ. එහෙත් ලංකාවේ කසිකබල් විශ්වවිද්‍යාලවල යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට යට වී සතුන් යොදා ගෙන ඊනියා පර්යේෂණ කරනවා. මීයන්ට හරියන දේ මිනිසුන්ටත් හරියනවා කියා නිසැකයෙන් කියන්නත් බැහැ.



ප්‍රියන්තා චන්නට කියා ඇත්තේ ආසනික්, ජලය හා පස රජරට වකුගඩු රෝගයට හේතු බවයි. එහි දී කිවුල් ජලය හා ආසනික් රඳවා ගත හැකි පසක් බලපාන බව ප්‍රියන්තා කිය තිබෙනවා. ආසනික් කතාව ප්‍රසිද්ධ වීමෙන් පසු මෙරට මහත් ආන්දෝලනයක් ඇති වුණා. එයට විවේචන ආවා. ඒවාට මුහුණ දුන්නේ ප්‍රියන්තාවත් චන්නවත් ප්‍රියානිවත් නොව මා බව බොහෝ දෙනාට දැන් අමතක වී ගොස්. අප මේ රෝගය කෘෂිරසායනික වකුගඩු රෝගය ලෙස හැඳින්වූවා.



කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රියානි පරණගම, මාලා අමරසිංහ මහාචාර්යවරියන් පර්යේෂණ ඇරඹුවේ ප්‍රියන්තාගෙන් ලැබුණු දැනුම උපන්‍යාසයක් ලෙස ගෙනයි. බටහිර විද්‍යාවට උපන්‍යාසය කාගෙන් කොහෙන් ලැබුණේ ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් මෙරට සිටින ඊනියා විද්‍යාඥයන්ට උපන්‍යාසය ලැබුණේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් වුණේ ඔවුන් ආචාර්ය මහාචාර්යවරුන් වුවත් විද්‍යාඥයන් නොවන බව තහවුරු කරමින්. මෙරට විද්‍යාඥයන් හුදු අනුකාරකයන් පමණයි. මෙරට සමාජයීය විද්‍යාඥයන් එයටත් එහා. ඔවුන් තමන් බටහිරින් ලබා ගන්නා දැනුම ලංකාවටත් යොදා ගන්න හදනවා. එහෙත් ඒ කිසිවක් හරියන්නේ නැහැ. බටහිර ස්වාභාවික විද්‍යවේ මෙන් බටහිර සමාජයීය විද්‍යාවන්හි සාධාරණීකරණයට ලක් කරන්න බැහැ. මිනිසුන් යනු සිත් පිත් නැති පොල්ගෙඩි නොවෙයි.  ලංකාවේ ඊනියා ජනවාර්ගික හෝ ජාතික හෝ ප්‍රශ්නයක් නැහැ. ඇත්තේ බටහිරයන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට දෙමළ ජාතිවාදයක් ඇති කර එය යොදා ගැනීම පමණයි. එහෙත් මෙරට කසිකබල් සමාජයීය විද්‍යාඥයන් බටහිර සංකල්ප යොදා ගන්නේ තමන් ඒ සංකල්ප නිර්මාණයට අබමල් රේණුවකවත් දායකත්වයක් නොකර හුදු අනුකාරකයන් ලෙස. ඔවුන් බටහිර දැනුම යොදා ගැනීමට පෙර ඒ දැනුම ලෝකයට ම සාධාරණ බවත් ලංකාවට ඒ යොදා ගත හැකි බවත් පෙන්විය යුතුයි.



කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණවලින් පසු ඒ කණ්ඩායම ජර්නල් ඔෆ් නැචුරල් සයන්සස් සඟරාවේ පත්‍රිකාවක් පළ කළා. ඒ 2013 අවුරුද්දේ. එහි කතුවරුන් අතර චන්න මාලා හා ප්‍රියානි සිටියා. මේ පර්යේෂණ කෙරුණේ මා කැලණිය විද්‍යා පීඨාධිපති ව සිටි අවධියෙහි. කතුවරුන් මට ද ස්තුතිය පළ කර තිබුණා. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් කෙරුණු අවසාන වාර්තාවෙහි ද සඳහන් වුණා. මා ඒ බව කියන්නේ බටහිර ප්‍රමිති ගැන උනන්දුවක් දක්වන සියල්ලන්ගේ දැන ගැනීම සඳහා මිස මට එය වැදගත් කරුණක් වන නිසා නොවේ. කැලණිය කණ්ඩායමේ පත්‍රිකාවෙහි මාතෘකාව වූයේ ආසනික් හා වකුගඩු රෝගය අතර විය හැකි සම්බන්ධයක් යන්නයි. කෘෂිකාර්මික වකුගඩු රෝගය අනෙක් වකුගඩු රෝගවලින් වෙනස් බව අවධාරණය කළ යුතුයි.



මා හිතන්නේ චන්න ජයසුමන තම ආචාර්ය උපාධිය සඳහා ද මහාචාර්ය තනතුර ලබා ගැනීම සඳහා ද කැලණි පර්යේෂණ ද යොදා ගත් බවයි. කැලණිය විශ්වවිද්‍යාලය ඔහුගේ ආචාර්ය උපාධි ලියා පදිංචිය අවලංගු කිරීමෙන් පසු ඔහු රජරටින් ආචාර්ය උපාධියක් ලබා ගත්තේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමෙන්.



මෙහි දී කිවයුතු කරුණක් නම් කැලණිය කණ්ඩායමට රජරට ජලයෙහි ආසනික් තිබූ බව තහවුරු කිරීමට නොහැකි වීමයි. ජලයෙහි ඇති ආසනික් ප්‍රමාණය පරීක්‍ෂණවලට හසුවන ප්‍රමාණයට වඩා අඩු වූවා දැයි දන්නේ නැහැ. එහෙත් ආසනික් ඉතා කුඩා ප්‍රමාණයක් වුවත් මාරාන්තික වන්න පුළුවන්. ප්‍රියන්තා ආසනික් ගැන කීවේ පර්යේෂණවලින් නොවෙයි. එය නාථ දේව මණ්ඩලයේ අයකුගේ ප්‍රත්‍යක්‍ෂ දැනුමක්. ඒ සාමාජිකයා නාථ දෙවියන් නො වෙයි. භූතයකු වන්න පුළුවන්. අපට එය වැදගත් නැහැ. දැනුම ලබා ගැනීමේ දී අදෘශ්‍යමාන බලවේග ද යොදා ගත හැකි බව සමාජයේ තහවුරු වුණේ ආසනික් කතාවෙන් පසුවයි. එහෙත් අප අදෘශ්‍යමාන බලවේගවලින් දැනුම ලබා ගැනීමේ දී ද ප්‍රවේසම් විය යුතුයි. දෙවියන් හා භූතයන් ද පෘථග්ජන බව අමතක  නොකළ යුතුයි. එයින් කියන්නේ එවැනි දැනුම් පළමුව තම ලාභය සඳහා යොදා ගෙන පසුව ප්‍රතික්‍ෂෙප කිරීම නො වෙයි.